Print this Article


ස්තූති පූජාව

ස්තූති පූජාව

අතීතයේ එක් කලෙක හිමවත දකුණු දිග එක් භූමි භාගයක අසපුවෙක තවුසෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්යවරයකු සොයමින් වනයෙහි ඇති මූල පලයන් ආහාර කොටගනිමින් විසුවේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ලොව පහළව සිවුසස් දෙසමින් මහ ජනයා සසර සයුරෙන් එතෙර කරවන්නට වන්හ.

බුදුන් ලොව පහළව අට වසක් ඉක්මවීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තවුසාට සැළවිය. තාපස තෙමේ ඉමහත් පී‍්‍රතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකර ගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේධ බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින් ම පැමිණියේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ධර්මදේශනා කරමින් උන් සේක. තාපස තෙමේ ජන සමූහයා පසු කොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ ගාථා කියා උන්වහන්සේට ස්තුති කෙළේ ය.

සුමේධ බුදුන් වහන්සේ ඔහුගේ ස්තුති පුජාව පිළිගෙන මහ සඟන මැද හිඳ ඔහුට එයින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසු ඒ තවුසා ඒ පිනෙන් සත් සැත්තෑ කපක් දෙව් ලොව දෙව් සැප විඳින්නේ ය.

දහස් වරක් දෙව්ලොව රජ වී රජය කරන්නේ ය.

වාර සිය ගණනක් මිනිස් ලොව සක්විති රජ වන්නේ ය.

ගණනින් නිම කළ නොහෙන තරම් වාර වල දී ප්‍රදේශ රාජ සම්පත් ලබන්නේ ය.

මොහු දෙව් වුව ද මිනිස් වුව ද හැම කල්හි පින්කම් කරන තියුණු නුවණැතියෙක් වන්නේ ය.

මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි උපන් ගෞතම නම් බුදු කෙනෙක් වන්නේ ය. එකල මේ තෙමේ මිනිස් ලොව ඉපිද ඒ බුදුන්ගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වයසේදී ම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.

ඒ තාපස තෙමේ සුමේධ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලය දක්වා ඇති කල්ප තිස් දහසක් වූ අති දීර්ඝ කාලයෙහි එක වරකුදු දුර්ගතියට නො පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයෙහි සැරිසරා අප බුදුන් කාලයේ දී මිනිස් ලොව ඉපිද සත් අවුරුදු වසසේ දී ම රහත් ව

“තිංස කප්ප සහස්සම්හි - යං ඤාණමථවිං අහං
දුග්ගතිං නාභිජානාමි - ඵලං ඤාණස්ස ථොමනෙ.”

යනුවෙන් මම කල්ප තිස් දහසකින් ඔබ බුදුන්ගේ නුවණට යම් ස්තුතියක් කෙළෙම් ද ඒ පිනෙන් මේ වන තුරු දුර්ගතියට නො ගියෙමි. මෙය ඥානයට ස්තුති කිරීමේ ඵලයයි. ප්‍රකාශ කෙළේ ය.