Print this Article


බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් ආදර්ශ ගෙන කරුණාව පතුරවමු

බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් ආදර්ශ ගෙන කරුණාව පතුරවමු

බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා කරුණාව ලෙස හඳුන්වන්නේ උන්වහන්සේ තුළ පිහිටි මහා කරුණාව හා සමාන කරුණා ගුණයක් තවත් බුදුවරයන් වහන්සේ නමකට මිස අන් කිසි වකුට නොමැති බැවිනි. උන්වහන්සේ දිනපතා අලුයම අවදි වී මහා කරුණා සමාපත්තියට සමවැද ලෝක සත්ත්වයා දෙස බලා වැඩ වදාළ සේක.

අනුන් කෙරෙන් යුත් කරදර නැති කිරීමට ඇති කැමැත්ත මෙන්ම අනුන්ට පිහිට වී අනුන් සුවපත් කිරීමට ඇති කැමැත්ත මහා කරුණාව නම් වේ.

බුද්ධො හං බෝධයිස්සාමි - මුත්තො හං මෝචයේ පරේ
තිණ්ණොහං තාරයිස්සාමි - සං සාරෝගා මහබ්භයා

මම බුද්ධ වෙමි. එහෙයින් අන්‍යන්ට අවබෝධ කරවන්නෙමි, මිදුණා වූ මම අන්‍යයන් මුදවන්නෙමි, එතෙර වූ මම අන්‍යයන් එතෙර කරවන්නෙක් වෙමි, සංසාර ඔඝය මහා බියකරු ය. බුදුරජාණන් වහන්සේ හඳාුන්වන නම් අතර මහා කාරුණිකයන් වහන්සේ යැයි සඳහන් කරනුයේ උන්වහන්සේ තුළ තිබූ මහාකරුණා ගුණය මත පදනම්ව ය.

මහා කරුණාව

‘පරදුකෙඛ සති සාදූනං හදයං කම්පනං කරෝතිතී කරුණා’ අනුන්ගේ දුකේ දී හදවතේ කම්පා වෙන ස්වභාවය කරුණාව නම් වේ. බුදුරජාණන් වහන්සේට මෙය අන් පුද්ගලයන්ට වාඩා පිහිටා තිබුණේ ය. සාමාන්‍ය පුද්ගලයන්ට ඇතිවෙන කරුණාව මමායනය පදනම්ව ඇත. එනම් සියලුම තැන් වලදී තමන්ගේ අයට මූලිකත්වය දීම සහ තමන්ගේ දේ වලට මූලිකත්වය දීම ස්වභාවය වේ. එහෙත් බුද්ධ කරුණාව කිසි විට තමන්ගේ යන සීමාවක් දක්නට නැත.

එමෙන් ම තම හිතවත් අහිතවත් යැයි භේදයක් ද නොමැත. තම පුතු රාහුලටත් තමන් වහන්සේ ඝාතනයට පැමිණි අංගුලිමාල හටත් එකසේ ම මෙත් සිතින් කටයුතු කරන්නට විය. එමෙන් ම බුදුන් වහන්සේගේ මහා කරුණාව මනුස්ස, තිරිසන්, දේව, යක්‍ෂ, ප්‍රේත ආදී සියලුම සත්ත්වයන් වෙත එක සමාන ම විය.

සාමාන්‍ය පුද්ගලයන්ට හැකි වනුයේ තම පියවි ඇසට පෙනෙන සත්ත්වයන්හට පමණක් පිහිට වීමට ය. එයත් තමන් තෝරා ගත් පුද්ගලයන් වෙත මූලිකත්ත්වය දීමට සැම විට අමතක නොරයි. කරුණාව සියලු පුද්ගලයන් වෙත ඇති වූවද මහාකරුණාව ඇති වන්නේ බුදු රජාණන් වහන්සේට පමණි. බුද්ධ කරුණාව මහාකරුණාවක් වීමට විශේෂ හේතු පහක් දක්වා ඇත. එනම්,

මහා කරුණාව සඳහා කරන ලද කුසල් උසස් වේ. එය ලබා ගැනීමට කළ කුසල් කරුණාව සඳහා වූ කුසල්වලට වඩා බලවත් ය.

ස්වරූපය අතින් උසස් වන මහා කරුණාව දුක හා සැප යන දෙකෙහිම එක සේ දැක්වෙන අතර කරුණාව දුකේදී පමණක් ක්‍රියාවට නැංවේ.

උසස් අරමුණෙහි පවතින මහා කරුණාව කාම,රූප,අරූප යන ධාතු ත්‍රයෙහිම ක්‍රියාත්මක වේ. කරුණාව කාම ධාතුවේ පමණක් ක්‍රියාත්මක වේ.

මහා කරුණාව සියලු අචෙතනික සචේතනික ධර්ම සමූහය උදෙසාම ක්‍රියාවට නැංවෙන අතර කරුණාව ඒකීය භාවය සඳහාම යොමු වේ.

මහා කරුණාවේ පැතිරීම ප්‍රමාණයෙන් හා කාලය වැනි සීමාවන්ගෙන් ඔබ්බට යන අතර කරුණාව සීමිත පරිමාණයක් තුළ ක්‍රියාට නැංවේ යනුවෙනි. මෙම විග්‍රහය තුළින් මහා කරුණා ගුණයේ සුවිශේෂී බව මනාව පසක් වේ.

