Print this Article


පිරිවෙන

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


පුර පස සඳ මෙන් යසස වැඩෙන හැටි

සතර අගතිය පිළිබඳව ඉතා වැදගත් ප්‍රකාශනයන් දක්නට ලැබෙන්නේ සිඟාලෝවාද සූත්‍රයේ ය. එහිදී බුදුන් වහන්සේ ඡන්ද අගතිය, ද්වේෂ අගතිය, භය අගතිය, මෝහ අගතිය යනුවෙන් අගති 04 ක් නම් කොට ඒවා නිසා පව් කරන හැටි දක්වති.

මෙසේ පව් කරන්නා ධාර්මික දිවි පැවැත්ම ඉක්මවන්නකු බවත්, ඒ නිසා ඔහු අවපස සඳ මෙන් දහමෙන් පිරිහෙන බවත් සඳහන් කරති.

එහෙත් මෙසේ අගතියට නොවැටි පව් නොකරන්නාගේ යසස පුරපස සඳ මෙන් කලාවෙන් කලාවට නඟින බවත් එහි කියැවේ.

මෙහිලා අගතිය යනු අනෙකක් නොව නොමඟ යෑම ය. කෙනකුට ඡන්දයෙන් හෙවත් සිය කැමැත්තෙන් ම නොමඟ යා හැකි ය. ඔහු එලෙස කරන්නේ ඇතැම් විට තමන්ගේ නෑකම්, යහලුකම් නිසා විය හැකි ය. මෙසේ අගතියට හැරුණෙත් සුදුස්සාට සුදුසු තැන දීම වළකින බව නියත ය. සමාජයේ බොහෝ විට මෙබඳු දේ කරන්නේ වගකිව යුතු රාජකාරී කරන්නන් අතිනි. ඒ හැර සාමාන්‍ය පිළිගැනීම අනුව කෙනකුට ඉටුවිය යුතු යුතුකම් ද මෙවැනි අගති ක්‍රියා නිසා මඟ හැරී යනු නියත ය. එසේ වූ කල එයට මුල්වන තැනැත්තා බලවත් අප කීර්තියට භාජනය වේ. එයින්ම ඔහුගේ පිරිහීම ඉක්මන් වන බවත් අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා කැමැත්තෙන් හෙවත් ඕනෑකමින් අගතියට නොබැඳීමට සැබෑ බෞද්ධයන් උනන්දු විය යුතු ය.

බොහෝ දෙනාට තම ගෞරවය රැකගත නොහැක්කේ ඡන්දයෙන් මෙන්ම ද්වේෂයෙන් අගතියට යන නිසා ය. ද්වේෂය යනු අනුන්ට එරෙහිව පවත්නා තරහ ගතියයි. ඒ චිත්ත වේගය නිසා කෙනකුගේ මධ්‍යස්ථාවට බාධා ඇති වේ.

එබඳු පුද්ගලයා නිතරම අනුන්ට උවදුරු කිරීමටත්, අනුන්ගෙන් පළිගැනීමටත් පසුබට නොවේ. ඔහු බලා සිටින්නේ අනුන්ට විපත් කිරීමට අවස්ථාවක් පමණකි. එබඳු වෙලාවක් එළඹි හැටියේ ඔහුට ගුණවත්කම් හා යුතුකම් අමතක වේ. මෙබඳු කෙනකු සමාජයේ වගකීමක් ඇත්තකු වූ විට තත්ත්වය වඩාත් බරපතල වේ. මේ නිසා ද්වේෂයෙන් අගතියට ම තවත් පව් රැසකට මුල්වන බව කීම ඉතා හරි ය.

මෙසේම භයෙන් අගතියට යෑමත් ඉතා භයානකය. එහිදී යුක්තිය ඉටු කිරීමට කෙනකු භය වන්නේ අනුන්ගේ ධනය, නිලය, කුලය යනාදිය ගැන සිතමිනි. ඒවා නිසා මේදේ මෙසේ කළොත් මට මේ පාඩු ඇති වේ යැයි සිතා ඔහු බියෙන් පසු වේ. ඒ නිසාම ඔහු යුතුකම් ඉටු කිරීමට බැරි තැනැත්තෙකු බවට ද පත් වේ.

එහෙත් සැබෑ බෞද්ධයා කවදාවත් මේ තත්ත්වයට නොවැටේ. කොටින් කියතොත් ඔහු කිසි ලෙසකිනුත් බියෙන් අගතියක් නොකරයි.

