Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 32: වියරු වැටුණු සොළීහු ගම්මාන කොල්ලකති

දුටුගැමුණු මහ රජතුමා - 32:

වියරු වැටුණු සොළීහු ගම්මාන කොල්ලකති

“මහරජතුමනි, චරපුරුෂ සේවයට මාගමට යැවූ සිරිනාග ආපසු පැමිණ සිටිනවා. ඔහු අපට වාසිදායක තොරතුරු රාශියක් රැගෙන විත් ඇති බව ආරංචියි. ඒ නිසා ඔබතුමාට වඩාත් පහසු වේලාවක් පැවසුවා නම් මට ඔහු කැඳවා ගෙන එන්නට පුළුවන්.”

“මිත්‍ර සෙනෙවි එය කඩිනමින් කරන්න. අද පස්වරුවේ රජ මාළිගයට කැඳවාගෙන එන්න. දීඝජන්තුත් කැඳවාගෙන එන්න. අපි සිරිනාගට තනතුරක් දී දීඝජන්තු මහා සෙනෙවියාට භාර දෙමු “

“හොඳමයි, මහරජතුමනි. එහෙමනම් අද හවස හතරට මම ඔහු කැඳවාගෙන එන්නම්. මට යන්න අවසර”. මිත්‍ර සෙනෙවියා රජ මැදුරෙන් පිට වී දීඝජන්තු සෙනෙවියාගේ නිවසට ගියේ ය. දිඝජන්තු සේනාධිපති නිවසේ නොවිය. බිරිඳ ඔහු සුහදව පිළිගත්තා ය. සැමියා උදෑසනම විජිතපුර බලකොටුවට ගිය බවත්, දහවල් නැවත එන බවත් කීවා ය. එළියට පැමිණෙන විට දීඝජන්තු හමුවීමට පැමිණි තවත් සෙනෙවිවරු කිහිප දෙනෙක්ම එහි වුහ. සෙනෙවිතුමා තව නොබෝ වෙලාවකින් පැමිණෙනු ඇති. මේ නිසා ඔහු කෙසේ හෝ හමුවීමේ අභිලාෂයෙන් ඔහු එහි නැවතිණි. මහ සෙනෙවි එළියේ වාඩිවී සිටි සෙනෙවිවරුන් අතරට පැමිණ අසුන් ගත්තේ ය. රටේ ආරක්ෂක තත්වය ගැන තොරතුරු දැනගැනීම ඔහුගේ අදහස විය.

“මහසෙනෙවිතුමනි, මහියංගන තොටමුණ ආසන්නයේ සිංහල ගම්මානයක් ඊයේ දවල් කොල්ලකෑම නිසා අපට චෝදනා රැසකට මුහුණ දෙන්නට වෙලා.”

“ගම්මානය මොකක්ද ? මෙය කාගේ මෙහෙයවීමෙන් සිදුවුවක් ද? කුමක් ද වුවමනාව?”

“මහියංගන විහාරය ආසන්නයේ දිළිඳු ගම්මානයක් බවයි පැවසෙන්නේ. මෙය සිදුකළේ කවුරුන්දැයි කිසිවෙක් තවම දන්නේ නැහැ .”

“අලුත් තොටමුණුවලට යැවූ අලුත් සොල්දාදුවන්ගේ වැඩක් විය හැකියි. මේ නිසා සිංහල ජනතාව අප කෙරෙහි කළකිරෙන්නට පුළුවන්. “

“ගම්මුන්ගේ වස්තුව, අටුකොටු, රත්‍රං බඩු කොල්ලකාලා. ගෙවල් දොරවල් සියල්ල මිනිස්සුත් සමගම ගිනි තියලා. කැලයට පැනගත්ත ටික දෙනෙක් විතරයි බේරිලා තියෙන්නේ.”

“මේ වගේ අපරාධ අපේ රජතුමා කොහෙත් ම අනුමත කරන්නේ නැහැ. මේක සාමාන්‍ය අපරාධයක් නොවෙයි. මිනිස් අපරාධ රාශියක් සිදුකළ අපරාධයක්. මෙහි මහා මෙහෙයුම්කරු සොයා ගත යුතුයි.”

