Print this Article


ආධ්‍යාත්මය පිරිසුදු නොවේ නම් ජීවිතය අසාර්ථකය

ආධ්‍යාත්මය පිරිසුදු නොවේ නම් ජීවිතය අසාර්ථකය

සම්බුද්ධ ජීවිතය පුරාවට ම දැකිය හැක්කේ පරාර්ථකාමී දිවි පැවැත්මකි. උන්වහන්සේ සියලු රජ සැප අත් හැරියේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවෙනි. නායකත්වයන් අපේක්ෂා කරන්නන් විසින් තම ප්‍රධාන අරමුණ කොටගත යුත්තේ පරාර්ථ චර්යාවයි..

බුද්ධ චරිතය පරමාදර්ශී නායකත්ව ලක්ෂණ රැසකින් සමන්විත ය. නායකයකු ලෙස සාර්ථක වීමට නම් ආධ්‍යාත්මික ශක්තියක් අත්‍යවශ්‍ය ය. ආධ්‍යාත්මය පිරිසුදු නොවන තැන නායකත්වය තාවකාලික වනු ඇත. බුදුරදුන් තුළ පැවති නායකත්ව ලක්ෂණ සමුදාය අතර කරුණු කීපයක් ගෙන බැලුව ද නායකත්වය පිළිබඳ අවබෝධය සකසා ගැනීම පහසු ය.

නිවැරදි දැක්ම, ආකර්ෂණීය කතාව, දුටුවන් පිනවන රූපය, නිවැරැදි තීරණ ගැනීම, පරාර්ථකාමීත්වය, චරිතවත් බව, ආදර්ශවත් බව, අටලෝදහමෙන් කම්පා නොවීම, මහාකරුණාව, ඍජු මෘදු බව, අගතිගාමී නොවීම, නිරහංකාර බව, සමානාත්මතාව, යථාවාදී කතාකාරී බව

මෙම කාරණා බොහෝ කෙනෙකුට වහා අවබෝධ වනු සුළු ලක්ෂණයන් ය. එසේ ම එදිනෙදා තමන්ගේ ජිවිතවලට වඩා පහසුවෙන් එකතු කරගත හැකි කාරණා ය. බුදුරදුන් ගේ දැක්ම වූයේ තමන් සසර දුකින් මිදී අනෙකා එයින් මුදවාගැනීම ය. බුද්ධත්වයට පෙර සිට ම එම දැක්මෙහි වෙනසක් නොවීය.

තමන් කුමන ක්ෂේත්‍රයක කටයුතු කළ ද එයට අදාළ දැක්මක් අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව නායකයකු විය නොහැක. නායකත්වය යනු වගකීමකි. එසේ නොමැතිව එය ආභරණයක් සේ සලකා කටයුතු කිරීම යෝග්‍ය නොවේ. බුදුරජාණන් වහන්සේ ආකර්ෂණීය කතා විලාසයෙන් යුක්ත වූහ. යම් කෙනෙක් උන්වහන්සේ සමීපයට පැමිණි පසු උන්වහන්සේ පළමුව සිනාසුණහ. කතා කිරීමට පෙර කතා කළහ. උදව්වක් ඉල්ලීමට පෙර උදව් කළහ. එක් අවස්ථාවක කොසොල් රජු බුදුරදුන්ට ප්‍රකාශ කළේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන විට භික්ෂූන් කිවිසුම් හඬක්වත් පිටනොකරන බවයි. එතරම් ම උන්වහන්සේගේ හඬ මධුර විය. එසේ මධුර හඬක් උන්වහන්සේට ලැබෙනුයේ සසර කවදාවත් වචනය අවභාවිත නොකළ හෙයිනි. නායකත්වයක් තුළ පුද්ගල ආකර්ෂණීයත්වය ලැබීමට නම් සසර පුරාවට ම ලැබුණ භාෂණ හැකියාව නිවැරැදිව භාවිත කළ යුතුවේ.

සෝණදණ්ඩ බමුණා බුදුරදුන් පිළිබඳ පහදින්නේ උන්වහන්සේ සතු වූ රූප ශ්‍රීය නිසාවෙනි. බමුණු දහම තුළ දෙතිස් මහා පුරිස ලක්ෂණ ඔහු අසා තිබුණ ද එම ලක්ෂණ ඔහු දකින්නේ බුදුරදුන් තුළිනි. එහෙයින් ඔහු බුදුන් සරණයාමට කටයුතු කළේ ය.

සංසාර ජීවිතය තුළ දී ලැබුණ ශරීරය අනෙකා පෙළීමට, සමාජය භේදභින්න කිරීමට යොදානොගත් නිසා එවන් රූපකායක් උන්වහන්සේ සතු වූහ. මෙවැනි රූප විලාශයක් ලැබ සමාජයට නායකත්වය ලබාදීමට යමකු අපේක්ෂා කරන්නේ නම්, මේ ආකාරයට ලැබුණ ශරීරය සියලු දෙනාගේ යහපතට භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. නායකයකු ලෙස සෑම විට ම නිවැරැදි තීරණ ගත යුතු ය. මන්දයත් ඒ තුළ බොහෝ පිරිසක් පීඩාවට පත්විය හැකි බැවිනි. නිවසක ගෘහ මූලිකයාගේ තීරණ අයහපත් වුවහොත් එහි හානිය තම නිවෙසට ය. ආයතනයක, සංස්ථාවක ද තත්ත්වය මීට වඩා වෙනස් නොවේ.

