Print this Article


මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතරම මනුෂ්‍ය රත්නය

මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතරම මනුෂ්‍ය රත්නය

බුදුරජාණන් වහන්සේ යනු තමන් වහන්සේ මිනිසකු මිස අන් කිසිවකු නොවන බව ලෝකයාට පැහැදිලි ව ප්‍රකාශ කළ එකම ආගමික නිර්මාතෘවරයාණන් ය. තමන් වහන්සේ කිසිම දෙවියකු විසින් හෝ වෙනත් කිසියම් බාහිර බලවේගයක් විසින් මෙහෙයවන කෙනකු නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළහ.

මිනිස් බුද්ධියෙන් මේ පරම සත්‍ය අවබෝධ කරගත් බවත් බුද්ධත්වය ලබාගත හැක්කේ මනුෂ්‍යයකු විසින් පමණක් බවත් පෙන්වා දුන්හ.

බුදු දහමට අනුව මනුෂ්‍යත්වය උත්තරීතර ය. මනුෂ්‍යයා තමන්ගේ ම ස්වාමියා වෙයි. මිනිසාගේ ඉරණම විසඳන්නට, ක්‍රියාත්මක කරන්නට වෙනත් කිසිම බලවේගයකට හෝ දෙවියකුට නොහැකි ය.

තමාට ඇති පිහිට තමා ම ය. වෙනත් කවරෙක් නම් පිහිට වන්නේ ද? තමන් පිහිට කොට සිටිනු මිස අනුන්ගේ පිහිටක් නොපතන්න. යනුවෙන් බුදුරදුහු භික්ෂූන්ට ප්‍රකාශ කළහ. තම ප්‍රඥාවත්, බුද්ධියත් උපයෝගී කරගෙන මෙලොව ඇති සියලු බැඳීම්වලින් නිදහස් විය හැකි බව ප්‍රකටව ම පෙන්වා දුන් ශාස්තෘවරයා බුදුරදුන් ය.

බුදුරජාණන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතර ය. වැඩුණේ මනුෂ්‍යයන් අතර ය. එසේ වුව ද, උන්වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙලෙස් කුණු තවරා නොගත්හ.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නගරයත්, සේතව්‍ය නුවරත් අතර මාර්ගයෙහි වැඩි සේක. එම මාර්ගයෙහි යමින් සිටි ද්‍රෝණ නැමැති බ්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පා සටහන් දැක පුදුමයෙකි, ආශ්චර්යයෙකි. ඒකාන්තයෙන් ම මේ මිනිසකුගේ පා සටහන් නොවනු ඇත. යනුවෙන් සිතා බුදුරදුන් වැඩ සිටි දෙසට ගමන් කළේ ය. බුදුරදුන් ගසක් මුල වැඩ සිටිනු දැක උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.

ඔබ වහන්සේ දෙවියෙක් ද?

බමුණ, මම දෙවියෙක් නොවෙමි.

ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද? බමුණ, මම ගාන්ධර්වයෙක් නොවෙමි.

ඔබ වහන්සේ යක්ෂයෙක් ද?

බමුණ, මම යක්ෂයෙක් නොවෙමි.

ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද? බමුණ, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

මේ ආකාරයට දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යයෙක් නොවේ නම්, ඔබ වහන්සේ කවරෙක් ද? බමුණ ඔබ ඔය සඳහන් කළ අය ආශ්‍රවයන් ප්‍රහීණ කළ අය නොවෙති. මම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ අයෙක් වෙමි. මුදුන සිඳ ලූ තල් ගසක් මෙන් නැවැත නූපදින තත්ත්වයට මා පත්ව ඇත. නෙළුම් මලක් දියෙහි ඉපිද, දියෙහි වැඩී, දියෙන් මතු වී, දියෙහි නො ගැටී පවතින්නාක් මෙන් මම ද ලෝකයෙහි ඉපිද, ලොව මිනිසුන් අතර හැදී වැඩී එහෙත් ලෝකයා සමඟ නොගැටී, නො ඇලී සිටිමි. මේ නිසා ම මම බුදුවරයෙක් වෙමි. බමුණ, මා බුදුවරයෙකුයි සලකන්න. බුදුරජාණන් වහන්සේත්, ද්‍රෝණ බමුණාත් අතර පැවැති මේ සාකච්ඡාව තුළින් කෙලෙස් සහිත සාමාන්‍ය මිනිසුන් ගණයට බුදුරදුහු අයත් නොවන බවත්, මනුෂ්‍යයෙක් වුව ද කෙලෙස් රහිත බැවින් බුදුරදුහු උත්තරීතර මනුෂ්‍යයකු ලෙස දක්වා ඇති බවත් පැහැදිලි ය.

