Print this Article


ඇතුළත ගිනි පිටත නොදෙන්න

ඇතුළත ගිනි පිටත නොදෙන්න

සොළොස් මහා ජනපද අතර එක් කුඩා රාජ්‍යයකි, අංග ජනපදය. ධනංජය එහි ප්‍රධාන සිටුවරයා ය. ඔහුගේ භාර්යාව වූයේ සුමනා සිටු දේවියයි. එම දෙපළම තෙරුවන් සරණ ගිය ඉතා සැදැහැතියෝ වූහ. ඔවුන ගේ දියණිය විශාඛා නම් වූවා ය. ඇය ද ස්වකීය මව හා පියා සේ ම තෙරුවන් සරණ ගොස් සිටි අතර දිනක් බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් තත්ත්වයට ද පත් වූවා ය.

ඇය ඒ වන විට පසු වූයේ සත් හැවිරිදි වියේ ය. මව්පියන් ගේ හා ඤාතීන් ගේ අපමණ ගෞරවාදරය ලබමින් විනීත ගති ඇතිව පංච කල්‍යාණයෙන් යුතු කුල කාන්තාවක ලෙස ඇය වර්ධනය වූවා ය.

මේ අතර සැවැත් නුවර මිගාර සිටුවරයා තම පුත් පූර්ණවර්ධන කුමරුට සුදුසු කුමාරිකාවක සොයමින් සිටියේ ය. හේ විශාඛාවන් ගැන අසා ඇය ගේ යහගුණයන් හා සුරූපීබව සලකා විවාහයට කටයුතු සූදානම් කළේ ය. එහි දී ධනංජය සිටුතුමා ස්වකීය දියණියට විවාහ දිවිය සාර්ථ කර ගැනීම සඳහා අවශ්‍යවන අවවාද දහයක් ලබාදුනි. ඒවා මෙසේ ය.

ඇතුළත ගිනි පිටත නොදෙන්න. (ගෘහාශි‍්‍රත ප්‍රශ්න පිටත නොකියන්න)

පිටත ගිනි ඇතුළට නොගන්න. (බාහිර ප්‍රශ්න ගෙදරට නොගන්න)

දෙන අයට දෙන්න. (ලබා ගත් දේ නැවත දෙන අයට පමණක් දෙන්න.)

නොදෙන අයට නොදෙන්න. (ලබාගත් දේ නැවත නොදෙන අයට පමණක් යමක් නොදෙන්න.)

දෙන අයටත් නොදෙන අයටත් දෙන්න. (ඤාතීන්ටත්, යාචකයන්ටත් ආපසු බලාපොරොත්තු නැතිව දෙන්න.)

සුවසේ හිඳින්න. (වැඩිහිටියන් එනවිට නොනැඟිය යුතු තැන හිඳ ගන්න.)

සුවසේ හිඳ අනුභව කරන්න. (කාටත් ලැබුණු බව දැන අනුභව කරන්න)

සුවසේ සැතපෙන්න. (දොරගුළු පරීක්ෂා කොට කාටත් පසුව සැතපෙන්න)

ගිනි පිරිමසන්න. (නැන්දා සහ මාමාත් සැමියාත් ගිනි සේ සලකා අතපසුවීම්වලින් වළකින්න.)

ඇතුළත දෙවියන් පුදන්න. (නැන්දා සහ මාමාටත් සැමියාටත් දෙවියන්ට සේ ගරු කරන්න.)

මෙම අවවාද එදා විශාඛාවට සේ ම වත්මන් දියණිවරුන්ට ද එක සේ ගැළපෙන බව මනාව පෙනෙයි.

විවාහයෙන් පසු විශාඛාවන් ගේ යහපත්කම් පිළිබඳ අවබෝධ කර නොගත් ඇය ගේ මාමණ්ඩිය වූ මිගාර සිටුවරයා ඇය කෙරෙහි ක්‍රියා කළේ කෝපයෙන් යුක්තවයි. ඊට හේතුව ඇතැම් ක්‍රියා කලාපයන් හා භාවිතාවන් ඔහු වැරදියට තේරුම් ගැනීමයි.