“දුටුගැමුණු කුමාරයා සටනට පිවිසුණාය කියන ආරංචියෙන් අපේ දෙමළ නිලධාරින් වියරු වැටිලා. මංකොල්ල කන්නට පුළුවන් හැමතැනම මංකොල්ල කන්නට පටන්අරගෙන. “

උප සෙනෙවියකු කී විට මිත්‍ර මහා සෙනෙවි ඔහු දෙස රවා බලා “ නිශ්ශබ්ද වෙනු. මෙය මංකොල්ලයකට වඩා පළිගැනීමක් ලෙසයි මට පෙනෙන්නේ. සැවොම නිශ්ශබ්ද වුහ. මිත්‍ර මහා සෙනෙවි තවත් අදහස් ප්‍රකාශ කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ.

“වස්තු කොල්ලය, විහාර කොල්ලය, ගම් කොල්ලය විතරක් නොවෙයි සෑම මංපැහැරීමක්ම සිදු නොවිය යුතු බව මහරජතුමාගේ නියමයයි. රජරටට යන එන වෙළෙඳුන්ට කිසිම හිරිහැරයක් කරදරයක් නොවන ලෙසට වගබලාගන්න ලෙසට රජතුමා අණකර තිබෙනවා. මෙබඳු වැඩ නිසා මහජනයා තුළ ඇතිවන කෝපයෙන් කැරැල්ලක් ඇතිවන්නට පුළුවන්.”

“මේ කිසිවකුත් තුළ කළකිරීම් ඇතිකිරීමට සුදුසු කාලයක් නොවෙයි. පසුගිය කාලය පුරා සිදු වූ ආගමික ජාතික අපරාධ ගැන රජතුමා බොහෝ දුක් වෙනවා. එබඳු කිසිවක් යළි ඇති නොවන ලෙසට කටයුතු කරන්නට සියලු සෙනෙවිවරුන්ට අවවාද කර තිබෙනවා. “

මෙය ඉතාම කල්පනාකාරීව කටයුතු කළයුතු අවසථාවක්. මා මෙහි පැමිණියේත් මහා සෙනෙවිතුමා සමග සාකච්ඡා කර ජනතාවට භයෙන් සැකෙන් තොරව ජිවත් වීමට ඉඩ සලසා දීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරගැනීමටයි.

“එය ඉතා අගෙයි. නමුත් කොල්ලකෑම් අද සමහරුන්ගේ ජීවනෝපාය මාර්ගය වෙලා.”

මේ අතර විජිතපුර බලකොටුවෙන් ආ දූතයකු පණිවිඩයක් ගෙනවිත් භාර දුන්නේය. එයින් කියවුණේ දීඝජන්තු සෙනෙවිතුමා හදිසි කරුණක් සඳහා මහියංගනයට ගිය බවයි. ඔහු පැමිණීමට තවත් පැයක් පමණ ගත වන බව ද එම පණිවිඩයෙන් කියවිණි.

මිත්‍ර සෙනෙවි දිඝජන්තු බිරිඳට තමන් පැමිණි කාරණය පවසා මහසෙනෙවි මන්දිරයෙන් පිටව ගියේ ය. “අපිත් යමු” සෙනෙවිවරුද නැගී සිටිහ. එහෙත් වීදිය දිගේ එන අසරුවන් දෙදෙනෙක් දක්නට ලැබිණි.

“දීඝජන්තු මහා සෙනෙවිතුමා පැමිණෙනවා”. එක් අයෙක් පැවසීය. අනෙක් තැනැත්තා චරපුරුෂ සේවයට සොළී රටට යැවූ සිරිනාග උප සෙනෙවිතුමා ය. දෙදෙනා ම අසු පිටින් බැස මැදුර වෙත පැමිණියේය.

ආලින්දයට පැමිණි දීඝජන්තු යෝධයා පැමිණ සිටි සියලු දෙනා දෙස විමසිල්ලෙන් බැලීය.