නෙලුම් මල බුදුරදුන් වදාළ ලොව්තුරු දහම සංකේතවත් කරයි. දියෙහි මෙන්ම මඩෙහි ද නොතැවරී සිටීමේ හැකියාව නෙලුම් මලට ඇත. සිත අලවන, සිත කිළිටිකරන අරමුණුවල නොඇලීම විමුක්ත සිතෙහි ලක්ෂණයයි.

බුදු දහම අන්ධ විශ්වාසයන්ගෙන් තොර ය. බෞද්ධයා කිසියම් පුද්ගලයකුට හෝ ග්‍රන්ථයකට වහලකු වන්නේ නැත. බෞද්ධයා යනු, සිතීමේ නිදහස ඇත්තෙකි. බුදුරදුන්ගේ අනුගාමිකයකු වන්නේ නිවැරදි චින්තනය තුළිනි. ධර්මයට අනුව බුදුරදුහු බෞද්ධයින්ට පමණක් උරුම වූ අයකු නොවන අතර වර්තමාන ලෝකයා බුදුරදුන් වෙත වඩ වඩාත් ළංවන අයුරු වර්තමාන සමාජය තුළින් දැක ගන්නට පුළුවන. බුදුරදුහු මගධ රට චාරිකාවක යෙදෙන අවස්ථාවක රාත්‍රියෙහි කුඹල් හලක නවාතැන් ගත්හ. තමන් වහන්සේට කලින් එහි පැමිණි පැවිද්දෙක් ද එහි නවාතැන් ගෙන තිබිණි. දෙදෙනා ම ඔවුනොවුන් නොහඳුනති. මේ පැවිද්දාගේ ඉරියව් ඇවැතුම් පැවතුම් සංවර ය. මේ නිසාම බුදුරදුහු ඔබ පැවිදි වූයේ ඇයි? ඔබගේ ශාස්තෘවරයා කවරෙක් දැයි විචාළහ. ඇවැත්නි ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් වෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. උන්වහන්සේ සංසාර විමුක්තිය වෙනුවෙන් ධර්මය දේශනා කරන බව මම අසා ඇත්තෙමි.

උන්වහන්සේ වෙනුවෙන් මම පැවිදි වූයෙමි. බුදුරදුහු

“භික්ෂුව ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද?

ඇවැත්නි, උන්වහන්සේ මේ දිනවල සැවැත්නුවර වැඩ සිටිති. භික්ෂුව ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තිබේද?

ඇවැත්නි, මා කිසිදිනෙක දැක නැත. දැක්කත් නොහඳුනමි.

මේ නොහඳුනන තරුණයා පැවිදි වී ඇත්තේ තමන් උදෙසා ය. එසේ වුව ද තමන් කවරෙක් දැයි නොකියා බුදුරදුහු ඔහුට ධර්මය දේශනා කළහ. ධර්මය අසා අවසන් වන විට මා සමඟ මේ කතා කළේ මා සොයාගෙන යන ඒ ශාස්තෘවරයාණන් වූ බුදුන් වහන්සේ බව මේ තරුණ පැවිද්දාට අවබෝධ විය. වහා නැඟිට බුදුරදුන් පාමුල වැඳ වැටී නොදැනුවත්කමින් ඇවැත්නි කියා ඇමතීම ගැන සමාව ඉල්ලී ය. තමාට මේ දේශනාව කරන ලද්දේ කවරෙක් දැයි මුලින් නොදැන සිටියත් මේ තරුණ භික්ෂුව සත්‍ය දුටුවේ ය. මෙම සිද්ධිය අපට කියාදෙන එක් පණිවිඩයක් නම් භක්තිය, අන්ධ විශ්වාසය නොව සත්‍ය දැකීම ම බුදු දහමෙහි මූලික පදනම වන බවයි.