විශාඛාවන්ගේ පියා ඇයට, ලබා දුන් පූර්වෝක්ත අවවාද පිළිබඳව ද ඔහු සැක උපදවා ගත්තේ ය. මිගාර නිගණ්ඨ ශ්‍රාවකයකු විය. එහෙත් මිගාර සිටුවරයා පසුව කරුණු නිවැරදිව තේරුම් ගත්තේ ය. විශාඛාවන්ට තෙරුවන් මුල්කරගත් පින්කම් නිවසේ දී ම සිදු කිරීමට අවසරය ලබා දුන්නේ ය. මේ අතර දිනක් බුදු රජාණන් වහන්සේ සිටු මැදුරේ දී දේශනා කළ ධර්මය අසා මිගාර සිටුතුමා සෝවාන් තත්ත්වයට පත් වූයේ ය. තමා නිවැරදි මගට යොමු කළ විශාඛාවන් කෙරෙහි ඔහු එතැන් පටන් ස්වකීය මව් තනතුරෙහිලා සලකන්නට විය. විශාඛාව ‘මිගාර මාතා’ ලෙස ප්‍රකට වූයේ එතැන් සිට ය.

විශාඛා සිටුදියණිය ගේ පුරාකෘත පුණ්‍ය මහිමයෙන් අගනා ආභරණයක් දෙමව්පියන්ගෙන් ඇයට උරුම වුණි. රනින් නිමවා මැණික් එබ්බ වූ එය ‘මහාලතා ප්‍රසාදනය’ හෙවත් ‘මේළ පළඳනාව‘ නම් විය.

දිනක් අතපසුවීමකින් ඇය එය බණ මඩුවේ තබා ගියා ය. ඒ ගැන පසුව විමසූ විට අනඳ තෙරුන් එය සුරක්ෂිත කොට ලබා දුන්නේ ය. එහෙත් භික්ෂූන් වහන්සේලා අතට පත් වූ දෙයක් නිසාවෙන් විශාඛාව එය නැවත ගැනීමට මැලි වූවා ය. කහවණු විසිහත් කෝටියකට මිල කොට එය විකුණා එම මුදලින් නව කෝටියක් වටිනා භූමි භාගයක් මිලදී ගත්තා ය. එහි තවත් නව කෝටියක් වියදම් කොට අගනා විහාරයක් ඉදිකර වූ එතුමිය එය සඟසතු කොට පිදීමේ පින්කම පැවැත්වූයේ තවත් නව කෝටියක් වියදම් කිරීමෙනි.

එම විහාරය නගරයට පූර්ව දිසාවේ වූ බැවින් ‘පූර්වාරාමය’ ලෙස නම් කෙරිණි. එසේම ‘මිගාර මාතු ප්‍රාසාදය’ ලෙස ද හැඳින්විණි. බුදුරජාණන් වහන්සේ මෙහි වස් සයක් වැඩ සිටියහ.

සෝවාන් ඵල ලාභී මහෝපාසිකාවක වූ විශාඛා සිටු දේවිය දිනකට දෙවතාවක් විහාරයට ගමන් කළා ය. උදෑසන යන විට එම අවස්ථාවට ගැළපෙන ලෙසත් සවස් කාලයේ නම් එම අවස්ථාවට ගැළපෙන ලෙසත් යමක් රැගෙන යාමට එතුමිය අමතක නො කළා ය.

සාමණේර හිමිවරු එතුමිය පැමිණෙනු දැකීම ඉතා උනන්දුවෙන් බලාපොරොත්තුව සිටියහ. එතුමිය කුඩා හිමිවරුන් කෙරෙහි ක්‍රියා කළේ අපමණ මව් සෙනෙහසිනි.

දාරක සෙනෙහස උතුරා ගිය මවක් වූ එතුමිය දූ පුතු න් විසි දෙනකු මෙලොවට ජනිත කළා ය. විටෙක තම මුණුබුරකු මිය ගිය මොහොතක එතුමිය දැඩි ලෙස ශෝකයට පත් වූ බව කිය වේ.

වස් වසන භික්ෂූන් වහන්සේලාට වැසි සළු පූජා කිරීමට අනුමැතිය හිමි වන්නේ විශාඛා සිටු දේවිය ගේ ඉල්ලීමකට අනුව බව විනය පිටකයෙහි දැක්වේ.

එසේම භික්ෂුණීන් සම්බන්ධ විනය ගැටලුවලදී ඒවා විසඳීමේ ප්‍රධානත්වය හිමිවූයේ ද කුමාර කාශ්‍යප මාතා භික්ෂුණියටත්, විශාඛා මහෝපාසිකාවටත් ය. බුදු සසුනේ අග්‍ර දායිකාව වූ විශාඛා සිටු දේවිය ශාසනයේ උන්නතිය වෙනුවෙන් අනූපමේය දායකත්වයක් දැක් වූ උත්තමාවියකි.