Print this Article


අනිත්‍ය ධර්ම අටක් පිළිබඳ නිත්‍ය සිතිවිලි ගොඩනැඟීම අර්ථ විරහිත ය

 අනිත්‍ය ධර්ම අටක් පිළිබඳ නිත්‍ය සිතිවිලි ගොඩනැඟීම අර්ථ විරහිත ය

සමාජයේ වඩා ආවේගශීලි සහ කලකිරීම් තත්වයන් බොහෝ විට නිර්මාණය කරගනු ලබන්නේ තරුණ පිරිස් විසිනි. එයට ප්‍රධාන හේතුව අත්දැකීම් මදකමයි. ඇතැම් විට ගිහි පැවැදි දෙපක්ෂයට ම එය පොදු විය හැකි ය.

මෙවැනි අවස්ථාවක ධර්මයෙන් ලද හැකි පිටිවහල ඉතා වැඩිවේ. අපේ ශාස්තෘන් වහන්සේ කෙතරම් ප්‍රමාණයකින් මෙම අකම්පිත ගුණය පුරුදු කළේ ද යන්න මෙම වෙසක් මාසයේ දී අප නිවැරැදිව හඳුනාගත හොත් සැබෑ වෙසක් සැමරුම එයයි.

බුදුරදුන්ගේ සම්බුද්ධ ජීවිතය ආරම්භ වන්නේ වසර 35 දී ය. එය දශකයක් ලෙස ගත හොත් බල දශකයයි. එතැන් සිට වසර 45 ක් පුරාවට අකම්පිත ව ලෝක සත්වයා දුකින් මුදා ගැනීමේ අරමුණ වෙනුවෙන් කටයුතු කළහ. අප සියල්ලන්ට ම ජිවිතයේ යහපත් අරමුණු ජයගත යුතු නම් අකම්පිත ගුණය ඉතා අවශ්‍යය. බොහෝ ගැටුම්, ජීවිත දේපළ හානි, සුහදත්වය පඵදු වීම යන මේ සියල්ලට ම මූලික හේතුව අකම්පිත ගුණය නැති කමයි.

සම සිතින් දැරීම

පඨම ලෝකධම්ම සහ දුතිය ලෝකධම්ම සූත්‍රය තුළ දී අටලෝ දහම බුදුරදුන් විස්තරකොට ඇත. නියම බෞද්ධයකු නම් මෙම කාරණා අටම සම සිතින් උපේක්ෂාවෙන් දරාගත යුතු ය. මන්ද යත් අපේ ශාස්තෘන් වහන්සේ එය උපේක්ෂාවෙන් දරා ගත් නිසාවෙනි.

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ එන

ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා පසංසාච සුඛංච දුක්ඛං
ඒතේ අන්ච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිනාධම්මාති

මෙම අට ලෝ දහම හමුවෙහි බුදුරදුන් නොසැළී කටයුතු කළහ. ඒ බව බුද්ධ චරිතය තුළින් පළමුව අධ්‍යනය කර ගැනීම තුළ වර්තමාන ජිවිතයට එය ගළපාගන්නා ආකාරය තීරණය කරගත හැකි වේ.

සුප්පබුද්ධ, අක්කෝස, චිංචිමානවිකාව, සුන්දරී, මාගන්ධිය වැනි අය බුදුරදුන්ට බොහෝ අපහාස උපහාස සිදු කළහ. මේ කිසිම විටකදී නොසැලී උන්වහන්සේ කටයුතු කළහ.

ආනන්ද හිමියන් බුදුරදුන්ට යෝජනා කළේ වෙන පළාතකට වඩිමු යනුවෙනි. එහෙත් සත්‍ය සදාකාලිකව වසන් කළ නොහැකි බව පමණක් දේශනා කළහ. අවසානයේ දී එය එසේ ම සිදු විය. අක්කෝසගේ සියලු ඇණුම්බැණුම් ඉවසා අවසානයේ දී එක් ප්‍රශ්නයක් විමසූහ.

ඔබේ නිවසට පිරිසක් පැමිණියහම ඔබ කෙසේ ද ඔවුන්ට සැලකුම් කරන්නේ. එහි දී ඔහු පිළිතුරු ලබා දෙන්නේ හොඳ රසවත් කෑම ලබාදෙන බවයි. බුදුරදුන් ඔහුට දේශනා කරනුයේ එම කෑම ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් කුමක් සිදුකරන්නේ ද යනුවෙනි. ස්වාමීණි, මමයි මගේ දරුවොයි බිරිඳයි අනුභව කරනවා.

