Print this Article


සිතට නැඟෙන ආවේග පාලනය කරන හැටි

සිතට නැඟෙන ආවේග පාලනය කරන හැටි

චිත්ත හා ආවේග යන පද දෙක එකතු වී සැකසුණු චිත්තවේග පුද්ගලයාගේ මනසෙහි යම් ප්‍රකම්පනයක් හෝ චලනයක් ඇතිකරන මානසික තත්ත්වයන් ලෙස අර්ථ ගැන්වේ.

එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන්ම මානසිකව අත්දකින මෙම චිත්තවේග වින්දනය (වේදනා) චින්තනය, (විතක්ක) චර්යා (හැසිරීම් රටාව හෙවත් කායික වාචසික චර්යා) සමඟ අනිවාර්යනේම සම්බන්ධ වේ.

අපගේ එදිනෙදා කල්පනා, හැසිරීම් කවර ආකාරයේ ඒවා විය යුතුද යන්න තීරණය කෙරෙන්නේ අපගේ සිතේ ඇතිවෙන විවිධ චිත්තවේග මගින් ය.

මෙම චිත්තවේග යහපත් ඒවා මෙන්ම අයහපත් ඒවා ද විය හැකි ය. බුදුසමයට අනුව අයහපත් චිත්තවේග අකුසල සහගත පාප සහගත ඒවා යනුවෙන් හඳුන්වන අතර, යහපත් චිත්තවේග කුසල සහගත පුණ්‍ය සහගත චිත්ත වේග වශයෙන් නම් කෙරේ.

අප සිතෙහි ඇතිවෙන ඇතැම් චිත්තවේග නිරුත්සාහයෙන් ඇතිවෙන අතර ඇතැම් ඒවා උත්සාහයෙන් ඇතිවේ. පුද්ගලයා කිසියම් යහපත් හෝ අයහපත් ප්‍රතිචාරයක් සඳහා මෙහෙයවීමේ හැකියාව චිත්තවේග සතුවේ. එමෙන්ම සෑම චිත්තවේගයක් ම පුද්ගලයාගේ මනැස පමණක් නොව ශරීරය සමඟ ද සම්බන්ධ වේ.

ඒ අනුව චිත්තවේග පුද්ගලයාගේ මනසෙහි පැවැත්මට මෙන්ම කයෙහි පැවැත්මට බලපෑම් කරයි. යහපත් චිත්තවේග මගින් පුද්ගලයා කායික හා මානසික වශයෙන් නීරෝගී අයකු බවට පත්කරන අතර අයහපත් චිත්ත වේග පුද්ගලයා රෝගී අයකු බවට පත් කරයි. සියලු සත්වයන්ගේ මනෝභාවයන්ට ගැඹුරින් සම්බන්ධ වන කරුණු හතරක් බෞද්ධ සූත්‍රවල දක්නට ඇත. එනම්

ජීවිතය පවත්වා ගැනීමට ඇති කැමැත්ත,

නොමැරී සිටීමට උත්සාහ දැරීමේ කැමැත්ත, සුව පහසුව ලැබීමට ඇති කැමැත්ත හා

දුක, අපහසුතාව නැති කිරීමට ඇති කැමැත්ත යනුවෙනි.

මිනිස් චර්යාවට දැඩි බලපෑමක් නොමැරී සිටීමට උත්සාහ කිරීමේ කැමැත්ත මගින් ඇතිකරනු ලබයි. මෙමඟින් පුද්ගලයා විවිධ මමෝභාවයන් වෙත යොමු කරන නිසා අකුසල මූලයන් තුනක් ඔහු තුළ හටගනි. එනම්.

ලෝභ, ද්වේශ හා මෝහ යනුවෙනි.

මෙම අකුසල මමෝභාවයන් තණ්හාව ලෙස ද හ¼දින්වේ. වත්ථූපම සූත්‍රයේ දී පුද්ගල සිතෙහි නිරන්තරයෙන් ඇතිවී ක්‍රියාත්මක වන්නාවූ චිත්තවේග රාශියක් පෙන්වා දී ඇත.

අභිජ්ඣාව, ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, පළාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිබව, සිතේ තද ගතිය, වේගවත්කම, මානය, අතිමානය, මදය හා ප්‍රමාදය යනුවෙනි.

