Print this Article


පරාර්ථ චර්යාව උතුම් පින්කමකි

පරාර්ථ චර්යාව උතුම් පින්කමකි

අතින් අල්ලා ගත් දෙය අතහැරෙයි සිතින් අල්ලා ගත් දෙය රැගෙන යයි. අනෙකාගේ යහපත, සමාජ යහපත අරමුණු කොටගෙන කටයුතු කිරීම පරාර්ථ චර්යාවයි. අපේ බුදුරජාණන් වහන්සේ පරාර්ථ චර්යාවේ ප්‍රතිමූර්තිය යි.

පළමු රහත් හැටනම අමතා උන්වහන්සේ දේශනා කළේ “චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජන සුඛාය.. ආදී වශයෙනි.

බොහෝ දෙනාගේ හිතසුව පිණිස, සැප පිණිස ධර්ම ප්‍රචාරය කරන ලෙසයි. එසේම තමන් වහන්සේ ද එය ක්‍රියාවෙන් ඔප්පු කළහ. නිරන්තරව දේශනා කළේ පරාර්ථ චර්යාවෙහි හැසිරෙන්න යන උදාරතර අවවාදය යි. පරාර්ථ චර්යාව උතුම් පින්කමකි.

මචලගමේ තරුණයෝ

මඝ මානවක තරුණයකු ලෙස උතුම් පරාර්ථ චර්යාවන්හි නියැළී දිව්‍ය ලෝකයෙහි සක්‍ර පදවිය පවා ලබාගත්හ. ලෝකයේ ප්‍රථම ස්වේච්ඡා සංවිධානය ලෙස එය හැඳින්වීම වරදක් නොවේ.

මචලං ගමේ තරුණයන් තිස්තුන් දෙනෙක් එකතු කොටගෙන ඒදඬු පාලම් ඉදි කිරීම, ගස් කොළන් සිටුවීම, ළිං පොකුණු සැකසීම මෙන් ම මාර්ග හෙළි පෙහෙළි කොට ගිමන්හල් තනාදීම එතුමාගේ ප්‍රමුඛතම කාර්ය විය.

ඒ තුළ කිසිදු ලෞකික අරමුණක් එතුමා සතු නොවූහ. පිරිසුදු සිතුවිල්ලෙන් එසේ ක්‍රියා කිරීම නිසා දෙලොව සැප විපාක විඳීමට තරම් මඝ භාග්‍යවන්ත විය.

බුදුරදුන්ගේ වසර 45 පුරාවට දවස් 16425ක් සෑම අලුයමක ම කාට හෝ පිහිට වූහ. උන්වහන්සේගේ දවස කොටස් 05 කට බෙදා ඒ සෑම කාලයකදී ම විවිධ කොටස්වලට කරුණාවෙන් පිහිට වූහ. එවන් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේ නමක් ධර්මය පවතින මෙබඳු කාල සීමාවක දී මිනිසුන් ලෙස හැකිතාක් පරාර්ථකාමී විය යුතු ය. එයම නියම ලෙස බුදුරදුන් සරණයාමකි.

එසේ නොවන්නේ නම් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යනු හුදු හිස් වචනයක් පමණි. වර්තමානයේ බොහෝ ප්‍රශ්න නිර්මාණය වී, ගැටුම් පවා ඇතිවන්නේ පරාර්ථකාමීත්වය වෙනුවට ආත්මාර්ථය ඉදිරිපත් වීම නිසා ය. එසේම පරාර්ථකාමීත්වය වේශයෙන් එන ලෝභය පදනම්කොට ගෙන බොහෝ පරාර්ථකාමී නොවන දේ සිදු කිරීම දැකිය හැකි ය. එය දෙලොව දුගතිගාමීත්වයට හේතුවකි.

කරදරයක් ව්‍යසනයක් ඇති වූ සෑම විට ම අනෙකාගේ පිහිටට පැමිණීම අප තුළ ඇති උදාරතර ගුණයකි.