එසේ නම් ඔබ මට බැන්න නමුත් ඒ කිසිවක් මම බාර ගන්නෙ නෑ. ඔබයි, ඔබේ බිරිඳයි එය භුක්ති විඳින්න.

එය එතරම්ම සරල ලෙස බුදුරදුන් ඉවත දැමූහ. තවද අනේපිඬු සිටුතුමා , විශාඛාව වැනි මහා ධනපතීන් බොහෝ ආරාම උන්වහන්සේට පූජා කළහ. සිව්පසයන් රජ සිටු මැදුරුවලින් අනන්තවත් ලැබුණි. මේ කිසිම ලැබීමක දී උඩඟුව පී‍්‍රති ප්‍රමෝදයට පත්විමක් උන්වහන්සේ සතු නොවූහ.

අශිලාචාර බව

මෙහි දී ජාතක පොතේ එන වාලෝදක ජාතකය ද මෙතැනට ගළපාගත හැකි ය. කොටළුවන්ට මිදි රොඩ්ඩ ලබා දීම තුළ රණපිටිය වැනසෙන ලෙස ඔවුන් කලකෝලාහල සිදු කළ ද මිදි යුෂ බිව් අශ්වයෝ ඉතා සන්සුන් ව රැය පහන් කළහ.

බාලයා ලද පුංචි සැපතේ දී පවා අශීලාචාර වෙයි. හිත දියුණු කළ තැනැත්තා එසේ නොවේ. බුද්ධියෙන් උත්තරීතරත්වයට පත් වූ තථාගතයන් වහන්සේලාගේ හැසිරීම කෙතරම් ශ්‍රේෂ්ඨ ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

පුක්කුසාති බමුණාගේ යහපත සහ හේතු සම්පත්තිය දුටු බුදුරදුන් රැය පහන් වනතුරු කුඹල්හලක වැඩ සිටියහ. රම්‍ය, සුරම්‍ය වැනි මාලිගා පරිහරණය කළ ද උන්වහන්සේට කුඹල්හල එතරම් ගැටලුවක් නොවීය.

සිදුවිය හැකි නරකම දෙයට

සිත හැදීම

අප සාමාන්‍යයෙන් වෙන්න තිබෙන නරකම දෙයට හිත හදාගත් විට ඊට මෙහා ඕනම දෙයකට ඔරොත්තු දෙන්න අවශ්‍ය ශක්තිය නිර්මාණය වේ. මිනිස් ජිවිතය තුළ සියල්ලට ම මුහුණදිය යුතු අතර පලා යෑම මිනිස්කමට නිගාවකි. හැම අලාභයක් තුළම ලාභයක් ඇත. කකුලට පෑගෙන කැත කුණක් වූව ද ඵලදරන ගසක මුලට දැමුවහොත් හොඳ ඵල නෙළාගත හැකි ය.

හැම නරක දෙයක ම හොඳක් ඇත. එක් රජ කෙනකු තම රාජකීය වෛද්‍යවරයා සමඟ දඩයමේ ගිය අවස්ථාවේ රජුගේ ඇඟිල්ල තුවාල විය. වෛද්‍යවරයා වෙදකම් කළ ද ඇඟිල්ල නරක් වී කැපීමට සිදු විය. මෙයින් කුපිත වූ රජු වෛද්‍යවරයා සිරගත කොට තනියම දඩයමේ ගිය දිනක නිදන් හොරු බිලිපූජාවක් සඳහා රජු තම ග්‍රහණයට ගත්හ. රජුගේ ඇඟිල්ලක් අඩුකම නිසා අංග සම්පූර්ණ නොවූ රජු නිදහස් කළහ. රජු මෙහි දී සතුටු වී වෛද්‍යවරයා නිදහස් කොට ඔහුට ස්තූති කළ අතර, වෛද්‍යවරයා රජුට ස්තූති කොට මෙසේ කීය.

රජතුමනි මම ඔබතුමා සමඟ දඩයමේ ගියා නම් ඇඟිල්ල අඩු ඔබ නිදහස් කොට මා බිල්ලට දීමට ඔවුන් කි‍්‍රයා කරයි. ඔබ මා සිරගත කළ බැවින් එයින් ගැලවීමට මට හැකි වූවා.

