Print this Article


මිරිස්ස වෙහෙරගල්ලේ සමුද්‍රගිරි පුරාණ මහා විහාරය

මිරිස්ස වෙහෙරගල්ලේ සමුද්‍රගිරි පුරාණ මහා විහාරය

" වර්තමානයේ සමුද්‍රගිරි විහාරය පිහිටි ස්ථානය වෙහෙරගල්ල නමින් හඳුන්වනු ලබනුයේ මුහුද නිසා දියබත් වී ගිය ස්තූපයක නටබුන් සහිත ගොඩනැඟිල්ලක් තිබීම නිසා ය."

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පුරාණ තොටමුණු නගරය අසල මිරිස්ස වෙහෙරගල්ලේ පිහිටි සමුද්‍රගිරි පුරාණ මහා විහාරය කරුණු ද්විත්වයක් නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විහාර අතුරින් එකක් වේ.

 

පළමු කරුණ නම් මෙම විහාරයේ පිහිටීම සහ හොඳින් රැකී පවතින පුරාණ වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණයි. මුහුද අසල අලංකාර පොල්වත්තක වූ කඳු ගැටයක් මත පිහිටි මෙම විහාරය 18 - 19 වැනි සියවස්වල වෙනත් විහාරස්ථාන මෙන් නවීකරණය නොවූ නිසාවෙන් මෙහි පුරාතන ස්වභාවය ඒ ආකාරයෙන් ම රැකී ඇත. දෙවැනි වැදගත් කරුණ නම් පහත රට රුහුණේ මාතර සම්ප්‍රදායට අයත් 19 වන සියවසේ බිතු සිතුවම් සමූහයක් මෙහි හොඳ තත්වයෙන් රැකී තිබීමයි.

මෙම විහාරය දකුණු ලක ප්‍රකට විහාරයක් බවට පත්වන්නේ මෙහි ඇති පැරණි බිතුසිතුවම් නිසාවෙනි. මෙහි ඇති සිතුවම් ප්‍රධාන වශයෙන් ඇත්තේ පිට මාලයේ ඇතුළ හා පිට බිත්තිවලය. පිට මාලය බොහෝ දකුණේ විහාරවල මෙන් බුදුගේ වටා වූ ප්‍රදක්‍ෂිනා පථයකි.

මෙහි වූ ඉතා සවිස්තර සිතුවම්වලින් ජාතක කථා පහක් දැක්වේ. ඒවා නම්, කුරුධර්ම ජාතකය, දේවධර්ම ජාතකය, ක්‍ෂාන්තිවාදී ජාතකය, සාම ජාතකය, හා සස ජාතකයයි. මෙම පැරැණි බිතු සිතුවම් ඇඳීමෙහි මූලිකත්වය ගෙන ඇත්තේ ගරාඩුව එදෝ සිත්තරා සහ දෙනිපිටියේ මහ සිත්තරා යි. මෙම බිතුසිතුවම් අගය කළ රජය විසින් 1986 වර්ෂයේ දී චිත්‍ර කිහිපයක් තැපැල් මුද්දර සඳහා යොදා ගෙන ඇත. මෙම විහාරයේ සිතුවම් මාතර ගාලු දිස්ත්‍රික්කවල වැඩ කළ ගුරු ශිෂ්‍ය පරම්පරාවකට අයත් වේ. විහාරයේ ඇඳී සිතුවම් ගාල්ලත් මාතරත් අතර වු කතළුවේ පූර්වාරාම විහාරයේ සිතුවම්වලට බෙහෙවින් සමානකම් දක්වයි.

වැලිහිඳ සුදර්ශනාරාමයේ හා පොල්වත්ත ගංගාරාමයේ ද සිතුවම් දෙනිපිටියේ සිත්තරුන් විසින් කරන ලද සිතුවම් බව ඇල්.ටී. මංජු ශ්‍රී කියයි. බිතු සිතුවම්වලට අමතරව විහාරයේ පෞරාණිකත්වය සනාථ කරන තවත් එක් සාධකයක් නම් ඉපැරණි දාගැබ් වහන්සේ ය. එය ද වෙනස් ම ස්වරූපයේ දාගැබක් බවට පත්ව තිබේ. ප්‍රදාන දාගැබට අමතරව පරිවාර දාගැබ් හතරක් සිව් දිශාවෙන් පිහිටා තිබේ.