එක් දවසක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරන බුදුරදුහු ගසක් මුල වැඩ සිටින්නට සූදානම් වූහ. මහාකාශ්‍යප හිමියෝ තම සඟල සිවුර හතරට නමා ඒ මත වැඩ සිටින ලෙස බුදුරදුනට ආරාධනා කළහ. ඒ මත වැඩ සිටි බුදුරදුහු ඒ සිවුර පිරිමදිමින් කාශ්‍යප, ඔබේ මේ සඟළ සිවුර ඉතා මෘදු මොළොක් යැයි වදාළහ. මෙයට කන්දුන් මහා කාශ්‍යප හිමි ඔබ වහන්සේ මේ සිවුර පිළිගන්නා සේක්වායි අයැද සිටියහ. කාශ්‍යප, මා පොරවා පරණ වී ඇති හණ නූලෙන් කර ඇති මගේ මේ පාංශුකූල චීවරය පොරවා ගැනීමට ඔබ කැමැතිද? එහෙමයි බුදුහාමුදුරුවනේ යනුවෙන් කාශ්‍යප හිමි පිළිතුරු දිනි. මේ අයුරින් කාශ්‍යප හිමියන් පෙර වූ මෘදු මොළොක් සඟල සිවුර බුදුරදුනට දී බුදුරදුන් පෙර වූ හණ රෙද්දෙන් කළ පාංශුකූල චීවරය මහා කාශ්‍යප හිමියෝ පොරවා ගත්හ.

මිත්‍රශීලී දැක්ම, සුහද බව, ලෙන්ගතුකම, චාම්, සරල පැවැත්ම ප්‍රකට කරන මෙම චීවර පූජාව මොනතරම් වටිනා පණිවිඩයක් ලබා දෙනවාද?

වේලාම ගමෙහි දී ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවුව ද එය සුවපත් වී තිබී දස මසක් ඇවෑමෙන් එය නැවැතත් මතු විය. සමාපත්ති බලයෙන් සිය රෝගය මැඩ පැවැත්විය හැකි වුව ද බුද්ධ ශරීරය පවා සාමාන්‍ය මිනිස් සිරුරක් මෙන් රෝග පීඩාවන්ට ගොදුරු වන ආකාරය තම බුද්ධ ශරීරය ම ආදර්ශයක් කර ගනිමින් ලෝකයාට පෙන්වා දුන්හ.

එක්තරා අවස්ථාවක බුදුරදුන්ට මහත් පිපාසයක් දැනී, ආනන්ද, මට හොඳට ම පිපාසයි. ඉක්මනට පැන් ටිකක් ගෙනත් දෙන්න. මෙසේ තුන් විටක් ම ප්‍රකාශ කරමින් පිපාසය සංසිඳවා ගැනීමේ බලවත් ඕනෑකම පෙන්නුම් කිරීම සාමාන්‍ය මිනිස් සිරුරක ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමකි.

එදා පරිනිර්වාණයට ආසන්න ව සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ වටකරගෙන

මහණෙනි, මම දැන් මහලුයි. තව ටික වෙලාවයි ජීවත් වන්නේ. ඔබ හැම දෙනාම දාලා මම යනවා. ඔබ වෙනුවෙන් කළයුතු සියල්ල මා ඉටු කරලයි තියෙන්නෙ.

මේ ප්‍රකාශය දෙස බලන්න. මිය යන්නට ආසන්න පියකු තම දරුවන් වට කරගෙන කරන ප්‍රකාශනයක් බඳුයි. වයසට ගිය අයකු ගේ ස්වභාවය පෙන්නුම් කරන

“ආනන්ද දැන් මම ජරාවට, වයසට ගිහිල්ලා ඉන්නෙ. දැන් මහලුයි. වයස්ගතයි. හරියට දිරා ගිය කරත්තයක් වගෙයි.” දිරා ගිය කරත්තයක් උපමා කරගනිමින් වයසට ගිය මිනිසකු ගේ ස්වභාවය පෙන්නුම් කරන මෙම ප්‍රකාශනය සාමාන්‍ය මිනිස් ජීවිතය යතාර්ථාවත් ව විදහා දැක්වීමක් ලෙස සඳහන් කළ හැකි ය.

මේ සඳහන් කළ කරුණු කිහිපය අනුව බුදුරජාණන් වහන්සේ යනු දෙවියකු හෝ මැවුම්කරුවකු හෝ ගැලවුම් කරුවකු හෝ නොව මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතර මනුෂ්‍යයකු ලෙස සඳහන් කළ හැකි ය. මනුෂ්‍යයකු වී උත්පත්තිය ලැබූ නිසාම උතුම් බුද්ධත්වය ලබා ගැනීමේ අවස්ථාව ද උදාවිය.