Print this Article


වන්දනීය වූත් අතිපූජනීය වූත් උත්තරීතර පැවිදි ජීවිතය

වන්දනීය වූත් අතිපූජනීය වූත් උත්තරීතර පැවිදි ජීවිතය

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර වැඩම කරනු ලබන්නේ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ලාංකේය ථේරවාදී සම්ප්‍රදායේ මුදුන්මල්කඩ බඳු සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩසිටින මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධූරන්දර තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපේෂල ශික්ෂාකාමි බහුශ්‍රැත චිරරාත්‍ර‍ඥ යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ගිහි පැවිදි උභය පාර්ශ්වයෙහි ම ගෞරව බහුමානයට පාත්‍ර වූහ.

උතුම් සම්බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ, ශාසන භාරධාරී සංඝ නේතෘන් වහන්සේගේ ජාත භූමියක් වූ, සිංහලයෙහි ප්‍රධාන දිසා හතරින් මූලස්ථානයක් වශයෙන් සැලකෙන මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව ග්‍රාමයෙහි උන්වහන්සේ ජන්ම ලාභය ලැබූහ. එවැනි ඓතිහාසික දිසාවක තිබ්බටුවාව වලව්වේ බණ්ඩාරනායක වාසල මුදලි ටිකිරි බණ්ඩා නිලමෙතුමා ගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි යන සදාදරණීය මව්පියන් දෙපළගේ කනිටු පුත්‍ර රත්නය ලෙස 1944 මැයි 30 වැනි දින ජන්ම ලාභය ලැබූ පින්වත් කුමරු ලොකු බණ්ඩාර යන ගිහි නාමයෙන් ප්‍රකට විය.

මල්වතු මහා විහාරයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් දූරදර්ශී ඤාණයෙන් කටයුතු සිදු කොට වදාළ අතිගරු පුරිජ්ජල ශී‍්‍ර සිද්ධාර්ථ සරණංකරාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ දහනව වැනි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාන්තර්ගත,ගරුතර තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ මේධංකරාභිධාන රිදී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 වර්ෂයේ ජූනි මස 10 වැනි දින.තිබ්බටුවාවේ සුමංගල යන උතුම් ශාසනික නාමයෙන් උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වීමට පුණ්‍යවන්ත වූහ.

අනතුරුව අතිගරු අමුණුගම රාජගුරු ශී‍්‍ර විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1964 වර්ෂයේ දී මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී වාහලනාග නාමයෙන් උපසම්පත්ති ප්‍රතිලාභය ලැබීමට භාග්‍යසම්පන්න වූහ.

උත්තරීතර පැවිදි ජීවිතයට ප්‍රවේශවීමත් සමඟ ආචාර්යපාදෝත්තමයන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ ගුරු ගෞරවය පෙරදැරිව පැවිදි ජීවිතයට ඇවැසි මූලික වත්පිළිවෙත් බණ දහම් හොඳීන් පුරුදු පුහුණු වෙමින් උතුම් පැවිදි ජීවිතයේ සාර්ථකත්වය සඳහා ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රය ලබමින් ශාසනික ශික්ෂණය ලැබූහ. අධ්‍යාපන කටයුතු සඳහා මහනුවර ශී‍්‍ර සංඝරාජ පිරිවෙනට ඇතුළත් වුහ. එහිදී අතිගරු අමුණුගම රාජගුරු ශී‍්‍ර විපස්ස්‍යාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේ,අතිගරු විමලකීර්තී ශී‍්‍ර සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ,ගරුතර රාජකීය පණ්ඩිත පහමුණේ ධර්ම කීර්තී ශී‍්‍ර සරණංකර ගුණානන්දාභිධාන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,ගරුතර රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශී‍්‍ර සුමංගලාභිධාන ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ , ගරුතර පණ්ඩිත රත්නින්දේ ශී‍්‍ර අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන ව්‍යක්ත ධර්මධර විනයධර බහුශ්‍රැත ගෞරවනීය මහා යතීන්ද්‍රියන් වහන්සේලාගේ ඇසුර ලබමින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රය වත් පිළිවෙත්,හදාරමින් පිරිවෙන් අවසානය දක්වා වර්ග පටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්හ.

