Print this Article


වඳිමු සෝමවති සෑරද

වඳිමු සෝමවති සෑරද

දකුණු දළදාව භාරතයෙන් වැඩිය
තැන්පත් කෙරුව දාගැබ සෝමා වතිය
පිහිටා තිබෙන අසබඩ මහවැලි නදිය
බුදු රැස් විහිදෙමින් වෙයි පදෙසම එළිය

රුහුණු රටෙන් සු පැමිණි සෝමා දේවී
අභය කුමරු සමගින් පිනටම පේවී
මහා නාග වන තම සීයා සීවී
ඉදිකළ දාගැබට දෙවියොත් එති පාවී

ආවත් සතුරු උවදුරු යුගයෙන් යුගය
පෙන්වා දකුණු දළදා සමිඳුගෙ බලය
රැකගෙන මහා ගස්වැල් සමඟින් කැලය
අදටත් යෙහෙන් වැජඹෙති සෝමා වතිය

පර සතුරනට විපතක් කරනට බැරිව
දාගැබ් වහන්සේ මහ කැලයක තනිව
වැඩ වසනා අයුරු සංවේගෙන් දුටුව
නාහිමි සුමංගල යති පිරිසක් කැටුව

වන මැද තිබෙන පුදබිම දවසෙන් දවස
බුදුහිමි ජීවමානව වැඩ සිටි විලස
මේලෙස දියුණු වේ අගටම යන රහස
වෙන කිසිවක් නොවේ නාහිමි නගෙ පහස

මැදියම් රැයක පායා එන සුපුන් සඳ
සෝමාවතිය පුදබිම තුළ සිටින සඳ
මනරම් පෙරහරක නැඟෙනා මිහිරි නද
තවමත් ඇසෙනවා රජකළ වයන ලද

මහබඹු ශ්‍රී විෂ්ණු දෙවිවරු වඩින තැනයි
සිරිලක පුරා බුදු රැස් විහිදුවන බිමයි
පින්බිම තුළ සිටින විට තුන් සිතම නිවයි
නිවනට යන්න නුදුරු ම තැන මෙතැන තමයි