Print this Article


සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නායකත්වය ලබා දිය හැකි සඟ පරපුරක් දායාද කළා

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නායකත්වය ලබා දිය හැකි සඟ පරපුරක් දායාද කළා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ දාපනේ ශී‍්‍ර ජයසුමනාරාම ටැම්පිට පුරාණ විහාරය හා හම්බෙගමුව මුතුමාල රජමහා විහාරය ඇතුළු විහාර ඝණයේ අධිපති ශී‍්‍ර පාදස්ථානයේ හිටපු කෘත්‍යාධිකාරී තැන්පත් සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරන්ධර අතිපූජ්‍ය කෝප්පකන්දේ ශී‍්‍ර සුමනතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, කෙළිදෙළෙන් ගත කරන ළමා වියේදී ම පැවිදි ජීවිතයට ඇලුම් කිරීමට පසුබිම සකස්වුණේ කුමන ආකාරයෙන් ද?

මගේ මව් පාර්ශ්වයේ ඥාතිවරයෙක් පැවිදි වෙලා හිටියා. උන්වහන්සේ නිතර නිතර අපේ නිවසට වැඩම කළා. ඒ උතුම් ශාන්ත පූජනීය පැවිදි ජීවිතය දෙස බලාගෙන සිටි මටත් පැවිදි වීමේ ආශාව ඇති වුණා. ඒ වගේම මගේ ගම වුණ සබරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කොළොන්න කෝරළයේ වියපත ගම්පත්තුවේ දාපනේ වසමේ කෝප්පකන්දේ ටැම්පිට පුරාණ විහාරාධිපති කෝප්පකන්දේ සුමනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඥාති සම්බන්ධතාවයක් තිබුණා. මම දොරපනේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගනිමින් සිටි අවධියේදී ම පැවිදිවීමට ඇතිවුණ ආසාව නිසා එම විහාරස්ථානයට පැමිණියා. ඒ කාලය තුළ දැන් වගේ නෙවෙයි. විහාරස්ථානයට පැමිණිලා මහණකමට අවශ්‍ය කරන වත්පිළිවෙත් සියල්ල පුරුදු පුහුණු විය යුතුයි.

ආවාට ගියාට පැවිදි කරන්නේ නැහැ.පැවිදී වීමට සුදුසු නම් පමණ යි පැවිදි කරනු ලබන්නේ. ලොකු හාමුදුරුවන් වහන්සේ යටතේ පැවිදි ජීවිතයට අවශ්‍ය කරන මූලික බණ දහම් වත්පිළිවෙත් පිළිබඳ හොඳ පුහුණුවක් වගේම අවබෝධයක් ලබාගත්තා. ඉන් අනතුරුව කෝප්පකන්දේ සුමනසාර නායක හාමුදුරුවන් වහන්සේ හා වලල්ගොඩ පුරාණ රජමහා විහාරාධිපතිව වැඩසිටි කීරපිටියේ ඛේමානන්ද නායක හාමුදුරුවන් වහන්සේ යන දෙනමගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1958 වර්ෂයේ දී කෝප්පකන්දේ සුමනතිස්ස යන උතුම් ශාසනික නාමයෙන් අතිපූජනීය පැවිදිබවට පත්වුණා.

ඔබ වහන්සේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකළ අවධිය පිළිබඳව සිහිපත් කරනවා නම්,

දෙනියාය ශී‍්‍ර පුෂ්පාරාම විහාස්ථානයේ වැඩසිටිමින් මොරවක ශී‍්‍ර සිද්ධාර්ථ පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන දෙනියාය ධර්මද්වජ පිරිවෙනින් පිරිවෙන් අවසානය දක්වා ධර්ම ශාස්තී‍්‍රය අධ්‍යාපනය ලබා ගත්තා. ඒ කාල වකවානුවේ දී මගේ ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වුණ නිසා 1970 වර්ෂයේ දී නැවත විහාරස්ථානයට වැඩම කිරීමට සිදුවුණා.

1963 වර්ෂයේ දී මාතර මොරවක් කෝරළයේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාමාධිපති සද්ධර්ම කීර්තී ශී‍්‍ර කර්මාචාර්ය දෙල්ලව ශී‍්‍ර පියරතන නායක හාමුදුරුවන් වහන්සේ හා දාපනේ ටැම්පිට ජයසුමනාරාම රාජමහා විහාරාධිපති කෝප්පකන්දේ සුමනසාර ලොකු හාමුදුරුවන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් හා රාජාධි රාජපූජිත මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ සිටි කුරුජ්ජිල ශී‍්‍ර සිද්ධාර්ථ සරණංකරාභිධාන මා හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව වෙතින් මල්වතු මහා විහාරයේ දී උතුම් උපසම්පදාව ලබා ගත්තා.

කුඩා කාලයේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රවණය කළ දෙනියාය ධර්මද්වජ ගුරු බිමත්, එවකට ශාසනික ජීවිතාවලෝකය ලබාදුන් අතිගෞරවාර්හ බටඳුරේ ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ආචාර්යන් වහන්සේලාත් ගෞරව පූර්වකව මේ අවස්ථාවේ දී සිහිපත් කරනු ලබනවා.

ඔබ වහන්සේගේ ජාතික ආගමික ශාසනික සේවය සිදුවුණේ කෙසේද?

