Print this Article


පහන් සිතක කවි

තුන් ලොව එකලු විය

පන්සාළිස් වසක් තුන් ලොව එකලු කළා
ලෝවැස්සන් බුදු දහමින් පුබුදු කළා
මරුවා පැමිණ සමිඳුට ඇරයුමක් කළා
පිරිනිවනට කාලය බව මතක් කළා

නවම් පොහෝ දින ඇරයුම පිළිගනිමින්
තෙමසක් ගතවූ තැන ඉටුවන බව දෙසමින්
සිහ නද පතුරුවා බුදු හිමියන් සතුටින්
ආයුසංස්කාරය හැරියේ එසැණින්

පිරු පාරම් දම්වල බල මහිමෙ න්
සැරියුත් තෙරුන් හා මුගලන් මහ රහතු න්
අගසව් තනතුරු ද ලැබුවා බුදු හිමිගෙ න්
නවම් පොහොයෙ වැදගත්කම එකලු වෙමින්

ගොඩරත්මලේ විපස්සි හිමි
අලවල ශ්‍රී බෝධි රුක්ඛාරාමය
තුංතොට

****

දෙසනු මැන බණ පදයක්

පුණ්‍යවන්තයෝ
ස්වේත වස්ත්‍රයෙන් සැරසීගත්
එක පෙළට සැදී
කිරි කොක්කු රෑන වගේ
දෝතින් දරාගෙන
පුෂ්ප මංජුසා
මන බඳිනා
නිල් මානෙල් මලින් සැදුන
බඹර කැළ ගැවසෙන
‘රුං - රුං “ ගා
බුදුගුණ මතුරන
“සාධු ! සාධු!!” හඬ මැද්දේ
ගමන අහවර කළා
පූජාසනය මතින්
“දෙසනු මැන බණ පදයක්
බුදුහාමුදුරුවනේ
සසර ගොරබිම් තරණයට
මේ හුදී දනහට
ළතෙත් කරුණායෙන්”

****

මෙවර ජයග්‍රාහී කවිය

සැදැහෙන් නමදිමි

තිලොවට තිලක වූ සදහම් ආකර මහ කරුණා ගුණ පිරුණ දයා
මහ සයුරට සම මෙත් ගුණ සපුරා අම නිවනෙහි මඟ ලොවට කියා
මිහිකත සොලවා මහ දන් දුන් බව කතරෙහි දුක් දුරු කරන නියා
නමදිමි උත්තම ගෞතම මුනිදුන් සිරිපා යුග මත නළල තියා

අලුයම හෙලු කෙළ පිඩකට සම කොට රජගෙයි රජ සම්පත් නේක
රහල් කුමරු හා බිම්බා දේවිය අත හැරදා පුන් පෝ දාක
ඡන්න ඇමති හා කන්ථක අසු පිට නික්මී රහසෙම මහ රෑක
නේරංජන ගං වැල්ලෙදි බෝසතු පැවිදි මගට පිවිසුණු සේක

අනන්ත සසරෙහි සැරිසරමින් දස පාරමි දම් පිරු විරිය පුරා
නොයෙකුත් මිසදිටුවන් දමනය කොට සත් වග යොමුකළ නිවන කරා
දස මර සෙන් පරදා නැණ බලයෙන් වැඩ සිට වජිරාසනය අරා
සෙත සදමින් බඹ සුර නර සැමහට දෙසුවා දම් මුළු දිවිය පුරා

රහල් කුමරු හා දෙව්දත් තෙරටත් පෙන්වා එක ලෙස දයා ගුණේ
අඟුල්මල්ට සහ නාළාගිරිටත් සම ලෙස පෑ කරුණාව සෙනේ
රජ ගෙය පැල්පත සම සේ සලකා දන් වැළඳූ පිඬු සිඟා ගෙනේ
මගෙ හද මල ඔබ සිරිපා මුල පුද කරනෙමි සම්බුදු පියා ණනේ

මහ කරුණා නම් සමාපත්තියෙන් අලුයම ලොව බලමින් නිබඳ
දහස් යොදුන් මඟ පා ගමනින් වැඩ නොම සලකා වෙහෙස ද නොමඳ
අසරණයින් හට පිහිට වෙමින් මඟ පහදා දුන් අම නිවන සොඳ
වීතරාගි ශ්‍රී සම්බුදු සමිඳුන් සැදැහෙන් නිමදිමු ඇඳිලි බැඳ

****

සිරිපා වඳිමු

සමනොළ සිරස බුදු සිරිපා පහස ලැබූ
කරුණා කරන දන හට මෙත් ගඟුල බඳු
තුරුලිය සතුන් පුදබිම මෙන් රැකිය යුතු
ජාතික ධනය වෙයි මතු පරපුරට නතු

මිනිස් වෙසින් සිටියත් නොමිනිසුන් ලෙසින්
පුදබිම නොකෙලෙසා කසළ ද දමමින්
නොමනා ක්‍රියා අද සිටවත් නොම කරමින්
කරුණා කරනු මැන බුදු ගුණ සිහි කරමින්

****

නුවණැති ඇසුර

දරු ආදරය තිබුණත් මවු පියන් සිතේ
පාසල් යන්න මව්පියනට වරම් නැතේ
යහමඟ සොයන දරුවන්ගේ අනාගතේ
කවදත් බාරවී ඇත්තේ ගුරුන් අතේ

මව්පිය ගුරුවරුන් වෙත නිති ගරු කරන
දුසිරිත් ඉවත ලා තෙරුවන් නිති වඳීන
පින් සිතිවිලි නිතර තම මනසෙහි පුරන
ගුණවත් කමින් යුතු දරුවන් බිහි කරන

කිමිදී සොයන්නකු හට දියුණුවෙහි මුතූ
නිසි සේ හැඳිනගෙන සම්බුදු දහමෙහි තතූ
සුදනන් ඇසුර ලැබ සදහම් පිණිස මතූ
නුවණින් යුතුව ගුරු ඇසුරම ලැබිය යුතු

****

නමස්කාරය

දම්සක් සුතුර දෙසුවා මිගදායේ දී
යක් සෙන්පති තුමා සාතාගිර එහි දී
මොහඳුර දුරැර බුදු හිමි වැන්දා එහි දී
“නමෝ” යන්න ඇතිවිය හිමි හමුවේ දී

සිව්සස් දහම් අවබෝධය කළැයි කියා
අසිරිඳු වේ පචිත්තී හිමි ළඟට ගියා
බුදු හිමි අභිමුඛ ව වැන්දා “තස්ස” කියා
නමස්කාරයේ ඇතිවිය ‘තස්ස’ කියා

සිව් මහ දෙවිවරුන් පැමිණෙයි බරණැසට
සම්බුදු පියාගේ සිරි සදහම් හඬට
රාග දෝස මෝහය දුරු කෙරුවාට
වැන්දා “භගවතෝ” යැයි බුදු සමිඳුන්ට

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු තුමා
දම්සක් හඬට මුසපත් වූ ඒ උතුමා
රහසින්වත් පවක් නොකරපු මුනි උතුමා
වැන්දා ‘අරහතෝ’ යැයි කියමින් උතුමා

සහම්පති මහබඹු මහ වනට ගියා
දම්සක් සුතුර ඇසුවා ඔහු නෙතු නොපියා
අනුනගෙ උදව් නැතුව ම බුදු වීය කියා
වැන්දා බඹුන් සම්මා “සම්බුද්ධස්ස” කියා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.