Print this Article


නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේද?

නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේද?


පරලොවක් ඇති බව අසා නැති, පින් පව් ගැන අසා නැති, පින් පව්වල විපාක අසා නැති සමහරු ඒ නො දැනීම නිසා පවක් කරමි’ය යන හැඟීමක් නැතිව සතුන් මරති. සොරකම් කරති. කාමයෙහි වරදවා හැසිරෙති. බොරු කියති. මත්පැන් බොති. උතුමන්ට අගෞරව කිරීම් ආදි තවත් නොයෙක් පව්කම් කරති.

නො දැන කරන පව්කම් ය කියන්නේ ඒවාට ය. ලෝකයෙහි නො දැන කරන වරදට සමාව දෙන සිරිතක් ඇත්තේ ය. දඬුවම් දුන්නත් එය ලිහිල් කොට දෙන ස්වභාවයක් ඇත්තේ ය. මේ ප්‍රශ්නය අසන්නේ ඒ ලෝක ස්වභාවය අනුව ය.

ලෝකයෙහි වරද කළවුන්ට දඬුවම් කරන රාජාදීන් ඇතිවා සේ, පින්පව්වල විපාකය ගෙන දෙන, ඒවාට අධිපතියෙක් නැත්තේ ය. පව්වලට විපාක ඇති කරන පුද්ගලයකු ඇති නම්, නො දැන කරන පව්වලට ඔහුගෙන් සමාවක් ලබන්නට ද ඉඩ ඇත්තේ ය.

අඳුරු කාමරයක පහනක් දැල්වුව හොත් ඒ හේතුවෙන් එහි ආලෝකයක් ඇති වේ . ඒ ආලෝකය ඇතිකරන පුද්ගලයෙක් නැත. පහන නිවූ කල්හි ඒ හේතුවෙන් එහි නැවත අඳුර ඇතිවේ. කාමරයට අඳුර ගෙනෙන පුද්ගලයෙක් නැත. එමෙන් පින් පව් කළවුන්ට පින් කළ නිසා එහි බලයෙන් ඉෂ්ට විපාකත්, පව් කළවුන්ට පව නිසා එහි බලයෙන් අනිෂ්ට විපාකත් ඇති වෙනවා මිස ඒවා ඇති කරන පුද්ගලයකු නැත්තේ ය. එබැවින් නො දැන කළ පාපයට සමාවක් නො ලැබිය හැකි ය.

රාත්‍රියේ කාමරයක දැල්වෙන පහන නිවුවහොත් අඳුර ඇති බව නො දැන නිවුවත් දැන නිවුවත් , අඳුර ඇතිවීම පිළිබඳ වෙනසක් සිදුවන්නේ නැත. එමෙන් පාපය දැනගෙන කළත් නො දැන කළත් විපාකය ඇතිවීම සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවේ.

ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේ ය. මෝහයෙන් තොරව කරන අකුසලයක් නැත්තේ ය. නො දැන පව්කම් කරන තැනැත්තා ගේ මෝහය වඩාත් බලවත් ය. මෝහය බලවත් වන කල්හි එය හා ඇතිවන අකුසල චේතනාවත් බලවත් ය. එබැවින් නො දැන පව් කරන තැනැත්තා කරන අකුසල් වඩා බලවත් බව කිය යුතු ය.

අකුසලය බලවත් වූ පමණට එයින් ලැබෙන අනිෂ්ට විපාකය ද බලවත් වේ. මිනිසුන් බොහෝ දෙනකුන් එකතුව පහර දී එක සතකු මැරුව හොත් සැම දෙනාට ම නො වෙනස්ව ප්‍රාණඝාත අකුසලය සිදුවේ.