එසේ වුව ද ඇතැම් අය අතරින් මෙය ගිලිහීගොස් ඇති ආකාරය ද තේරුම්ගත යුතු ය. මන්දයත් කරදරයකදී මුලින් ම සිදුකළ යුත්තේ එය ඡායාරූපගත කිරීම නොව පිහිටවීම ය. මේ වගකීම ඇතැමුන් හඳුනා නොගැනීම අවාසනාවන්ත තත්ත්වයකි.

එක් අගමැතිවරයකු වරකදී පැවසුවේ “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව ය.” ලද මිනිස් ජීවිතය අනෙකාගේ , සමාජයේ මෙන්ම පරිසරයේ යහපත උදෙසා මෙහෙය වීම ඉතා වැදගත් ය. තවද එය තමන්ට මහත් ආශිර්වාදයක් කොට සැලකිය යුතු ය. තිරිසන් ලෝකයේ කළ නොහැකි කටයුත්තක් මිනිසා සිදු කරයි. එනම් අනෙකාගේ යහපත වෙනුවෙන් වෙහෙසවීමයි.

ධනපතීන් අතර ශ්‍රේෂ්ඨ දානපතීන්

පරාර්ථ චර්යාව විවිධ ආකාරයෙන් සිදු කළ හැකි ය. ධනය, ශ්‍රමය, කාලය, ශක්තිය මේ කුමන හෝ ආකාරයෙන් අනෙකාගේ යහපත සලසන්නේ නම් ඔවුන් උදාරතරය. බුද්ධකාලීන සමාජයේ දී අනාථ පිණ්ඩික වැනි සිටුවරු ධනය වියදම්කොට බොහෝ සමාජ ආගමික කර්තව්‍යයන් සිදුකළහ. ලංකාව මෙන්ම ලෝකයේ ඇතැම් ධනවතුන් මේ හා සමාන සේවාවන් සිදුකිරීම දැකිය හැකි ය.

ධනපතීන් අතර දානපතීන් ඉතා ශ්‍රේෂ්ඨ ය. රෝහල් අඩුපාඩු, මිනිස් අවශ්‍යතා වෙනුවෙන් තමන් ඉපයූ ධනය පරිත්‍යාග කිරීම අගය කටයුතු ය. ඔවුන් එසේ කටයුතු කරනුයේ අතින් අල්ලාගත් දේ අත්හැර සිතින් අල්ලාගත් දෑ රැගෙන යන නිසා ය.

සිල් පිරෙන හැටි

ශ්‍රමය දානය කොට පරාර්ථ චර්යාවෙහි ඉතා පහසුවෙන් යෙදිය හැකි ය. මහත් ධනස්කන්ධයන් නැති වුව ද විශේෂයෙන් තරුණ පිරිසට මෙවන් කාර්යන්වල නියැළීම ඉතා පහසු ය. ඇතැම් විට පරිසරය පවිත්‍ර කිරීම, ගස් කොළන් සිටුවීම ආදී අවස්ථාවන්වලදී තරුණ තරුණියන්ගේ මැදිහත්වීම ප්‍රශංසා කටයුතු ය.

‘ආරාම රෝපා වන රෝපා...’ යනුවෙන් වන රෝප සූත්‍රයේ දී දක්වනු ලබන්නේ මෙවැනි ක්‍රියා දිවා රෑ පින් වැඩෙන බවයි. පින් සිදු කරගත හැක්කේ මල් පහන් පූජාව, කොඩි සේසත් කප්රුක් පැළැන්දීමෙන් පමණක් නොවේ. බුදු දහමට අනුව බලන කල ආමිසයට වඩා ප්‍රතිපත්තිය ඉතා වැදගත් ය.

අප සියලු දෙනාටම පැවරුණ වතක් හෙවත් කාර්යය භාරයක් ඇත. එය මනාව තේරුම් ගන්නේ නම් ඉතා වැදගත් ය. සිල් පිරෙන්නේ ද වත් පිරීම තුළින් “වත්ථං න පරිපුරෙන්තෝ න සීලං පරිපූරති” වත් නොපුරන්නාට සිල් නොපිරේ යනුවෙන් දේශනාවේ සඳහන් වන්නේ ද ඒ නිසාවෙනි.