මෙබඳු චිත්තවේග විවිධ අවස්ථාවලදී පුද්ගල සිතෙහි ක්‍රියාත්මක වෙයි. මෙම චිත්තවේගයන්ට බොහෝ සෙයින් පරිසරයේ වෙනස්කම් මෙන්ම පුද්ගල ක්‍රියාකාරකම් ද බලපායි. ඉහත දැක් වූ සිත කිලිටි කරන ධර්මයන් පිරිසුදු කර ගත යුතු ආකාරය කාරණා 10 කින් මෙම සූත්‍ර ධර්මයේ දී ම පෙන්වා දේ.

ඒ කිළිටි වූ, අපවිත්‍ර වූ වස්ත්‍රයක් ජලයෙන් පිරිසිදු වන ආකාරය උපමාවකින් පෙන්වමින් එම කාරණා 10 පෙන්වා දෙමිනි.

තුනුරුවන් කෙරෙහි ඇතිවන නොසැලෙන ප්‍රසාදය, ධාර්මික ප්‍රමෝදය,සිතේ ප්‍රීතිය,කයේ සැහැල්ලු දැනීම, සිත හා කය පුරා දැනෙන සුවය, සිතේ එක්තැන් බව, මිත්‍රශීලි සිතුවිල්ල, සංවේදී හැඟීම, ප්‍රමුදිත සිතුවිල්ල හා මැදහත් ස්වභාවය යනුවෙනි.

විවිධ ආශ්‍රවයන්ගෙන් මිදීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනයේ දී දේශනා කරනු ලබන්නේ අන්තවලට නොගොස් මධ්‍යම මාර්ගය අනුගමනය කිරීමෙන් නිවීමට පත් විය හැකි බවයි. එකී අංග අටකින් යුක්ත ආර්ය මාර්ගය පිළිපැදීමෙන් මානසික සංසිඳීම, ආත්ම තෘප්තිය, දෙලොව දියුණුව උදා වෙයි.

අකුසල චිත්තවේග දුරු කර ගැනීම සඳහා

අරමුණ වෙනස් කිරීම

දක්ෂ වඩුවකු ලී පුවරුවක ඇති මහ ලී ඇණයක් සියුම් ලී ඇණයකින් ගසා ඉවත් කරන්නාක් මෙන් සිතේ ඇතිවෙන යම් සිතිවිල්ලක් හෝ අරමුණක් මෙනෙහි කරන විට අකුසල සහගත හැඟීම් ඇතිවන්නේ නම් එය අමතක කොට වෙනත් යහපත් සිතිවිල්ලක් හෝ අරමුණක් මෙනෙහි කළ යුතුයි. සිතා මතාම අරමුණ වෙනස් කිරීමෙන් මනස අපිරිසුදු කෙරෙන, පාපය සඳහා යොමුවෙන චිත්තවේග පාලනය කරගත හැකි වේ.

ආදීනව මෙනෙහි කිරීම

පළමු ක්‍රමය මගින් චිත්තවේග පාලනය කරගත නොහැකි නම් දෙවන ක්‍රමය යටතේ එම චිත්තවේග ක්‍රියාත්මක වීමෙන් තමාට වි¼දීමට සිදුවන අයහපත, ආදීනව, හානිකර බව මෙනෙහි කළ යුතුවේ.මේ යටතේ අයහපත් චිත්තවේග මගින් තමාටත් සමාජයටත් සිදුවන හානිය විමසා බැලිය හැකිවේ.

ගෙලෙහි දවටන ලද සර්ප කුණක්, බලු කුණක් හෝ මිනිස් කුණක් ඇති බව ක්ෂණිකව වටහා ගැනීමෙන් ලජ්ජාවට පත්ව පිළිකුලෙන් එය බැහැර කරන්නාක් මෙන් අකුසල සහගත චිත්තවේග හේතුවෙන් ඇතිවන ආදීනව දෙස පිළිකුලෙන් යුක්තව බලා බැහැර කළ යුතුවේ.

ආදීනව මෙනෙහි නොකර සිටීම

අකුසල සහගත චිත්තවේගවල ආදීනව මෙනෙහි කරන විටත් තවදුරටත් ඒවා සිත තුළ පහළ වන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. නැතහොත් ඒ පිළිබඳ දිගින් දිගට මෙනෙහි කිරීමෙන් වැළකිය යුතුවේ. අකුසල සහගත චිත්තවේග නැවත නැවත මෙනෙහි නොකිරීමෙන් ඒවා තවදුරටත් මනස තුළ ක්‍රියාත්මක වීම ක්‍රමයෙන් දුර්වල වනු ඇත. අකුසල සහගත චිත්තවේග පවත්වා ගැනීමට මනසින් කිසිම උපකාරයක් නොලැබෙන හෙයින් ඒවා මනසින් පහව යනු ඇත. තමන් අකමැති රූපයක් දැකීමට සිදුවූ විටෙක ඒ දෙස නොබලා තම දෑස් පියා ගන්නාක් මෙන් අකුසල සහගත චිත්තවේගවලට අවධානය යොමු කිරීමෙන් වැළකිය යුතුවේ.