මෙයින් දශක තුනකට පමණ පෙර පැවැති ශාසනික පරිහානිය වැළැක් වූ, ශාසන පුනරුදයේ පරමාදර්ශී චරිතාදර්ශය වූ වැලිවිට ශී‍්‍ර සරණංකර සංඝරාජ මා හිමි සමයේ උභය විහාරීය මහානායක ධූරයන්ගෙන් මල්වතු පාර්ශ්වීය ප්‍රථම මහානායක ධූරය හෙබවූයේ තිබ්බටුවාවේ ශී‍්‍ර බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේ ය. එකී මහානායක ධූරාවලියේ 26 වන මහා නායක පදවිය එම ගමේම ජන්ම ලාභය ලැබූ තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලැබීම අපූරු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙත පැරෙන භාරධූර වගකීම් රාශියකි. ඒ අතරින් අසිරිමත් වූ ශී‍්‍ර දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් තේවා කටයුතුවල නියැළීමේ පුණ්‍යමහිමය බුද්ධශ්‍රාවකයන් වහන්සේ නමක් ලබන්නේ නම්,එය ඉතා දුර්ලභ,වාසනාවන්ත භාග්‍යවන්ත ඓතිහාසික සිදුවීමකි. බුද්ධෝපස්ථානය පිළිබඳව අකලංක භක්තියක් වත් පිළිවෙත් හා මහා විහාරීය චාරිත්‍ර විධීන් පිළිබඳ මනා අවබෝධයක් තිබීම ද, අත්‍යවශ්‍යම කරුණකි. ඒ අනුව 1965,1979,1981,1992 යන වර්ෂවලදී ඒ ඒ අවස්ථාවල වැඩ සිටි අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මග පෙන්වීමෙන් හා ආශිර්වාදයෙන් අතිපූජනීය වූත් ගෞරවනීය වූත් අසිරිමත් ශී‍්‍ර දළදා වහන්සේගේ තේවා ධූරයෙහි කටයුතු ද පුරාකෘත පුණ්‍ය සම්පත්තියට අනුව සිදු කළහ. ශී‍්‍ර දළදා මාලිගාවේ නායක තෙරුන් වහන්සේ වශයෙන් කටයුතු කිරීමට තරම් උන්වහන්සේ තවදුරටත් භග්‍යවන්ත වූහ. ශී‍්‍ර දළදා මාලිගාව හා සම්බන්ධ වත් පිළිවෙත් ආදිය පිළිබඳව නිවැරැදිව මනා දැනුමක් ඇති මහා විහාරීය ස්වාමීන් වහන්සේලා අතර අද්විතීය ස්ථානයක් උන්වහන්සේට හිමි වූහ.

තම ආචාර්ය පරම්පරාවේ සම්භාවනීය ගරුත්වය ආරක්ෂා කරගෙන ශාසනික වගකීම් සැලකිල්ලෙන් යුතුව ඉටුකරමින්, සංඝසෝභන ගුණයන්ගෙන් හා ආකල්පයන්ගෙන් සුපෝෂිතව කටයුතු සිදු කළ හෙයින් අතිගරු අමුණුගම රාජගුරු ශී‍්‍ර විපස්ස්‍යාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගරුතර මහා කාරක සංඝ සභාවේ සභාපති ධූරයට පත් කළහ. අනතුරුව අතිගරු විමලකීර්තී ශී‍්‍ර සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහානායක යතීන්ද්‍රයන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ උප ලේඛකාධිකාරී ධූරයට ද, 1979 වර්ෂයේ මැයි 10 වෙනි දින පත් කළහ . අනතුරුව ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයටත් පත් කරනු ලැබූහ. ගරුතර කාරක සභා සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරය දරමින් ඉතා විශිෂ්ට ශාසනික සේවාවක් සිදුකිරීම පිළිබඳව ප්‍රසාදයට පත්වූ අතිගරු රඹුක්වැල්ලේ ශී‍්‍ර ධර්මරක්ඛිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල නා හිමිපාණන් වහන්සේ 1990 වර්ෂයේ ජනවාරි 25 වෙනි දින ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට ද පත් කරනු ලැබූහ. මල්වතු මහා විහාරයේ අනුනායක පදවිය හොබවමින් උදාරතර ලෝක ශාසනික සේවයක් සිදුකරමින් අපවත් වී වදාළ ගරුතර රඹුක්වැල්ලේ ශී‍්‍ර ධර්මරක්ඛිත රතනපාල සෝභිතාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභාවයෙන් පුරප්පාඩු වූ එම පදවියට 1992 වර්ෂයේ මැයි 13 වෙනි දින ගරුතර කාරක මහා සංඝ සභාවේ සමානච්ජන්දයෙන් තේරී පත්වුහ. ඓතිහාසික රිදී විහාරයේ අධිපතිත්වය දැරූ ආචාර්යපාදයන් වහන්සේ අපවත්වීම නිසා 1974 දී පත්වීමත් සමඟ එම විහාරස්ථානය ඇතුළු ඓතිහාසික සිද්ධස්ථාන කිහිපයකම වගකීම් දරමින් එහි අභිවෘද්ධිය සඳහා උන්වහන්සේ කටයුතු කළහ. අනතුරුව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩ සිටි අතිගෞරවාර්හ රඹුක්වැල්ලේ ශී‍්‍ර ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකයේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමත් සමඟ පුරප්පාඩු වූ ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක පදවිය 2004 වර්ෂයේ ජූලි මාසයේ 20 දින රැස්වූ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවේ සමානච්ජන්දයෙන් අතිගරු තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන ඓතිහාසික රිදී විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පත්කර වදාළහ. ඒ අනුව 26 වන මහානායක ධූරයෙහි සන්නස් පත්‍රය 2004 වර්ෂයේ අගොස්තු මාසයේ 16 දින මහනුවර මඟුල් මඩුවේදී සම්ප්‍රදායානුකූලව එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් පිළිගන්වනු ලැබීය.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශී‍්‍ර‍ සිද්ධාර්ථ සුමංගල මහ නා හිමිපාණන් වහන්සේ 77 වන වියට මෙම මස 30 වන දා පා තබනු ලැබේ.

තව තවත් උතුම් ශාසනික මෙහෙවරක ඇපකැප වී කටයුතු කිරීමට තෙරුවන් සරණින් කායික මානසික ශක්තිය සැලසී ශත වර්ෂාධික කාලයක් නිදුක් නිරෝගීව වැඩ සිටින්නට ශක්තිය හා ධෛර්ය ලැබේවා.