දියුණු හිතක් තිබේ නම්...

අනෙකාගේ යහපත වෙනුවෙන් තම කාලය මිඩංගු කළ හැක්කේ දියුණු හිතක් ඇත්තෙකුට පමණි. එහෙම සිතක් නැති කෙනෙකුට ඒ ආකාරයෙන් කැපකිරීමක් කළ නොහැකි ය. තමන්ට තම දියුණුවට කාලය කොතෙක් වැය කළ හැකි මුත් අන්‍ය සැපත වෙනුවෙන් එසේ කිරීම අපහසු ය. බොහෝ ආගමික නායකයන් මහත්මා ගාන්ධි, ධර්මපාල වැනි ශ්‍රේෂ්ඨයන් මේ අතර ඉතා ඉහළින් තැබිය හැකි ය.

බුද්ධ චරිතය අධ්‍යයනය කරන්න

නියම ආකාරයෙන් බුදුරදුන් සරණ යෑමට අපේක්ෂා කරන යමෙක් ද උන්වහන්සේගේ පරාර්ථ චර්යාව හොඳින් අධ්‍යනය කළ යුතු ය. බුද්ධ චරිතය දෙස බලන කල උන්වහන්සේගේ පරාර්ථ චර්යාවට සීමා මායිම් දැක්විය නොහැකි ය. ඒ අතර පහත අවස්ථා සුවිශේෂී වේ.

එකම දිනක දරු දෙදෙනා, ස්වාමියා, මවුපියන් හා සහෝදරයා අහිමි වූ පටාචාරාවට පිහිට වීම.

පුතු මළ සොවින් අසරණ වූ කිසාගෝතමියට පිහිට වීම.

සුනීත, සෝපාක රජ්ජුමාලාවට පිහිටවීම.

මට්ටකුණ්ඩලීට පිහිටවීම.

දරුවන් නොසැලකූ මහමඟට වැටුණ පියාට සැලකීම.

බුදුන්ට ගල් පෙරළු දේවදත්ත හිමියන්ට පිහිට වීම.

නාලාගිරි, ආලවක යක්ෂයා, උදේනි රජුගේ මංගල හස්තියාට පිහිට වීම.

බෝසත් පරපුරක් නිර්මාණය කිරීමට...

වර්තමාන තරුණ තරුණියන් ලෙස හෝ වැඩිහිටියන් ලෙස පරාර්ථ චර්යාව වෙනුවෙන් සූදානම් වනවා නම් ඉවසීම උපේක්ෂාව, මෛත්‍රිය, කරුණාව, දරා ගැනීම, සංයමය වැනි ගුණාංග දියුණු කරගත යුතු ය. එසේ නොවනතාක් දිවා රෑ පින් වැඩෙන පින්කම් සිදුකරගත නොහැකි වේ.

එසේම පරාර්ථ චර්යාව කළකිරීමට හේතුවක් විය හැකි ය. අනගාරික ධර්මපාලතුමාට පවා ඒ අද්දැකීමට මුහුණ දීමට සිදු විය. විශේෂයෙන් ඉවසීම, උපේක්ෂාව වඩා වැඩියෙන් ප්‍රගුණ කළ යුතු ය. තමන්ගේ ජීවිතය තුළ පරාර්ථයට වැඩි ඉඩක් ලබාදීමෙන් සසර යහපත් ගුණාංග දියුණු කිරීමට ද අවස්ථාව හිමිවේ. ලොව බෝසත්වරු බිහිවන්නේ වෙන ආකාරයකට නොව පරාර්ථය තුළ උතුම් ගුණාංග දියුණු කිරීම තුළිනි. බෝසත් පරපුරක් උතුම් ගුණාංග දියුණු කිරීම තුළින් බෝසත් පරපුරක් නිර්මාණය කිරීමට සැවොම පරාර්ථය තුළ පිහිටිය යුතු වේ.