මෝහයෙන් හෙවත් මුළාවෙන් අගතියට නොවැටීමත් ඔහුගේ පිළිවෙළ ය. මෝහියා ඇත්ත වශයෙන්ම යා යුතු නියම මඟ හඳුනන්නෙක් හෝ තෝරා බේරා ගත හැක්කෙක් හෝ නොවේ. ඒ නිසා යුක්තිය මේය. අයුක්තිය මේ ය, නිස්සා මොහු ය, අනිස්සා මොහු ය යනාදි වශයෙන් යමකු පිළිබඳව නියම තීරණයක් ගැනීමට ඔහු අපොහොසත් ය. එහෙයින් ඔහු අතින් සිදුවන පව්කම් නිම් හිම් නැත. එමෙන්ම ඔහු යසසින් පිරිහීම ද පුදුමයට කරුණක් නොවේ.

මේ සියලු කරුණු පිළිබඳව නුවණින් කල්පනා කර බලන විට ඉහත සඳහන් සතර අගතිවලට නොබැඳි සෘජු ප්‍රතිපත්තිවල පිහිටා ක්‍රියා කිරීමට සැබෑ බෞද්ධයා මේ වෙසක් සමයේ තදින් අදිටන් කරගත යුතු ය. එබන්දකුගේ කීර්තිය කලාවෙන් කලාවට ඉහළ නඟිනු මිස පහළ නොබසියි.


කොරෝනා වසංගතය හමුවේ තෙමඟුල සමරන පිරිවෙන

වෙසක් උත්සවය යනු ගිහි පින්වතුන්ට පමණක් නොව භික්ෂූන් වහන්සේලාටත් ඉතා වැදගත් උත්සවයකි. විශේෂයෙන් පිරිවෙන්වල අධ්‍යාපනය ලබන පොඩි හාමුදුරුවන් වහන්සේලාට මෙම මාසය ඉතා විශේෂ මාසයකි.

වෙන වසරවල අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව මඟින් “වෙසක් සතිය” නමින් සතියක් වෙන්කොට ක්‍රියාත්මක කිරීමට වැඩ සටහනක් ලබාදෙයි. ඒ අනුව වෙනදා නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙන පොඩි හාමුදුරුවන් වහන්සේලාට මෙවර විහාරස්ථානවලට වී සිටීමට සිදුවී ඇත.

ගිහි දරුවන් අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද සමරමින් සතුටු වන්නා සේ ම පොඩි ස්වාමීන් වහන්සේලා වෙසක් කාලයේ වෙසක් කූඩූ සාදමින්, කුඩා තොරණ ඉදිකරමින්, පහන් වැට නිර්මාණය කරමින්, වෙසක් පත් නිර්මාණය කරමින් දැහැමි ආශ්වාදයක් ලබති. මෙවර උත්සව පැවැත්වීමට හෝ පිරිස ඒකරාශී වීමට නොහැකි වී ඇති වාතාවරණයක හුදකලාව සිට ප්‍රතිපතති පූජාවන්ට මූලිකත්වය දීමට හැමදෙනාට ම සිදුව ඇත.

ලෝකයාම අසරණ වී ඇති මෙවන් අවස්ථාවක අප සෞඛ්‍ය අංශ දෙන උපදෙස්වලටත් මූලිකත්වය දෙමින් වෙසක් සැමරීම සිදුකළ යුතුව ඇත. අපට මොන බාධක පැමිණිය ද ඒ සෑම බාධකයක් ම බිඳගෙන කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතු ය. මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගථාවක් අපට සිහිපත් වේ.

උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසෝ’භිවඩ්ඪති

“උත්සාහවන්ත බවත්, සිහියෙන් කටයුතු කිරීමත්, පිරිසිදු දෙය කිරීමත්, විමසා බලා කටයුතු කිරීමත්, දැමුණු සිත, කය, වචනය ඇතිව, දැහැමි දිවිපෙවතක් ගෙවන, නො පමා තැනැත්තාගේ යසස වැඩෙන්නේ ය.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ කුම්භඝෝෂකට දේශනාකළ සේක.

කුම්භඝෝෂක යනු ද අභියෝග රාශියකට මුහුණ දුන් තරුණයෙකි. එදා බුදුරජාණන් වහන්සේ දවස ද මෙවැනිම වසංගත තත්වයක් උදාවී ඇත. අහිවාතක රෝගය නමින් හැඳීන් වූ එම වසංගත රෝගයට ඖෂධ තිබී නැත. අද මෙම කෝවිඩ් 19 වසංගත තත්ත්වයට ද මෙතෙක් ඖෂධ සොයාගෙන නොමැත. එදා තිබූ රෝගය නිසා බොහෝ අය මිය ගියහ. එම රෝගයෙන් දිවි ගලවාගත් කුම්භඝෝෂක තරුණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත ගාථාවේ තේරුම අප ලෝකයාට ම මහා ආදර්ශයකි.

