[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙලොව පරලොව සුවය සඳහා දුසිරිත් දුරු කරන්න ධර්මයෙහි හැසිරෙන්න

මෙලොව පරලොව සුවය සඳහා දුසිරිත් දුරු කරන්න ධර්මයෙහි හැසිරෙන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්හිච

ධම්මං චරෙ සුචරිතං
නතං දුච්චරිතං චරෙ
ධම්චාරී සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භි ච

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර දී පිය රජාණන් වූ සුද්ධෝදන රජතුමාණන්ට මෙම ගාථා ධර්ම දේශනා කළ සේක.

ලෝකාර්ථ චරියාවේ යෙදුණු අප භාග්‍යවතුන් වහන්සේ විසි දහසක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමන් ප්‍රධාන ශාක්‍ය වංශික ඤාතීන්ට නිවන් සුව ලබා දෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමන ආරම්භ කළේ මැදින් පෝ දිනක ය.

සුද්ධෝදන මහරජතුමා තම ඇමතියකු අමතා දහසක් පිරිවරදී රජගහනුවරට ගොස් බුදුරදුන් වැඩමවාගෙන එන ලෙස පිටත් කැර යැවූහ. ඇමතියා ද, දහසක් පිරිවර සමඟ රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ බුදුරදුන්ගේ ධර්ම දේශනාවට සවන් දුන්හ.

ඇමතිතුමා රජුගේ පණිවුඩය නොසලකා පිරිවර සමඟ බණ අසා රහත් වූහ. සුද්ධෝදන රජතුමා ද යැවූ පිරිස පමා වෙන නිසා නව වාරයක් නව දහසක් පිරිවර සමඟ ඇමතිවරුන් යැවූ නමුත් ඒ සියලු දෙනාම බණ අසා රහත්ව පැවිදි වූහ. අවසන්වරට බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා මාගේ පුත්‍ර බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්නට හැකිදැයි ඇසූහ.

කාලුදායි ඇමතියා ‘රජතුමනි’ මට පැවිදි වන්නට අවසර දෙන්නේ නම් එය ඉටු කරන්නෙමි කීවේ ය. රජතුමා එයට අවසර දී දහසක් පිරිවර සමඟ පිටත් කර යැවූහ.

කාලුදායී ඇමතියා පිරිවර සමඟ ගොස් බුදුරදුන්ගෙන් බණ අසා රහත් වී මහණ විය. යළි කාලුදායී රහතන් වහන්සේ සතියකට පසු බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ.

පාලි සාහිත්‍යයේ දක්නට ඇති සුන්දර රසය ජනිත කරන පරිසර වර්ණනාවක් මෙම ආරාධනාවට ඇතුළත් වී ඇත. “අංගාරිනොදානි දුමා භදන්තෙ” ආදී නයින් ගාථා හැටකින් රජගහනුවර සිට කිඹුල්වත් නුවර දක්වා සුන්දර කාලගුණයට යෝග්‍යවන පරිදි තුරුලතා මල්ඵලවලින් සැරසී බුදුරදුන් ප්‍රධාන මහා සංඝරත්නය පිළිගන්නට සූදානමින් සිටින වග මෙම ගාථාවලින් ප්‍රකාශ වන්නේ ය. බුද්ධාදී රත්නත්‍රයේ පවත්නා ලොව්තුරු ගුණ මහිමය, ශ්‍රද්ධාව, ශාන්ත රසය එම ගාථාවල පදයක් පාසා දක්නට පුළුවන. එම වර්ණනාවත්, ආරාධනාවත් අනුකම්පාවෙන් ඉවසා වදාළ මහා කාරුණික අප භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එදවස මැදින් පුර පසළොස්වක් පෝදිනක කිඹුල්වත් පුරයට වැඩමවීමේ පුවත ඉතා අසිරිමත් විය.

බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩම කළහ. මෙම කාලය තුළ පිය රජතුමාගේ මාලිගයෙන් කාලුදායි රහතන් වහන්සේ විසින් බුදුරදුන්ට පිණ්ඩපාතය ගෙනවුත් පිළිගන්වන ලදී.

ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ විසිදහසක් මහා සංඝරත්නයට වැඩසිටීම සඳහා නිග්‍රෝධ කුමරුගේ උයනෙහි ආරාමයක් කරවා පූජා කළහ. මෙහිදී ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම සඳහා බුදුහු යමාමහා පෙළහර දැක්වූහ.