එකම සතකු මැරීමේ අකුසල කර්මය හේතු කොට මරණින් මතු ඒ සැම දෙනා ම එක තැනක උපදින්නාහු නො වෙති. ඒ පාප කර්මයෙන් ඔවුන්ගෙන් එකකුට තිරිසන් යෝනියෙහි උපදින්නටත්, එකකුට පේ‍්‍රතව උපදින්නටත්, එකකුට කුඩා නරකයක එකකුට මහා නරකයක උපදින්නටත් සිදුවිය හැකි ය. එකම ක්‍රියාවෙහි විපාකය මෙසේ වෙනස් වන්නේ ඒ ඒ තැනැත්තාට ඇතිවූ අකුසල චේතනාවේ බලවත්කම හා දුබලකම අනුව ය.

අකුසලය බලවත් වීමට මෝහයේ බලවත්කම එක් හේතුවකි. අකුශල ක්‍රියා විෂයෙහි මෝහය බලවත් වන්නේ නො දැන පව් කරන්නා හට ය. එබැවින් දන දැන පව් කරන තැනැත්තාට සිදුවන අකුසලයට වඩා බලවත් අකුසලයක් නො දැන පව් කරන්නවුන්ට ප්‍රාණඝාතාදී ක්‍රියා කිරීමේ දී සිදුවන බව කිය යුතුය.

ලෝක සම්මුතියේ සැටියට නම්, දැන දැන පව්කම් කිරීම මහත් වරදෙකි. එහෙත් ඒ දැන ගැනීම කර්මය දුබල වීමට මිස බලවත් වීමට කරුණක් නොවේ. පව් හඳුනන පව්වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නො කර බැරිකමකින් මිස කැමැත්තකින් නො වේ. ඔහු පව් කරන්නේ නිතරම පසු බැස බැස ය. එබැවින් බලවත් සම්මෝහයෙන් පව්කම් කරන්නවුන්ට ඇතිවන තරමට බලවත් අකුසල චේතනා දැන දැන පව් කරන්නවුන්ට ඇති නොවේ. එබැවින් නිතරම නො දැන පව් කරන්නා ගේ පාපයට වඩා දැන දැන පව් කරන්නා ගේ පාපය කුඩා ය.

මේ කාරණය මිළින්ද ප්‍රශ්නයෙහි මෙසේ දක්වා තිබේ. “ස්වාමීනි නාගසේනයන් වහන්ස, එකෙක් දැන දැන පව්කම් කරන්නේ ය. එකෙක් නො දැන පව් කම් කරන්නේ ය. මේ දෙදෙනාගෙන් වඩා පව් සිදු වන්නේ කාටදැ”යි මිළිඳු රජු විචාළේ ය. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ

“මහ රජ, යමෙක් නො දැන පව් කෙරේ නම් ඔහුට වඩා පව් සිදුවන්නේ ය”යි වදාළ සේක. එකල්හි මිළිඳු රජ කියනුයේ, “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එසේනම් අප ගේ පුත්‍රයකු හෝ ඇමතියකු හෝ නො දැන වරදක් කළේ නම් ඔහුට දෙගුණයක් දඬුවම් කරමි”යි කී ය. නාගසේන ස්ථවිරයන් වහන්සේ “මහරජ, ගිනියම් වූ ලොහො ගුලියක් එකෙක් දැනගෙන අල්ලන්නේ ය. එකෙක් නො දැන අල්ලන්නේ ය. ඒ දෙදෙනාගෙන් කවරකු ගේ අත වඩා දැවෙන්නේ දැ’යි විචාළ සේක. “නො දැන අල්ලන තැනැත්තා ගේ අත වඩා දැවෙන්නේය” යි කීය. “මහරජ, එපරිද්දෙන් නො දැන පව්කරන්නහුට බොහෝ පව් වන්නේය”යි නාගසේන තෙරුන් වහන්සේ වදාළ සේක.

ගමන් කරන කල්හි කුඩා සත්තු නො දැනීම පෑගී මැරෙති. ඒවා නො දැන කරන පව්කම්වලට අයත් කොට නො ගත යුතුය. සතුන් මරන්නට ඕනෑය යන අදහසක් යන තැනැත්තාට නැති බැවින් නො දැනී පෑගී මැරෙන සතුන් නිසා පාපයක් නො වේ. පාපය වන්නේ මැරීමේ අදහසින් සතකු පාගා මැරුවහොත් ය.