Print this Article


බෞද්ධ සමාජ සංවිධානයේ ඇරඹුම

බෞද්ධ සමාජ සංවිධානයේ ඇරඹුම

බෞද්ධ සමාජ දර්ශනය අනුව පරීක්‍ෂා කිරීමේ දී සමාජය යනුවෙන් පුද්ගල සමූහයක් අර්ථවත් නොවේ. එයින් ගම්‍ය කරනුයේ සමාජ සබඳතා ක‍‍්‍රමය යි. අලුත් සමාජයක් ගොඩනඟනවා යැයි කීමෙන් අදහස් කරනුයේ අලුතෙන් සාමූහික සබඳතා ජාලයක් ඇති කර ගැනීමකි. සමාජයක් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක දී අප විසින් කළ යුතු වන්නේ එම සබඳතාවන් පැහැදිලි කිරීමයි.

මෙම සබඳතාවන්ගේ එකතුව අර්ථවත් කරනුයේ එයට සම්බන්ධ සංස්ථාවලිනි. සබඳතා එකිනෙක ගැලපෙන පරිදි සකස් ගර ගත් සැකසුම් සමූහයටයි සංස්ථා යන නාමය දෙනු ලබනුයේ. මෙම සංස්ථාවලින් තොරව සබඳතා පවත්නේවත් තහවුරු වන්නේවත් නැත. උදාහරණයක් වශයෙන් ගුරු - ශිෂ්‍ය සබඳතාව බලමු. මේ දෙපිරිස අතර අනොන්‍ය සබඳතාව අධ්‍යාපනික සබඳතාවකි. මෙම අධ්‍යාපනික සබඳතාව තහවුරුවීමට නම් පිරිවෙන, පාසල, විශ්වවිද්‍යාලය වැනි ආයතන තිබිය යුතුයි. මේ ආයතන සංස්ථායි. මෙම සංස්ථා ගුරු - සිසු සබඳතාව තහවුරු කරයි.

මෙවැනි ආයතන නොමැති වැදි සමාජයේ වුව ද ගුරු සිසු සබඳතාව පවතී.

වැඩිහිටි වැද්දා ගහක් උඩට හෝ ගලක් උඩට නැඟ දුන්නෙන් විද සතකු මරා ගන්නා හැටි, රුදුරු වන සතුන්ගෙන් බේරෙන හැටි, ලෙඩකට සුදුසු පිළියමක් කර ගන්නා හැටි, ගලකින් ගලකට ගසා ගිනි උපදවා මස් තම්බා ගන්නා හැටි ආදී වශයෙන් ජීවිතය ගෙන යාමට අවශ්‍ය වන අත්‍යවශ්‍ය කරුණු කියා දෙයි. එලෙස එහි ද ගුරු - සිසු සබඳතාවක් ඇත.

සමාජයේ ආරම්භය පිළිබඳ විවිධ දාර්ශනික සම්ප‍‍්‍රදායයන්හි විවිධ මත ඉදිරිපත් කර ඇත. ඒ අනුව වෛදික මතය එකකි. ජෛන මතය තවත් එකකි. බෞද්ධ මතය ඒ සියල්ලට ම වඩා හාත්පසින්ම වෙනස් වූවකි. වෛදික මතය දිව්‍යමය වූවකි. එය සර්බලධාරී වූ මහා බ‍‍්‍රහ්මයාට සම්බන්ධ කොට දක්වයි. පුරුෂ සූක්තයෙහි විස්තර වන ආකාරයට මහා බ‍‍්‍රහ්මයාගේ මුවින් බ‍‍්‍රහ්මණයාත්,දෙබාහුවෙන් ක්‍ෂ්ත්‍රීයයාත්, දෙකලවයෙන් වෛශ්‍යයාත්, දෙපයින් ශුද්‍රයාත් උත්පත්තිය ලබා ඇත. බ‍‍්‍රහ්මයාගේ නියමය අනුව මේ අය වෙන වෙනම ඒ අයටම අයත් වූ කටයුතු ඉටු කරමින් සිටිති. මනුෂ්‍ය වර්ගයා ම මෙම කොටස් හතරට අන්තර් ග‍‍්‍රහණය කොට වෛදිකයෝ කථා කරති. දෙවියන්ගේ මැවීමක් බැවින් එය කිසිවකුට වෙනස් කළ නොහැක. මෙලෙස හඳුන්වා දුන් චතුර් වර්ණය සංස්ථා සහ ආයතන වශයෙන් තහවුරු විය. ඒ ඒ වර්ණවලට අයත් වූ යුතු අයුතුකම් වගකීම් ධර්මසූත‍‍්‍ර ග‍‍්‍රන්ථ මගින් නිර්දේශ කිරීම් ද පසුව දක්නට ලැබෙයි. එම බෙදීමට දාර්ශනික ස්වරූපයක් ද ආරෝපණ කර ඇති බව පෙනේ. පුරාණ සාහිත්‍යයේ දී

සත්ව රජස්, සත්ව - රජස්, තමස් යනුවෙන් කොටස් හතරක් ගැන සඳහන් වේ.