“එන්න සිරිනාග යන්න ඇතුළට. මා මේ සෙනෙවිවරුන් සමඟ කතා කර එන්නම් “. ඔහු සෙනෙවිවරුන් සමග අසුනක හිඳගත්තේ ය.

“මිත්‍ර සෙනෙවිතුමා ගියාද ? එතුමාත් මෙහි සිටියානම් හොඳයි. මා ප්‍රමාද වුණේ මහියංගනයේ විනාශ කර ඇති උපතිස්ස ගම්මානය බැලීමට ගිය නිසා යි. එය අලුතින් හමුදාවට එක්වුණු භටයන්ගේ වැඩක් විය හැකියි. නමුත් මෙහෙයවුයේ කවුරුන්දැයි සොයා ගන්නට බැරි වුණා. මේ පිළිබඳව සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් පමුණුවන ලෙසට රජතුමා මට නියෝග කළා. මේ සිදුවීම සම්බන්ධව කවුරුන් හෝ තොරතුරු දන්නවා නම් නොවලහා පවසන්න. “

“මහා සෙනෙවිතුමනි, අලුත් සේනාංක හතර සොළී රටින් ආවාට පසුවයි මෙවැනි දේ සිදුවීමට පටන් ගත්තේ”.

“අපි ඒ සේනාංකවලට පළපුරුදු සෙබළුන් තුන්සියයක් පමණ ඇතුළු කළේ මෙවැනි දේ සිදුවීමෙන් වලක්වාගන්නටයි”.

“නමුත් අපේ සෙනෙවිවරු පත් කරලා තියෙන්නේ කිසිදු විමසීමකින් තොරවයි. “

“ඒ ඒ අයගේ දක්ෂතා අනුව සේවා ස්ථානවලට නම් කළේ මගේ නිර්දේශය අනුවයි. සේවා පහසුකම් සැමට එක සේ ලබා දී තිබෙනවා. අපහසුකම් තිබෙන අය මගේ ආරක්ෂක කුටියේ අස්සන් තබා යන්න. කරන්න පුළුවන් දෙයක් මම කරන්නම්.”

සැවොම දීඝජන්තු මහා සෙනෙවිට ආචාර කර නික්ම ගියහ. කිසිවකුගේ මුහුණෙහි සතුටක් නොවිය.

සිරිනාග ආලින්දයට පැමිණියේ පැමිණ සිටි පිරිස පිටව ගිය පසුව ය.

“දිවා භෝජනය සිරිනාගටත් සමග සුදානම් කරලා තියෙන්නේ.” සෙනෙවි බිරිඳ පැමිණ කීවා ය.

“සිරිනාග , එහෙනම් අපි කෑම ගනිමු” “කෑමෙන් පසු ජයනාථ සිටුතුමා හමුවන්නට යමු”.

ආහාර අනුභවය අතරතුරදී මාගම රාජධානියේ තොරතරුත් යුද්ධ සංවිධාන කටයුතු ගැනත් දැනගැනීමට දීඝජන්තු ට හැකිවිය.

සිරිනාග දිවා භෝජනයෙන් පසුව ජයනාථ සිටුතුමා හමුවීමට යාමට කැමැත්තෙන් පසුවිය. ඒ ඔහු හඳුනා ගැනීමට පමණක්ම නොව තම මවගේ මරණය ගැන සැබෑ තොරතුරු දැනගැනීමේ තදබල ආශාව නිසා ය. මේ ගමන දීඝජන්තු මහා සෙනෙවි සමග යාමට අවස්ථාව ලැබීම ගැන වඩාත් සතුටට පත්විය.

“අපි පිටත් වෙමු සිරිනාග. ජයනාථ සිටුතුමා ඉතා බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ නිසා ඔහු සමග පරිස්සමින් කතා කරන්න. මිත්‍ර සෙනෙවි ගැන එතුමාගේ යම් අප්‍රසාදයක් තිබෙන බව හැඟී ගොස් තිබෙනවා. ඒ බව සිහියේ තබාගෙන කතා කරන්න.