මුල් හේතුව විශ්ලේෂණය කිරීම

සිහි නොකර සිටින විටත් තවදුරටත් එම අකුසල සහගත චිත්තවේග මනස තුළ ක්‍රියාත්මක වන්නේ නම් එම අකුසල චිත්තවේග ඇතිවීමට බලපෑ හේතු සාධක කවරේදැයි ආපස්සට විමසා බැලිය යුතුවේ. මෙම අභ්‍යාසය මගින් අකුසල සහගත චිත්තවේගවල පදනම, එහි ආරම්භක හේතු මැනවින් වටහා ගත හැකි වේ.

වේගයෙන් ගමන් කරන පුද්ගලයෙක් තමන් එසේ වේගයෙන් ගමන් කරන්නේ ඇයි දැයි තමන්ගෙන් ම විමසා විශේෂ හේතුවක් නොදැක ක්‍රමයෙන් හෙමින් යාමටත්, නැවතීමටත් නැවතී හිඳ ගැනීමටත් කල්පනා කරන්නා සේ අකුශල සහගත චිත්තවේග ඇතිවීමෙහිලා බලපෑ හේතු සාධක මැනවින් පරීක්ෂා කළ යුතුවේ. එසේ අකුසල සහගත චිත්තවේග විශ්ලේෂණාත්මකව අවබෝධ කරගත් විට ඒවායේ ප්‍රබලත්වය ක්‍රමයෙන් දුර්වල වේ.

දැඩි ලෙස පාලනය කිරීම

අකුසල චිත්තවේග කෙරෙහි බලපෑ හේතු සාධක විශ්ලේෂණය කිරීමේදීත් තවදුරටත් ඒවා මනස තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහිදී දතින් දත ගටා, දිවෙන් තල්ල පෙළා දැඩි උත්සාහයකින් එම අකුශල චිත්තවේග පාලනය කළ යුතුවේ.

මුල් පියවර හතරම අසාර්ථක වුවහොත් පමණක් දැඩි වීර්යය යොදමින් අකුසල සහගත චිත්තවේග පාලනය කිරීමේ අවසන් පියවර අනුගමනය කළ යුතුවේ. බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයකු හිසින් හෝ කඳීන් ගෙන පෙළන්නාක් මෙන් දැඩි වීර්ය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පස්වන ක්‍රමයෙන් ඉදිරිපත් කෙරේ.

ඉහතින් දැක්වූ ක්‍රමෝපායන් පහෙන් ම සිදුකරන්නේ අකුසල සහගත චිත්තවේගයන් ඇති වූ විට එය පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර පෙන්වා දීමය. ඒ යටතේ අරමුණ වෙනස් කිරීම,ආදීනව මෙනෙහි කිරීම, අරමුණ අමතක කිරීම, අරමුණ විශ්ලේෂණය කිරීම, අරමුණ දැඩිලෙස පාලනය කිරීම යන ක්‍රම පහ අනුගමනය කිරීමට බුදුසමයෙන් උපදෙස් ලබාදේ.

එබැවින් එය ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස හැඳීන්විය හැකිය. පුද්ගල මනසේ ඇතිවෙන විවිධ අකුසල සහගත චිත්තවේගවල ස්වභාවය හා ප්‍රමාණය මත ඉහත සඳහන් එක් එක් ක්‍රමෝපායන් භාවිත කළ හැකිවේ. ඇතැම් කෙනෙකුට මෙහි එක් ක්‍රමයක් හෝ නැතහොත් සියල්ලම අනුගමනය කළ හැකිය. කවර අකුසල සහගත චිත්තවේගයක් පහළ වුවද එය කයින් වචනයෙන් ප්‍රකට වන්නට නොදී වළක්වා ගැනීම තමන්ට මෙන්ම සමාජයට ද යහපත පිණිස හේතු වේ.

සිත දමනය කිරීම යහපත් ය.(චිත්තස්ස දමතො සාධු) සිත රැකගත් විට සැප ලැබේ. (චිත්තං ගුත්තං සුඛාවාහං)