Print this Article


ඓතිහාසික මිහින්තලා මහ සෑයේ සුදුහුණු පිරියම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික මිහින්තලා මහ සෑයේ සුදුහුණු පිරියම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය


ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඩඩ්ලි සිරිසේන මහතා සුදුහුණු පිරියම් කිරීමේ අවස්ථාවට එක් වූ අයුරු

ඓතිහාසික මිහින්තලා මහ සෑයේ සුදු හුණු පිරියම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය (29) දා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කළහ.

අනුබුදු මිහිඳු මාහිමියන් සිහිකරමින් පවත්වන ලේක්හවුස් –මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව වාර්ෂිකව මෙම මහා පින්කම සිදුකරයි. රට තුළ පැවති ව්‍යසනකාරි තත්ත්වයන් හේතුවෙන් සුදු හුණු පිරියම් කිරීමේ පුණ්‍ය කර්මය සිදු කිරීමට නොහැකි වූ අතර මෙවර වර්ෂ තුනකින් පසුව සිදු කිරීම ද විශේෂත්වයකි.

මෙවර මෙම පින්කමෙහි මූල්‍ය දායකත්වය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිදු කෙරිණ. “ඉදිරියේදී ද මෙම මහා පින්කම සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙන බවත් මෙවර මෙම මහා පින්කමේ ආශිර්වාදයෙන් අප රටත් ලෝකවාසී සියලු ජනතාව පවතින කොරෝනා වෛරසයෙන් මිදී නිදුක් නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකිවේවායි යන්න එකම ප්‍රාර්ථනාව බවත් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර සිටියේය.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමි, ගැටමාන්නේ ගුණානන්ද නාහිමි යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඓතිහාසික මිහින්තලා මහා සෑයේ සුදු හුණු පිරියම් කිරීමේ පින්කම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කළහ. මෙම කටයුතු ආරක්ෂක අංශ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරේ.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායාක , ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කනිෂ්ක විතාරණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර මෙහෙයුම් කළමණාකාර ගයාන් බණ්ඩාර , පහසුකම් කළමණාකාර අර්ජුන සිරිවංශ, සුභසාධක කළමණාකාර ෂමින්ද විජේතුංග යන මහත්වරු ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

 


ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කනිෂ්ක විතාරණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිස හුණු පිරියම් කිරීමේ පින්කමට සහභාගි වෙමින්.