නමුත් අග්ගඤ්ඤ සූත‍‍්‍රයේ ලෝකයේ විවට්ටමාන යුගයේ ඇතිවන විකාශයට අනුව සමාජයේ ඒ ඒ ජන කණ්ඩායම් ඇතිවනුයේ සමාජමය අවශ්‍යතාවක ප‍‍්‍රතිඵලයක් වශයෙනි. එය දේව නිර්මාණයක් වශයෙන් නොවේ.

ජනයා අතර ඇති වන විවිධ හැලහැප්පීම් ඔවුන් අතරම විසඳා ගැනීමේ අපේක්‍ෂාවෙන් කාගේත් පිළිගැනීමට ප‍‍්‍රසාදයට පත් පුද්ගලයකු හැමදෙනගේ ම සම්මතයෙන් , කෙත්වතුවලට අධිපති ව ඒවායේ නිසි පරිහරණය සහතික කර දෙන ලෙස ඉල්ලා හැම දෙනගේ ම මනදොල සතුටට පත් කරන ලෙසට දන්වා පත් කර ගත් නායකයා ”ඛත්තිය” හෙවත් ”ක්‍ෂ්ත්‍රිය” විය.

මිනිසුන් අතර පවත්නා පාපී හැසිරීම්වලින් බැහැර වනගතව කොළ අතුවලින් පන්සල් සාදා ගෙන ජීවත් වූ පිරිස ”බ්‍රාහ්මණ” නමින් හඳුන්වන ලදි. ඔවුහු ධ්‍යාන වැඩූ හෙයින් ”ඣායක” නම් ද වූහ.

තව කොටසක් විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් විවිධ කර්මාන්තවල නිරත වෙමින් ලෞකික අභිවෘද්ධිය උදෙසා කටයුතු කළහ. ඔවුහු ”වෛශ්‍ය” නමින් හැඳීන්වූහ.

දැඩි සේ වෙහෙස වෙමින් කසළ ශෝධනය වැනි රළු ගොරෝසු රැකියාවල නිරත වූ පිරිස ”ශුද්‍ර” නම් විය.

ඊශ්වර නිර්මාණය වැනි අධිභෞතික සංකල්පවලින් තොරව මානව ශිෂ්ටාචාරයේ ආර්ථික දේශපාලනික සංස්ථාවල පරිණාමීය යථාර්ථවාදී රීතියක් වශයෙන් බ‍‍්‍රාහ්මණ ක්‍ෂත්‍රීය ආදී ජන කොටස් සමාජයේ ඇති වූ බව බුදුදහම මෙහි දී පෙන්වා දෙයි.

මිනිසා ජීවත් වන ජීව අජීව වට පිටාව ප‍‍්‍රසන්න විය යුතු ය. මෙම වටපිටාවෙන් හුදකලාව කෙනෙකුට ජීවත්වීම අපහසු වෙයි. තම චින්තන හැකියාවන් නිර්මාණාත්මකව යොදවා ගෙන ආධ්‍යාත්මික ප‍‍්‍රබෝධයකින් උසස් ජීවන රටාවක් සංවර්ධනය කරගෙන ජීවත්වීමේ අවකාශය උදා කර ගත හැක්කේ සමාජගත සත්වයකු ලෙස සදාචාර සම්පන්න සමාජ රාමුවක් තුළ පමණි. එම සමාජ රාමුව තුළ මනා පුද්ගලාන්තර සබඳතාවක් තිබිය යුතුය. එම පුද්ගලාන්තර සබඳතාව සමාජ රාමුව තුළ තම සාමාජික තත්වයට අනුරූප වන අයුරෙන් පැවැතිය යුතු ය. ඒ ඒ අවස්ථාවල දී සාමාජිකයා පියෙක්, මවක්, පුතෙක්, දුවක්, සොහොයුරෙක්, සොහොයුරියක් වැනි ඥාති සබඳතා ද, ස්වාමියෙක්, සේවකයෙක්, ගුරුවරයෙක්, ශිෂ්‍යයෙක්, මිතුරෙක්, දායකයෙක් හෝ ප‍‍්‍රවෘජිතයෙක් වශයෙන් ද ඇති විය හැකි ය. එබැවින් ඒ ඒ අවස්ථාවල දී තම තමා වෙත පැවැරෙන භූමිකාවල කාර්යභාරය එකිනෙක වෙනස් වෙයි. ඒ අනුව සෑම පුද්ගලයකුටම සමාජය කෙරෙහි ඉමහත් වූ වගකීමක් ඇත. වගකීම් ජාලයකට බැඳී සිටියි. ඒ වගකීම් ඔහු ඉටු කළ යුතු වෙයි. නොඑසේ නම් ඔහු ජීවත් වන සමාජය දුර්වල වෙයි.