එපමණක් නොව විශාලා මහනුවර යනු ඉතා දියුණුවට පැවැති සිල්වත් වූත් ගුණවත් වූත් සප්ත අපරිහානී ධර්ම ප්‍රගුණ කරමින් සිටි පිරිසක් ජීවත් වූ නගරයකි. එහෙත් පසුකාලීනව ඔවුන් අධාර්මික වී ඇත. සමඟි සම්පන්න කම නැතිකරගෙන කටයුතු කොට ඇත. සප්ත අපරිහානීය ධර්ම අතහැර දමා ඇත. මිනිසුන් දුසිල්වත් වන විට සොබා දහම පවා අප සමඟ

උරනවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අදත් අපට සිදුව ඇත්තේ එවැනි ම දෙයක් නොවේ දැයි අප මදක් සිතා බැලිය යුතු ය. කෙසේ හෝ එදා විශාලා මහනුවරට දුර්භික්‍ෂ බිය, රෝග බිය, අමනුස්ස බිය යන තුන් බියක් ඇති වූ අවස්ථාවේ ඔවුන් ඉතා අසරණතාවයට පත් වූහ.

ගොඩ ගොඩ ඇට සැකිලි
තැන තැන තිබූ බලි බිලි
මඟ මඟ රෙදි වැරැලි
එපුර හැම තැන බලන් පිළිකුලි

යනුවෙන් බුදුගුණ අලංකාර කතුවරයා කවියෙන් කීවේ ද මෙහි තිබූ අවාසනාවන්ත තත්වයයි. එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කොට රතන සූත්‍ර දේශනාව සිදුකොට ඔවුනට ආශිර්වාද කළ බව අප ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේ ම ලංකාවේ ද මීට පෙර මෙවැනි අවාසනාවන්ත කාල පරිච්ඡේද උදාවී ඇතිබවට ඉතිහාසය සාක්ෂි දරයි. බුද්ධදාස රජතුමාගේ පුත් උපතිස්ස රජතුමා රාජ්‍ය කරන කාලයේ ද ඉතා දරණු දුර්භික්‍ෂයක් සමඟ රෝග බියක් ද ඇතිවිය. එදා කිසිවක් කරගත නොහැකි වූ රජතුමා භික්ෂූන් වහන්සේලාගෙන් විමසා සිටියේ ස්වාමීන් වහන්ස, මෙවැනි අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ අපට ක්‍රියාකළ යුතු ආකාරයක් දක්වා තිබේ ද යන්නයි.

එම අවස්ථාවේ ස්වාමීන් වහන්සේලා රජතුමාට දුන් උපදෙස් අනුව උපතිස්ස රජතුමා රත්තරන් බුදුපිළිමයක් සාදවා බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය එම පිළිමයේ දෑත මත තබා භික්ෂූන් වහන්සේලා එම බුද්ධ රූපය වටකරගෙන එළිවනතුරු රතන සූත්‍ර දේශනාව සිදුකළේ ය. රජතුමා පන්සිල් සමාදන් වී රටවැසියා ද පන්සිල් සමාදන් කරවා සියලු දෙනාට පිරිත් පැන් බෙදා දීමට කටයුතු කළේ ය. පසුකාලයේ දී එම බුදුරජාණන් වහන්සේ දන් වැළදූ පාත්‍රය බෙලිගල චෛත්‍යයේ තැම්පත් කරවූ බව සඳහන් වේ.

මේ වන විට ගිහි පින්වතුන්ට පමණක් නොව භික්ෂූන් වහන්සේලාට ද කොරෝනා වසංගතයට මුහුණ දීමට සිදුව ඇත. පිරිවෙන්වල අධ්‍යාපනය ලබන පොඩි ස්වාමීන් වහන්සේලාට මෙන් ම අධ්‍යාපනය ලබාදෙන ගුරු හිමිවරු හා මහත්වරුන්ටත්, සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන හා ලබාදෙන දස සිල් මෑණිවරුන් හා ගුරු මහත්මීන්ටත් අද විශාල අභියෝගයක් හමුවේ ක්‍රියා කිරීමට සිදුව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්‍ෂ වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේගේ හා ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල හිමිපාණන් වහන්සේ මෙන් ම පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (සංවර්ධන) කන්තලේ විජිතවංස හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම මත තෙමඟුල සිහිපත් කරමින් කුල දරුවන් දහසක් පැවිදි කරවීම මෙන් ම තවත් වැඩ කටයුතු රාශියක් සංවිධානය කොට තිබිණ.

එහෙත් රටේ පවත්නා තත්වය මත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව වෙසක් සැමරීමට උපදෙස් දී ඇත. බොහෝ කටයුතු අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් සිදුකරන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් මේ වසරේ පිරිවෙන් භික්ෂූන් වහන්සේ මෙන් ම ගිහි දරුවෝද කටයුතු කරන්නේ බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිව ය.