ජෛන මහාවීර ගේ තීරණ දීර්ඝ කාලීන නොවූ හෙයින් මහාවීරගේ අභාවයෙන් ජෛන සාසනය විනාශ විය. බුදු සසුන මේ තාක් නිරුපද්‍රිත ව පවතින්නේ බුදුරදුන් නිවැරැදි තීරණ ගත් නිසාවෙනි. ධර්මය ගුරු තනතුරේ තබා ගැනීම, ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම ඉන් කිහිපයකි. නායකත්වයේ වටිනාකම පවතින්නේ ඔහු හෝ ඇය ගනු ලබන තීරණ තුළිනි. සුදුසු වෙලාවේ දී ගත යුතු තීරණ එසේ නොගැනීම ප්‍රශ්න ගැටලු වැඩිවීමට හේතුවේ.

සම්බුද්ධ ජීවිතය පුරාවට ම දැකිය හැක්කේ පරාර්ථකාමී දිවි පැවැත්මකි. උන්වහන්සේ සියලු රජ සැප අත් හැරියේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවෙනි. නායකත්වයන් අපේක්ෂා කරන්නන් විසින් තම ප්‍රධාන අරමුණ කොටගත යුත්තේ පරාර්ථ චර්යාවයි. එය පරාර්ථකාමතා වේශයෙන් එන ලෝභයක් නොවිය යුතු ය. සාමාන්‍ය වහරෙහි දී අනෙකාට සේවය කිරීමට නම් ඌරුකටක්, බූරුපිටක්, නරි මොළයක්, කිඹුල්හමක් තිබිය යුතු යැයි සඳහන් ය. එහෙත් නරියකු සේ අනවශ්‍ය කපටිකම උචිත නොවේ. එහි දී ලෝභය හටගෙන තම උදාර පරමාර්ථ අමතක විය හැකි ය.

චරිතවත් බව නායකයකු සතුවිය යුතු ඉතා උතුම් ගුණයකි. බුදුරදුන් තුළ මෙම ගුණය ඉතා ඉහළින් ම පැවතුණත් චිංචිමානවිකාව, මාගන්දියා වැනි අය කුමන චෝදනා කළ ද භාරතීය සමාජය බුදුරදුන්ගේ නිකළැල් ස්වභාවය දැඩිව විශ්වාස කළහ. සුන්දරියගේ ඝාතනය හමුවේ අන්‍ය තීර්ථකයන් කුමන ආරක චෝදනා සිදු කළ ද උන්වහන්සේ නොසැළී සිටියේ මේ තත්ත්වය නිසාවෙනි. විශේෂයෙන් නායකත්වයන් පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව තම චරිතය පිරිසුදුව පවත්වාගත යුතු ය.

නායකත්වයන් තුළ දැකිය හැකි ප්‍රධාන සාධකය විය යුත්තේ ආදර්ශවත් බවයි. කෙසේ කුමන අයුරකින් මතවාද ඉදිරිපත් කළ ද කි‍්‍රයාවෙන් ඔප්පු කිරීම අවශ්‍යය. යම් වචනයක් කි‍්‍රයාවෙන් ඔප්පු කරන තුරු සෑම වචනයක් ම හිස් වචනයකි.

ජනපද චාරිකාවේ වඩින ලෙස දන්වා බුදුරජාණන් වහන්සේ ද උරුවෙල් දනව්වට වැඩියහ. කළගුණ සැලකීමේ වටිනාකම දේශනා කළ පමණක් නොව බෝමැඩ මුල දී එය කි‍්‍රයාවෙන් පෙන්නුම් කළහ. පිණ්ඩපාතය පිළිගැනීම, සිවුරු පරිහරණය යන මේ සෑම අවස්ථාවක දී ම එය පෙන්වූහ. මව්පිය උපස්ථානය දේශනා කළා පමණක් නොව එය කි‍්‍රයාවෙන් ම සිදුකොට පෙන්වූහ.

තාදි ගුණය හෙවත් අටලෝදහමින් කම්පා නොවීම බුදුරදුන් තුළ පැවති තවත් නායකත්ව ලක්ෂණයකි. පිරිසකට නායකත්වය ලබා දෙන්නේ නම් ලාභ අලාභ ආදී ලෝක ධර්මතාවයන්ට මුහුණදිය යුතුය. පිරිසකට ගැළපෙන දේ තවත් පිරිසකට නො ගැළපේ. හැමවිට ම හැමෝ ම පිනවිය නොහැකිය. එහෙයින් සියල්ලට ම ඔරොත්තු දීමේ හැකියාව අවශ්‍යය ය.

අපේ වැනි රටක මේ ගුණයන් ඉතා ඉහළින් දියුණුකර ගැනීම වැදගත් ය. සෘජු මෙන් ම අවංක වීම, මෘදු වීම ඕනෑම අංශයක නායකයකු සතුවිය යුතුය. ආලවක දමනය, අංගුලිමාල දමනය වැනි අවස්ථාවල දී විශේෂයෙන් මෙම ගුණයන් දැකිය හැකි ය. තීන්දු තීරණ ගැනීමේ දී මෙම ගුණය ඉතා වැදගත් වේ. සමානාත්මතාව ඉතා ඉහළින් ම උන්වහන්සේ සතුවිය. අසමානතාවයන්ගෙන් බහුල වූ භාරත සමාජයට සමාජ සාධාරණත්වය කියා දුන්නේ අප බුදුරදුන් ය. කුල භේදය වැනි දෑ ඊට කදිම නිදසුන් ය. ඉහත යහපත් ලක්ෂණ මෙලොව ජීවිතයේ දී නිවැරදිව පුහුණු කරන්නේ නම්, දෙලොව සැනසීම සකසා ගැනීම පහසු වේ.