සැනසීම ලබන මඟ

වධකේ දේව දත්තම්හි - චොරේ අංගුලි මාලකේ
ධනපාලේ රාහුලේ චාපි -සබ්බත්ථ සම මානසෝ

තමන් වහන්සේ ඝාතනයට පැමිණි දෙව් දත් තෙරුන්ටත්, තම ජීවිතය නැති කිරීමට ආ අංගුලිමාලටත්, තමන් වහන්සේ පාගා දැමීමට ආ ධනපාල ඇතාටත්, තම එකම පුතු රාහුල කුමරුටත් සම සිතින් යුතුව මෛත්‍රිය ම පමණක් පතුරුවා හැරීය. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයේ අසීමාන්තික බව සහ එයින් පහස ලැබූවන්ගේ ගණන අපමණ ය. බුදුරජාණන් වහන්සෙගේ ගමන් මාර්ගය තුළ හැසිරෙන ඔබ ඔබේ ජිවිතය තුළ ද මෙම කරුණා ගුණය පුහුණු පුරුදු කළ යුතු ය.

අප අපගේ ජීවිතයේ සෑම සිතිවිල්ලක්ම, සෑම ක්‍රියාවක්ම, සෑම වචනයක්ම බුදු දහමට අනුව ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතු ය. එය එසේ වීමට නම් ඔබ බුදු දහම මෙන්ම බුදුන් වහන්සේගේ චරිතය පිළිබඳව අවබෝධ කොට ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ වචනයෙන් මෙන්ම තමන් වහන්සේගේ චරිතයෙන් ලෝකයට මඟ පෙන්වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. මහා කරුණා ගුණයෙන් සියලුම මනුස්ස, අමනුස්ස, තිරිසන්, දේව බ්‍රහ්ම යන අය කෙරෙහි පමණක් නොව අජීවී ලෝකය වෙතද සම සිතින් කටයුතු කළහ. එසේ කරුණාව දක්වා මුලු ලෝකයම සුවපත් කළහ. එම චරිතාදර්ශය ගෙන ඔබ ද සැම සත වෙත මෙන්ම ලෝකය වෙත ද කරුණාව පතුරුවා අනෙකාගේ ජීවිතය වෙත සැනසීම ලබා දීමට කටයුතු කරන්න.

පුරුදු, පුහුණු කරන්න

දිනෙන් දින ගෙවී යන ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලන්න. දවසේ කටයුතු නිමා කොට නින්ද වෙත යන ඔබ ඔබේ දවස ගෙවුණු අයුරු සිහිපත් කරන්න. ඔබේ දවස තුළ ඔබට මුණ ගැසුණු හා ඔබ ජීවත් වූ පරිසරය වෙත ඔබ කොපමණ කරුණාව දැක් වූයේ ද යන්න විමසිලි වන්න. දවසේ සෑම මොහොතක ම ඔබ විසින් අජීවී හෝ සජීවී පුද්ගලයන් සමඟ ගනු දෙනු කරනු ලබයි. ඒ සෑම අවස්ථාවක ම කරුණාවෙන් කටයුතු කිරීමට පුහුණු වන්න.

අනෙකා වෙත ඔබගේ සෑම සිතිවිල්ලක් ම, සෑම වචනයක් ම, සෑම ක්‍රියාවක් ම කරුණාව පෙර දැරිව සිදු කරන්න. එපමණක් නොව ඔබ ඔබට කරුණාවන්තව සලකන්න. ඔබ දෙස කරුණාවෙන් බලා ඔබේ ශරීරයේ සුව පහසුව ධාර්මිකව සකසා ගන්න. ඔබට ඔබගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට උපකාර වන ඔබේ ශරීරයට කාරුණිකව සලකන්න. එම කාරුණික බව ජීවිතය තව දුරටත් සාර්ථකත්වය වෙත රුගෙන යනු ඇත.

සිල්වත් වීම

විවිධ ස්ථර වලින් දක්වා ඇති ශීල ප්‍රතිපදාව තුළ දැක්වෙන්නේ ද තමාට හා අනෙකාට කරුණාව පතුරවන අයුරු පුහුණු කිරීමක් ය. තමන් තුළ කොපමණ කරුණාව තිබේද එපමණට ම ඔබ තුළ සීලයත් ඇත. එබැවින් සිල්වත් වීමට නම් කරුණාව පතුරවන්න.

උතුම් පුන් පොහෝ දින අෂ්ටාංග උපෝසථය සමාදන් වන ඔබ ඒ දිනය පුරාවට කරුණාව පුහුණු කරන්න. ඔබට සිව් පසය සපයන අය වෙතට පමණක් නොව සිව්පස නොදුන් එන යන අය වෙත, ඔබ සමග ධර්ම ශාලාවේ එකට අසුන් ගෙන එකම අරමුණකට ගමන් කරන අනෙක් සියලුම උපාසක උපාසිකාවන් ආදී කොට ගත් සජීවී පුද්ගලයන් වෙත මෙන්ම පන්සල් භූමිය කෙරෙහි, එහි ඇති ගස් කොළන් කෙරෙහි, මුලු මහත් පරිසර පද්ධතිය ම කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන්න.

ඔබ භාවිත කරන ඕනෑම පෞද්ගලික දේපළ වේවා, පොදු දේපළ වේවා කරුණාවෙන් ඒ සම්පත් පරිභෝජනය කරන්න. සෑම විටම ඔබෙන් පරිසරයට හානියක් සිදු නොකිරීමට තරම් කාරුණික වන්න. මෙම කාරුණික බව බුදුන් වහන්සේගේ චරිතය තුළින් ආදර්ශයට ගෙන කටයුතු කරන්න.