Print this Article


ඓතිහාසික ලංකාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන වගයි

ඓතිහාසික ලංකාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන වගයි

ලංකාරාම පුරාණය ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස දක්වා දිව යයි. වළගම්බා රජු යුද්ධයෙන් පරාජය වී පසු බැස යද්දී හඹා ආ සතුරු සේනාවන්ගෙන් රජු බේරා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස සෝමා දේවිය රථයෙන් බසින ලද ස්ථානයේ පසුකාලීන ව රජු විසින් එම දේවිය සිහිවීම සඳහා ඉදිකරන ලද දාගැබ සෝමාරාමය විය. පසුව මණි සෝමාරාමය නමින් ද ලංකාරාමය නමින් ද හැඳින් වූ එම දාගැබ වර්තමානයේ ද හඳුන්වන්නේ ලංකාරාමය නමිනි.

මුල්ම කාලයේ මෙරට පැවැති වටදාගෙවල්වලින් වටිනා වටදාගෙයක් ලංකාරාමයේ පැවැතිණි. සිංහල රාජ සමයේ දී ලංකාරාම පරිශ්‍රයේ බුද්ධ මන්දිරයක් පැවැති අතර නව බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට මෑත ඉතිහාසයේ මෙතුවක් කටයුතු සිදු නොවී ය. එම නටබුන් වූ ඉතිහාසය ගැන සැලකිල්ලට ගෙන වර්තමානයේ විහාර ගෙයක් නිර්මාණයට පියවර ගන්නා ලදී.


රැළපනාවේ ධම්මජෝති නා හිමි

එමෙන්ම මෑත ඉතිහාසයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත එම පුදබිමේ සංරක්ෂණ කටයුතු රාශියක් සිදු කර තිබේ. විශේෂයෙන් වර්තමාන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මඟ පෙන්වීම මත ලංකාරාමාධිකාරී සහ උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන් ඉකුත් දශක තුන තිස්සේ එම පුදබිමේ සංරක්ෂණ කටයුතු මෙන්ම ආරාමයේ සංවර්ධන කටයුතු රාශියක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

දාගැබ් මලුවේ සීමා ප්‍රාකාරය මතු කරගෙන සංරක්ෂණය කිරීම, පැරණි බෝධිඝරය තහවුරු කිරීම, චෛත්‍යයේ සිව් දිශාවේ මහරහතුන් වැඩ සිටි ගොඩනැඟිලි සංකීර්ණයේ පාදම් මතුකර ගැනීම, පැරණි බුද්ධ මන්දිරය මතුකර ගැනීම, ගලින් බඳන ලද පාෂාණ ප්‍රාකාරයේ කැණීම් කිරීම, මලුවට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකේ පාෂාණ දොරටුවල උළුවහු සංරක්ෂණය කිරීම ඒ අතර සුවිශේෂී කාර්යයන් ය.

ඉංගී‍්‍රසි පාලන සමයේ දී රථ වාහන ගමන් කළ ප්‍රධාන මාර්ගය සෑමලුව මැදින් ඉදිකර තිබී ධම්ම ජෝති නාහිමියන් වැඩ භාර ගන්නා අවස්ථාව වන විටත් පැවැති අතර කෙටි කලකින් එම මාර්ගය වසා අදාළ ප්‍රධාන පාර වෙනත් දිසාවකින් ඉදිකිරීමට නාහිමියන් පියවර ගෙන තිබේ.

රජයේ මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ ද දායකත්වය ද ඇතිව වසර තුනකට පමණ පෙර ආරම්භ කළ විහාර මන්දිරයේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. සම්බුද්ධ ප්‍රතිමාවේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම පසුගිය 5 වැනි දා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය අතින් සිදුවිය. ප්‍රතිමාවේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය ආගමික වැඩසටහන් මාලාවක් සමඟ මෙම 23 සහ 24 දිනවල සිදුකිරීමට කටයුතු යොදා තිබේ. බෝධි පූජාමය පින්කමක් සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් 23 වැනිදා සිදු කෙරෙන අතර සලපතල වැලිමලුවේ වැඩ නිමවා පූජා කිරීම සහ සම්බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා තැබීමේ මංගල්‍යය 24 වැනිදා සිදු කෙරේ. සම්බුද්ධ බුද්ධ පූජාවක් ද එදින සිදු කරනු ලැබේ.

රැළපනාවේ ධම්මජෝති නාහිමියන් හතළිස් වසරකට අධික කාලයක් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු, මංගල්‍යයන් පින්කම් හා ආගමික වතාවත් සඳහා කැපවෙමින් ද විසිපස් වසරක් පමණ පුරා ලංකාරාම පුදබිමේ භාරකාරත්වය දරමින් කළ රාජකාරී මෙන්ම අටමස්ථාන සංඝ සභාවට සම්බන්ධ ව කළ රාජකාරීන් හා දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ටත් රට ජාතිය සමය වෙනුවෙනුත් කළ සේවාවන්ට අමතරව සිදුකළ ලේඛන කාර්යයන්ගේ වටිනා සටහන් පෙළකට උරුමකම් කියයි. උන්වහන්සේට විවේක ලැබෙන ඇසිල්ලක් පාසා පුවත්පත්වලට සම්පාදනය කරන ලද දහම් පණිවුඩ, ශාස්ත්‍රීය ලිපි, බෝධීන් වහන්සේට අදාළ තොරතුරු, ඓතිහාසික තතු, ප්‍රවෘත්ති හා කාලීන ලිපි ඇතුළත් ග්‍රන්ථයක් දොරට වැඩුම ද 24 වන දින දහවල් දානමය පින්කම් අවස්ථාවේ සිදු කෙරේ.