ශාක්‍යයෝ බුදුරදුන් වැඳ තම තමන්ගේ නිවෙස් වෙත ගිය නමුත් ඒ කිසිවෙක් පසුදා දානයට ආරාධනා නොකළහ. බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් නුවර ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩි සේක. මෙය දුටු යශෝධරා දේවිය පිය රජතුමාට කීවා ය. රජතුමා ලජ්ජාවට පත්ව සළුව අඳිමින් ම වීදියට ගොස් බුදුන් වැඳ ස්වාමීනි පිඬු සිඟීමෙන් අපේ ශාක්‍ය වංශයට නින්දා කරන්නේ වේ දැයි ඇසී ය.

බුදුරජාණන් වහන්සේ “මහරජ” මෙම පිඬු සිඟා යෑම අපගේ බුද්ධ වංශයේ උතුම් චාරිත්‍රයකැයි කියා එහිදී මෙම ගාථාවෙන් ධර්ම දේශනා කළහ.

උත්සාහවන්න, පමා නොවන්න. ධර්මයෙහි හැසිරෙන්න. ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහි ම සුවසේ වාසය කරන්නේ ය.

දේශනාව අවසානයේ රජතුමා සෝවාන් ඵලයට පත්වූහ. යළි රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය රජමාලිගයට වැඩමවාගෙනැවිත් දන් පිළිගැන්වීය. වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ “ධම්මංචරෙ සුචරිතං” ආදී වශයෙන් දෙවන ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

ධර්මයෙහි හැසිරෙන්න. දුසිරිත් දුරු කරන්න. ධර්මයෙහි හැසිරෙන්නා මෙලොවත් පරලොවත් සැප සේ වාසය කරයි.

මෙම උතුම් ධර්මය අසා රජතුමා සකදාගාමී ඵලයට පත් වූ අතර මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. තවද බුදුරජාණන් වහන්සේ යසෝධරාවන්ගේ ගෙට වැඩම කොට පැන වූ අස්නෙහි වැඩහිඳ යසෝධරාවන්ගේ පතිවෘතා ගුණය අගයමින් “සඳ කිඳුරු” ජාතකය දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි තුන්වැනි දින නන්ද කුමරු, හත්වැනි දින රහත් කුමරු ද පැවිදි කළහ.

මෙසේ රජ මාලිගය ප්‍රභාමත් කරමින් සිටි සිදුහත් කුමරු, රාහුල, නන්ද කුමරු යන තිදෙනාම මාළිගයට අහිමි වීමෙන් බලවත් ශෝකයට පත් සුදොවුන් මහ රජතුමා බුදුරදුන් වෙත අවුත් දෙපා නැමද මෙසේ කීවේ ය.

පුත්තපේමං භන්තො ඡවිං ඡින්දති. ඡවි, ඡෙත්වා චම්මං ඡින්දති. චම්මං ඡෙත්වා මංසං ඡින්දති. මංසං ඡෙත්වා නහාරුං ඡින්දති. නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති. අට්ඨිං ඡෙත්වා අට්ඨිමිංජං ඡින්දති.

“ස්වාමීනි, දාරක ප්‍රේමය වනාහී සිවිය, සම්, මස්, නහර, ඇට මිදුළු දක්වා විනිවිද යන්නේ ය. එබැවින් මව්පියන්ගේ අවසර නැතිව දරුවන් පැවිදි නොකරන්නේ නම් යහපතැයි ප්‍රකාශ කළහ.

එවිට බුදුහු මව්පියන්ගෙන් අවසර නැතිව කුල දරුවන් පැවිදි නොකරන ලෙස විනය නීතියක් පනවා වදාළ සේක.

ධර්මයේ ඇති ශක්තියෙන් ඒ ධර්මයේ හැසිරෙන්නාට විවිධාකාරයෙන් පිහිටාධාර වන්නේ ය. රාගාදි කෙලෙසුන් සමනය වීම, ශ්‍රද්ධාදී කුසල චේතනාවන් වර්ධනය වීම,ආරක්ෂා සම්පත්තිය ඇතිවීම, නිරෝගී සම්පත තහවුරු වීම, නොබියව මරණයට මුහුණ දීම, පරලොව සැප ලැබීමාදී ලෞකික ලෝකෝත්තර සැප සම්පත් ප්‍රතිලාභයට හේතු වාසනා වන්නේ ය. ඔබ සැමට තෙරුවන් සරණයි.

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]