එබැවින් ආධ්‍යාත්මික හා භෞතික හෙවත් ලෞකික සමෘද්ධිය ඇති කර ගැනීමට පහසු සාමකාමී ආත්ම ගෞරවය ඉහළින් සලකන සමාජ සබඳතා ජාලයක් පළමුවරට බුදුන් වහන්සේ ලොවට හඳුන්වා දී ඇත. සිඟාලෝවාද සූත‍‍්‍රානුගත සමාජ සංකල්පය දේව නිර්මාණයක් නොව පුද්ගලානුබද්ධ යුතුකම් සහ අයිතිවාසිකම් පිළිබඳ පැහැදිලි කිරීමකි. එය බෞද්ධ සමාජ සංවිධානයේ ඇරඹුමයි. සදිසා සමාජ සංකල්පය වශයෙන් මෙම සූත‍‍්‍රයේ දී දක්වා ඇත්තේ විවාහක ගෘහස්ථයකු ලෙස තම සමාජ රාමුව තූළ ප‍‍්‍රායෝගික වශයෙන් ම කි‍‍්‍රයාත්මක කළයුතු කරුණු රාශියකි.

සිඟාලෝවාද සූත‍‍්‍රයට අනුව එම ව්‍යුහය තුළ ගෘහස්ථයාට දිසා හයක් ලෙස සම්බන්ධ වන පුද්ගලයෝ හය කොටසකි.

මෙම සදිසාව සමඟ සෑම පුද්ගලයකුම තම භූමිකාවට අදාළව යහපත් සබඳතාව පැවැත්විය යුතු ය. එලෙස තමා සබඳතා පවත්වන විට අනෙක් අයගෙන් තමා වෙත ද යුතුකම් ඉටුවෙයි. තමන් දරුවකු සේ තමාගේ මව්පියන්ට යුතුකම් ඉටුකරන විට ඒ තුළින් තමා වෙත ද මව්පියන්ගෙන් යුතුකම් ඉටු කරවා ගනියි. මෙම යුතුකම් අයිතිවාසිකම් ලෙස ද හැඳීන්විය හැකියි. එක කොටසක යුතුකම් අනෙක් පක්‍ෂයේ අයිතිවාසිකම් වෙයි. උදාහරණයක් වශයෙන් මව්පියන්ගෙන් දරුවනට ඉටු විය යුතු යුතුකම් පහක් මෙහි දක්වා ඇත. එනම්

පවින් වැළකීම, යහපතෙහි පිහිටුවීම, ශිල්ප ඉගැන්වීම, යෝග්‍ය වයසේ දී ආවාහ විවාහ කරදීම හා සුදුසු කළ දායාද පවරාදීම ය.

පෙරළා දරුවන් මව්පියන්ට යුතුකම් ඉටු කරන විට මව්පියන්ගේ අයිතිවාසිකම් ද ඉබේටම සහතික වෙයි. දූ දරුවන් තම දෙමව්පියන්, පෝෂණය කළයුතු ය.ඔවුන්ගේ විවිධ කටයුතු කර දිය යුතු ය. පරම්පරාව රැකගත යුතු ය. උරුම වූ දේපළ ආදිය රැක ගත යුතු ය. මිය ගිය පසු පින් දිය යුතු ය.

මේ සමාජ රාමුව තුළ එක සංස්ථාවකි. මෙම සංස්ථාව සතු ආයතනයෝ රැසකි. ගේදොර, ඉඩ කඩම්, වතු පිටි, යාන වාහන, මිල මුදල්, මුතු මැණික් ආදී වශයෙන් මාපිය දූ දරු පවුලේ පෝෂණයට සහසම්බන්ධ වන ආයතන සියල්ලේ සුරැකුම සිදුවනුයේ මේ දෙපිරිස අතර ගොඩනැඟෙන සහසම්බන්ධතාවේ ශක්තිය මතයි. එය ශක්තිමත් වනුයේ අන්‍යොන්‍ය යුතුකම් හා වගකීම් ඉටුවන ප‍‍්‍රමාණයටයි. බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ගුණ ධර්ම සංවර්ධනය සමඟ ලෞකික අභිවෘද්ධිය සමාජය තුළ අපේක්‍ෂා කළ බැවින් සමාජයේ සෑම කොටසකම යුතුකම් ඉටු කිරීමේ දී සදාචාර සංවර්ධනය ද ඒ තුළින් ඇතිවන බව පැහැදිලි කළහ.

බෞද්ධ සමාජ සංවිධානයක් වශයෙන් මනාව සංවිධිත සමාජ රාමුවක කොටස් සහ ඒ ඒ කොටසේ වගකීම් සහ කාර්යභාරය ලොව පළමුව දැකිය හැකි වනුයේ බුද්ධ දේශනාව තුළය. විවිධ දාර්ශනික සම්ප‍‍්‍රදා තුළ සමාජ සංවිධාන ගැන සාකච්ඡා වුව ද ආධ්‍යාත්මික ගූණධර්ම සංවර්ධනයක් සමග ලෞකික අභිවෘද්ධියක් ඇතිවන සමාජ ව්‍යුහයක් පිළිබඳ සාකච්ඡා වනුයේ බුද්ධ දේශනාව තුළ පමණි.