වර්තමානයේ සමුද්‍රගිරි විහාරය පිහිටි ස්ථානය වෙහෙරගල්ල නමින් හඳුන්වනු ලබනුයේ මුහුද නිසා දියබත් වී ගිය ස්තූපයක නටබුන් සහිත ගොඩනැඟිල්ලක් තිබීම නිසා ය.


කටුවන චන්ද්‍රසිරි මාහිමි

විහාර ඉතිහාසයේ සඳහන් වන අන්දමට මෙම විහාරය ඉදිකරවා ඇත්තේ එකල දකුණු පළාතේ බෙන්තර සිට තංගල්ල දක්වා විශාලතම ඉඩම් හිමි සිටුවරයා වූ තත් ප්‍රදේශයට විශාල සේවයක් කළ අප්පු හැන්නදිගේ දොන් බබන් අප්පු (අන්දිරිස්) මැතිතුමා ය. (1818-1877 ) විහාරය ඉදිකිරීමට පෙර එම ස්ථානයේ තිබී ඇත්තේ කුඩා ගෙපලක් ය.

පහසුකම් අල්ප එම යුගයේ දී මහමඟ පාගමනින් වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා කැඳවා ගෙන ගොස් දන්පැන් පූජා කරමින් ආගමික පූජා පවත්වා ඇත. පසුව දොන් බබන් අප්පු (අන්දිරිස්) මැතිතුමා ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ද ඇතිව ගෙපල තිබූ ස්ථානයේ අංග සම්පූර්ණ නවීන විහාරයක් නිමකරවිය. ඒ අදටත් විරාජමාන ව බැබළෙන වෙහෙරගල්ල සමුද්‍රගිරි විහාරය යි.

විහාරය තැනූ මුත් මුහුදුබඩ පළාත්වල භික්‍ෂූන් වහන්සේලාගේ දැඩි හිඟයක් විය. එමනිසා දීර්ඝ කාලයක් යන තුරු භික්‍ෂූන් වහන්සේ නමක් සොයා ගැනීමට දුෂ්කර විය. මෙම අතර තුර වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යයකු වු තිරාණගම හිමියන් කතරගම බලා පහතරටට වැඩම කළ අවස්ථාවේ දී විහාරය ආසන්නයේ පිහිටි අම්බලමක ලැගුම් ගෙන සිටි අයුරු දැකගත් පළාත් වාසී ජනයා උන්වහන්සේට සමුද්‍රගිරි විහාරයට වඩින ලෙස ආරාධනා කළහ.

තිරාණගම හිමියන්ගෙන් ඇරඹි සමුද්‍රගිරි විහාර පරපුරෙහි වර්තමාන තාරපේරියේ සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ තිරාණගම හිමියන්ගේ සිසු පරපුරේ හත්වැනියා ය. විහාර සන්තක ඉපැරැණි වස්තූන් දිවිහිමියෙන් රකිමින් අවශ්‍ය කටයුතු මැනවින් සිදුකිරීමට අවවාද අනුශාසනා ලබා දෙමින් විහාරාධිපති ධුරයේ කටයුතු කරනු ලබන්නේ කටුවන චන්ද්‍රසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ශිෂ්‍ය පුත්‍රයන් ලෙස විශ්‍රාමලත් විදුහල්පති බස්නාහිර පළාතේ ද්වීතීය සංඝනායක ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත මාහිමි, සමුද්‍රගිරි පිරිවෙන් කෘත්‍යාධිකාරී තාරපේරියේ සරණසිරි මාහිමි, සමුද්‍රගිරි පිරිවෙණ් පරිවේණාධිපති කර්මවාගාචාර්ය ශාස්ත්‍රපති අඹදණ්ඩේගම පඤ්ඤාසිරි මාහිමි, ශාස්ත්‍රපති කිරින්දේ ඤාණසිරි, ශාස්ත්‍රවේදී මත්තල අරියසිරි, ශාස්ත්‍රවේදී බඹරගම සාන්තසිරි, ශාස්ත්‍රවේදී දම්පහළ දේවසිරි යන හිමිවරු ඇතුළු විශාල සිසු පිරිසක් කටයුතු කරති.