එහෙයින් සියල්ල විමසීමෙන් බැලිය යුතු ය.

වේරඤ්ජාවේ දී උදය බමුණාගේ ආරාධනාවට අනුව වස් විසූව ද තුන්මාසය පුරාවට ම දානය නො ලැබුණි. ආහාරය මත කණස්සල්ලට හෝ පසුතැවීමට මෙන් ම තරහ ගැනීමට එය හේතුවක් කොට නොගත්හ. වස් අවසානයේ දී උදය බමුණාට ඒ බව පවසා ආශිර්වාද කොට එතැනින් වැඩම කිරීමට තරම් කාරුණික වූහ.

මේඝිය හිමියන් කලෙක දී බුදුරදුන්ගේ තාවකාලික උපස්ථායක තෙරුන් වහන්සේ නමකි. වරෙක බුදුරදුන් සමඟ වැඩම කරන අවස්ථාවක මනරම් අඹ වනයක් දැක එය භාවනාවට සුදුසු යැයි බුදුරදුන් තනිකොට වැඩියහ. නැවත කල් යාමේ දී බුදුරදුන් සොයා පැමිණය ද ඒ අවස්ථා දෙකේ දී සම සිතින් උන්වහන්සේ කටයුතු කළහ. ලාභය අලාභය යන අවස්ථා දෙකම උන්වහන්සේට තවත් එක් කි‍්‍රයාවක් පමණි.

කසී භාරද්වාජ වරෙක පිණ්ඩපාතය සඳහා වැඩම කළ බුදුරදුන්ට දොස් පවසා නැවත පැහැදී දානය බෙදීමට සුදානම් වූ විට උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. ලබන බොජුන් නොපිළිගැනීම බුදුවරුන්ගේ ධර්මතාවයකි. එහෙයින් ආහාර නොදී කෙනකු මට්ටු කළ හැකියැයි සිතීම මුලාවකි. හිත දියුණු පිරිස එසේ පාලනය කළ නොහැකි ය.

අකම්පිත වීම

බුදුරදුන්ගේ අකම්පිත ගුණය ඉතා සුවිශේෂී ය. එක්තරා දුර්භික්ෂ අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සේ බුදුරදුන්ගෙන් මෙසේ විමසීය. භාග්‍යවතුන් වහන්ස, මේ පොළොවේ යට දඩුවැල් බෑ මීයක් වගේ ප්‍රණීත රස පොළොවක් තියනවා මම ඒක උඩ පැත්තට හරවන්න ද? . එවිට බුදුරදුන් විමසන්නේ මේ පොළව උඩ ඉන්න සතුන්ට ඔබ මොකද කරන්නේ? මම වෙන පෘථිවියක් මවලා ඒකට මේ සත්තු දාන්නම්. එපා මොග්ගල්ලාන මේ සත්වයන් මේ පරිසර විපර්යාසයන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. ඔය දේ කළොත් මේ සත්වයෝ උමතු වෙයි. එම නිසා ඔය වැඩේ කරන්න එපා.

තම සුඛය පතා පරිසර වෙනසක් හෝ කිරීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. ජීවත් වීමේ දී සියල්ල විනාශ කරගෙන ආත්මාර්ථකාමී ව පැවතීම ඉතා අයහපත් ය. ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ආකාරයට පැවතීම ඉතා වැදගත් වේ.

මංගල සූත්‍රයට අනුව එය මංගල හෙවත් සුඛ දෙයකි. ධම්මපදයට අනුව ගත් කල පණ්ඩිත ස්වරූපයකි. තම ජිවිතය එසේ නිවැරැදිව පවත්වා ගත හැකි නම් දෙලොව යහපත සැලසේ.

ලෝක ධර්මතා අටම අනිත්‍ය වේ. සැප නිත්‍ය වී දුක අනිත්‍ය නොවේ. එයෙින් අනිත්‍ය කාරණා අටක් පිළිබඳ නිත්‍ය සිතුවිලි ගොඩනඟමින් පීඩා වි¼දීම අර්ථ විරහිත ය. තථාගතයන් වහන්සේගේ කි‍්‍රයා කලාපය හිතට ගෙන මේ සමාජයට මුහුණදීමට සැවොම අදිටන් කරගත යුතු ය.