ශී‍්‍ර පාදස්ථානයේ කෘත්‍යාධිකාරීන් වහන්සේ ලෙස පූජනීය බටුගෙදර යසස්සී හාමුදුරුවන් වහන්සේ හා හඳපාගොඩ විමල හිමියන් අතිගරු දම්පහල සීලානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමඟ ඉතා සමීපව කටයුතු කළා. ශී‍්‍ර පාදස්ථානයේ අඛණ්ඩව වසර 40 ක් තරම් දීර්ඝ කාලයක් තුනුරුවන් කෙරෙහි අසීමිත භක්ත්‍යාදරයකින් යුතුව කටයුතු කිරීමට ලැබීමත් මම ලැබූ පුණ්‍ය මහිමයක්. ඒ වගේම වල්බිහි වී ගිය විහාරාරාම බොහෝ ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළා. ඒ අනුව දාපනේ ශී‍්‍ර ජයසුමනාරාමය, පනාමුර සඳගිරි රජමහා විහාරය,දොරපනේ ශී‍්‍ර නාගරුක්ඛාරාමය,කෝප්පකන්ද ශී‍්‍ර විසුද්ධාරාමය, වලකඩ පුරාණ විහාරය,හම්බෙගමුව ථුපාරාමය,හම්බෙගමුව මුතුමාල රජමහා විහාරය ඉන් කිහිපයක්. ඒ වගේම මේ ප්‍රදේශයට බලවත් අවශ්‍යතාවයක්ව පැවැති හා ශාසනික වශයෙන් යුගයේ අවශ්‍යතාවයක් වශයෙන් සැලකිය හැකි දාපනේ ශී‍්‍ර ජයසුමන පිරිවෙන,හම්බෙගමුව මූලමහා විහාර මූලික පිරිවෙන ආරම්භ කිරීමට ලැබීත් සතුටට කරුණක්. ඒ තුළින් ධර්ම විනයධර ශාසනමාමක භික්ෂූන් වහන්සේලා පිරිසක් අනාගත ශාසනයට දායාදවෙනවා. ඌව පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරන්ධර හම්බෙගමුවේ සුනීත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෘත්‍යාධිකාරීන් වහන්සේ ලෙසත්,ඉළුක්පැලැස්ස බුද්ධශ්‍රාවක විහාරාධිපති ශාස්ත්‍රවේදී තොටුලගම ධම්මවිසුද්ධි හිමියන් පරිවේණාධිපතීන් වහන්සේ ලෙසත් ගුරුවරු හය දෙනෙකුගෙන් යුතු ලියාපදිංචි පරිවේණාරක්ෂක සභාවක් ඒ මගින් පවාත්වාගෙන යාමට කටයුතු සංවිධානය කළා. හම්බෙගමුව මුතුමාල රජමහා විහාරස්ථානයේ ඇති ඓතිහාසිකත්වය පෙන්නුම් කරන වැදගත් ප්‍රවේශයක් වන්නේ විහාරස්ථානය මගින් සංවිධානය කළ හම්බෙගමුව ඓතිහාසික පෙරහරයි. 1930 ගණන් වල ආරම්භ කර තිබුණත් එය පැවැත්වීමේ දී වරින් වර නොයෙකුත් බාධාවන් ඇතිවෙලා තිබුණ නිසා සංවිධාන ශක්තිය දුර්වලවීමෙන් කාලයක් එම පෙරහර පවත්වලා තිබුණේ නැහැ. එම පෙරහර නැවත ආරම්භ කිරීමෙන් පළාතේ ආගමික ශාසනික සංස්කෘතික පුනරුදයක් ඇති වුණා. 2018 වර්ෂයේ දී මගේ 75 වන ජන්ම දිනය සම්පූර්ණ වන කාලය තුළ ම වාර්ෂික මහා පෙරහර පූජෝත්සවය පැවැත්වීමත් සතුටට කරුණක්. දාපනේ ශී‍්‍ර ජයසුමනාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ වසර 40 කට ආසන්න කාලයක් පුරාණ චාරිත්‍ර විධි සියල්ල පිළිපදිමින් පස්වරුවේ පිරිත් දේශනාව සිදු කළ බවත් සතුටින් සිහිපත් කළ යුතුයි.

ඒ වගේම පනස් නමකට නොඅඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ශී‍්‍ර ලංකාවේ විවිධ පළාත්වල අභිනව වෙහෙර විහාර ගොඩනගමින් අගනා ශාසනික සේවයක් ඉටුකිරීම විශාල සතුටක්. එපමණක් නොවෙයි, ඇමෙරිකාව, කැනඩාව, ඉතාලිය ආදී දේශ දේශාන්තරයන්හි ලෝක ශාසනික සේවයෙහි නිරත වෙනවා. එවකට පැවැති තත්ත්වය අනුව මෙවැනි අතිදුෂ්කර ප්‍රදේශයක බාධා ජයගෙන සම්බුද්ධ ශාසනය ආරක්ෂාකරගෙන යාමට නායකත්වය ලබාදිය හැකි එවැනි සඟ පරපුරක් දායාද කිරීමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක්. දශක හැටකට වැඩි ශාසනික ජීවිතාවබෝධයත්, දසක හතළිහකට අධික කාලයක් මුළුල්ලේ බුද්ධස්පර්ෂය සනිටුහන් කළ පුදබිමක තේවා කටයුතු කිරීමට ලැබීමත් මා ලැබූ මහා පුණ්‍ය ශක්තියක් ලෙස හිතෙනවා.