Print this Article


මාදම්පේ-මාදම්පා නව නගරාසන්නයේ ශ්‍රී ධර්මාරාම විහාරය

මාදම්පේ-මාදම්පා නව නගරාසන්නයේ ශ්‍රී ධර්මාරාම විහාරය

පුත්තලම දිස්ත්‍රික්කයේ උතුරු පිටිගල් කෝරලේ යගම්පත්තුවට අයත් මාදම්පේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාදම්පා නව නගර ආසන්නයේ කුඩා භූමියක පිහිටි ශ්‍රී ධර්මාරාම විහාරය 1962 වසරේ ආරම්භ වු, ඉතා කෙටි කලකින් ඉමහත් දියුණුවට පත් පුණ්‍ය භූමියකි.

රත්මලාන ශ්‍රී ධර්මාරාම විහාරයේ වැඩ විසු මාදම්පේ අත්ථදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ මෙම විහාරස්ථානය ස්ථාපනය කළ බව සඳහන්ය. 2003 වසරේ දෙසැම්බර් 29 වෙනි දින උන්වහන්සේ අපවත් වීම සිදුවන විට මෙම පින්බිමේ බෝධී අංකුරයක් රෝපණය කර තිබු අතර, එය වටා හතරැස් ප්‍රාකාර බැම්මක් ඉදිකර තිබුණි.කුඩා විහාරයකින් හා සංඝාවාසයකින් ද ගාන්ඨාර කුලුණකින් ද , වාහල්කඩකින් ද කුඩා ප්‍රමාණයේ ධර්ම ශාලාවකින් ද සමන්විත විය.මේ සඳහා බෞද්ධ අබෞද්ධ ප්‍රදේශවාසි දානපතියන්ගේ නො මසුරු ආධාර උපකාර ලැබී තිබිණි.

මාදම්පේ අත්ථදස්සී ලොකුහාමුදුරුවන් වහන්සේ වයස්ගත වීම සමඟ අසල්වැසි බ්‍රාහ්මණයාගම කුඩිරුප්පුව විහාර පරම්පරාවේ බ්‍රාහ්මණයාගම ධම්මාවාස ලොකුහාමුදුරුවන් වහන්සේගේ පාලනයට භාරවිය.එතැන් පටන් ධම්මාවාස ලොකු හාමුදුරුවන් වහන්සේ අත්ථදස්සී හිමියන් රැක බලා ගනිමින් විහාරස්ථානයේ චිරස්තිථියට කටයුතු කළහ. වඩිගමංගාවේ ඉන්දරතන හිමියන් විසින් ධම්මාවාස

හිමියන්ගේ අවවාද අනුශාසනා මත විහාරය මේ දක්වා පවත්වාගෙන ආවේ ය.

2003 ඔක්තෝම්බර් 25 වෙනිදා ශ්‍රී ධර්මාරාමයේ තවත් ස්වර්ණමය යුගයක් නිර්මාණය වන්නට අවැසි පසුබිම වඩාත් පුළුල් කරමින් ආරම්භ විය. එතැන් පටන් විහාරස්ථානය විවිධාංගීකරණයට ලක්කළ ඉන්දරතන හිමියන් අභිනව විහාර මන්දිරය, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධිඝරය, සංඝාවාසය වැනි විහාරාරාංගවලින් සමන්විත වූ අංග සම්පුර්ණ ධර්මායතනයක් බවට පත් කළහ.

2004 අප්‍රියෙල් 04 අපවත් වී වදාළ අත්ථදස්සී හිමියන් දරුවන් 04 දෙනකුගෙන් යුතුව ආරම්භ කළ ශ්‍රි

ධර්මාරාම දහම් පාසල අදවන විට දරුවන් 1200ක් දහම් දැනුම ලබන ගුරුමණ්ඩලය

27 කින් සමන්විත පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ දහම් පාසලක් බවට පත්වී ඇත්තේ ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාශීලිත්වය හා විවිධ සේවාවන්හි දක්වන ලද ප්‍රවීණත්වය නිසාම ය.දහම් පාසලේ විදුහල්පති තනතුර ඉන්දරතන හිමියන් දරන අතර නියෝජ්‍ය විදුහල්පති ධුරය දරනු ලබන්නේ පොද්තුක්කුලමේ ධීරානන්ද හිමියන් විසිනි. සෙසු ගුරු මණ්ඩලයේ 25 දෙනාම ගිහි උගතුන් වන අතර ඔවුහු ස්වෙච්ඡාවෙන් දහමි පාසලට සිය සේවය ලබා දෙති. ප්‍රාදේශිය, දිස්ත්‍රික්, සමස්ත ලංකා නිපුණතා වැඩසටහන්වලදී ජයග්‍රහණය කළ සිසු දැරියෝ බොහෝ දෙනෙක් මෙම විදුහලේ ඉගනුම ලබති.