Print this Article


කොළඹ නගරයේ සිත නිවන බොදු පියස නාරාහේන්පිට අභයාරාමය

කොළඹ නගරයේ සිත නිවන බොදු පියස නාරාහේන්පිට අභයාරාමය


ශ්‍රී ලංකාවේ අර්බුදකාරී කාලයන්හිදී හැම විටම ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව ආගමත් භාෂාවත් රැක ගන්නට ඉදිරිපත් වූ බෞද්ධ කේන්ද්‍රස්ථානයකි නාරාහේන්පිට අභයාරාමය.

කොළඹ නගරයේ ඇති විහාරස්ථානවලින් අංග සම්පූර්ණ මෙන්ම සමාජ සේවා රැසක් සිදු කරන විහාරස්ථානයක් ලෙස අභයාරාමය හඳුන්වා දිය හැකි ය.

අභයාරාමයේ ඉතිහාසය වර්ෂ 1800 ගණන් දක්වා දිව යයි. විහාරස්ථානයේ පොහොය සීමාවේ ගල් කණුවලින් එම ඓතිහාසික කරුණු සොයා ගෙන තිබේ.


හිටිපිළිම වහන්සේ

අතීතයේ සිටම විහාරස්ථානයට හිතැති දායක දායිකාවන් විසින් අභයාරාමය ගොඩ නැංවීමට කටයුතු යොදා ඇත. එහෙත් කාලයක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිව ජරාවාස වූ අභයාරාමය යළි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙළේ වත්මන් විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් විසිනි.

‘‘1954 අවුරුද්දෙ තමයි මම අභයාරාමයට ආවෙ. මම එනකොට පන්සලේ ලොකු හාමුදුරුවො විදිහට කටයුතු කෙළේ පත්බේරියේ ධම්මාලෝක අනුනායක හාමුදුරුවන්. උන්නාන්සේ විහාරාධිපති විදිහට කටයුතු කරනකොට විහාරස්ථානයේ අයිතිය ගැන එක් එක් පාර්ශ්ව නඩු කියලා තියෙනවා. ඒ නඩුවලින් ජයග්‍රහණය කරලා තමයි විහාරස්ථානය කොළඹ නගරයේ ජනතාවගේ වන්දනා මානයට පාත්‍රවන ස්ථානයක් ලෙසින් ස්ථාපිත කර තිබුණේ.

ඇත්තෙන්ම මම එනකොට මෙතන පන්සලක ස්වභාවයක් තිබුණෙ නැහැ. හරියට අම්බලමක තත්ත්වයක් තිබුණේ. ගොඩනැගිලි ගරා වැටිලා ජරාවාස වෙලා කැලෑව වැවිලා තිබුණෙ.

පසු කාලීනව උන්වහන්සේ මට විහාරස්ථානය පැවරුවා.

විහාරස්ථානය මට පැවරුවාට පසුව මම පුළුවන් උපරිම විදිහට පන්සල දියුණු කළා. පැරැණි පන්සල දැකුම්කලු ස්ථානයක් බවට පත් කළා. කොළඹ නගරයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් වගේම නාගරික පරිසරයක තියෙන බවක් නොදැනෙන සේ වන්දනා මාන කළ හැකි පරිසරයක් විහාරස්ථානය තුළ නිර්මාණය කළා.


බුද්ධ ශ්‍රාවකයන් වහන්සේගේ පෙළ ගැස්ම

විහාරාංගවල කිසිම අඩුවක් පාඩුවක් නැහැ. මම අලුතින් හැදුවෙ නැත්තෙ චෛත්‍යය විතරයි. අනෙක් සියලු අංගෝපාංග මගේ කාලයේ මම ස්ථාපිත කළේ අවට ජනතාවගේ වගේම මට හිතවත් දානපතියන්ගේ පරිත්‍යාගයෙන්.

සිතුවම් ඇතුළු බොහෝ දේ විහාරස්ථානයේ අංග ලෙසින් එකතු කෙළේ නාගරික ජනතාවට එක් ස්ථානයක සිට ඒ සියල්ල දැක බලා ගැනීම අවශ්‍ය වන නිසයි.‘‘

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාමය ගැන පවසන්නේ දැඩි අභිමානයෙන් යුතුව ය.

විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍යයට අමතරව අපායේ සිතුවම්, දෙව්ලොව සිතුවම් මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ද මෙහි සිතුවම් කර තිබේ.

අභයාරාමයේ ඉදි කර ඇති සැතපෙන පිළිම වහන්සේ හා හිටි පිළිම වහන්සේ අවුකන බුදුරුව මෙන්ම පොළොන්නරුවේ සැතපෙන පිළිම වහන්සේ සිහි කරවයි. එම පිළිම වහන්සේ අසල මඳ වේලාවක් සමවත් සුවයෙන් ගත කළ විට අපගේ සිත නිතැතින්ම අනුරාධපුර පොළොන්නරුව යුගය දක්වා ඇදී යයි. ගිනි මද්දහනේ වුව බොහෝ වේලාවක් එම පිළිම අසලට වී සිටින්නට තරම් හැකියාවක් ශක්තියක් අපට ලැබේ. අසලම ඇති බෝධීන් වහන්සේගෙන් හමන සිහිලැල් මඳ පවන් නිසා කිසිදු ආකාරයක වෙහෙසක් නොදැනේ.


අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි

ආනන්ද හිමියන් පවසන්නේ කාලයකට පෙර විහාරස්ථානයේ දියුණුවට බාධා වූ දේපළ කෑදරකමින් යුක්ත පිරිසකගේ හිංසා හැරෙන්නට විහාරස්ථානයට කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බවයි. අදත් එවැනි ඇතැම් කණ්ඩායම්වල බාධා තිබෙන බවද උන් වහන්සේ පෙන්වා දෙති.

ඕනෑම අයකුට විහාරස්ථානයට පැමිණ තම ආගමික වතාවත් කිසිදු ගැටලුවකින් තොරව සිදු කර ගැන්මට හැකියාව උදා කර තිබේ. එමෙන්ම අභයාරාමය යනු සමාජ සේවා මධ්‍යස්ථානයකි. දුක් ගැනවිලි ගැන සවන් යොමු කරන ස්ථානයකි.

ජනතා සුබසාධනය පිණිස කරන කටයුතු බොහෝ ය. මසකට දෙවරක් පමණ ප්‍රදේශයේ ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබා දීමට විහාරස්ථානය විසින් කටයුතු කරනු ලැබ තිබේ. එමෙන්ම ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභීන්ට ද වියළි සලාක බෙදා දීම කෙරෙන්නේ කාලාන්තරයක් තිස්සේ ය. එසේම සෞඛ්‍ය සායන පැවැත්වීම මෙන්ම ලේ දන්දීමේ පින්කම් පැවැත්වීම මෙන්ම විවිධ සමාජ සේවා කටයුතු සිදු කිරීම ද සිදු කෙරේ.


බෝසත් චරිතයේ අවස්ථාවක්

අභයාරාමය යනු ‘වැඩ කරන ජනතාව වෙනුවෙන් හඬ නඟන ස්ථානය‘ ලෙස ආනන්ද නා හිමියන් විසින් හඳුන්වා දෙනු ලබයි.

එමෙන්ම ආනන්ද හිමියන් හෙළ වෙදකමට දැඩි ඇල්මක් දක්වන බව ද පෙනේ. උන් වහන්සේ ඒ ගැන රචිත කෘතියකින් පවා විස්තර කර ඇත්තේ එහි ඇති වටිනාකමයි.

‘‘අපේ රටේ අතීතයේ සිට තිබුණු හෙළ වෙදකම අද අභාවයට යමින් තියෙන්නෙ. අද ආයුර්වේද හා බටහිර වෛද්‍ය ක්‍රමය විතරයි ඉදිරියට ගෙන යන්නේ. අපේ අත් බෙහෙත් අඩංගු හෙළ වෙදකම අද අභාවයට යමින් තියෙන්නෙ.

අප හිසරදයට සෙම්ප්‍රතිෂ්‍යාවට වේදනා නාශක පෙති හොය හොයා ගියේ නැහැ. යකිනාරං කොළ දුම් ඇල්ලීමයි කෙළේ.

මිහින්තලයේ අතීතය අපට කියා පාන්නේ අපේ හෙළ වෙදකමේ අසිරියයි. බෙහෙත් ඔරු වැනි හෙළ වෙදකම අපෙන් දැන් දුරස්වෙලා තියෙන්නෙ. සාමණේර හාමුදුරුවරු වාරියපොළ සුමංගල හාමුදුරුවන් කියන්නෙ කවුද කියල නොදන්න තත්ත්වයක් තියෙන්නෙ. ඉතිහාසය වගේම හෙළ වෙදකම අපෙන් සම්පූර්ණයෙන්ම දුරස්වෙලා යනවා.‘‘

අභයාරාමය ඉදිරියේ දී හෙළ වෙදකම ප්‍රවර්ධන ස්ථානයක් ලෙස කටයුතු කරන්නට ද ආනන්ද හිමියන් විසින් කටයුතු කරනු ලැබ තිබේ.

කොළඹ නාගරික පරිසරයක පිහිටියද සිත පහන් කරගෙන ඒකාකාරීව භාවනා කළ හැකි පරිසරයක් විහාරස්ථානයේ නිර්මාණය කරන්නට ආනන්ද හිමියන් විසින් කටයුතු කර තිබේ. උන් වහන්සේගේ අවශ්‍යතාවය වන්නේ බුදු දහමට අනුකූලව සමස්ත ව්‍යුහයම සකස් විය යුතු බවයි. එහිදී රාජ්‍ය පාලනය, බුදු දහමේ ආගමික සංහිඳීයාව, කරුණාව, මෛත්‍රීය, සැමට එක හා සමානව සැලකීම ඇතුළු මානුෂීය ගුණාංගයන් කෙරෙහි උන් වහන්සේ නිරතුරුවම අවධානය යොමු කර ඇත්තේ එහෙයිනි.

විහාරස්ථානයේ පෙර පාසලක් පවා පවත්වා ගෙන යන්නේ ද ප්‍රදේශයේ දරුවන් ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙනි. ‍

විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේ දෙනමකගේ සහායෙන් දෛනික කටයුතු සිදු කරනු ලබන අතර කොළඹ නගරයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇති අභයාරාමය එදත් අදත් හෙටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බෞද්ධ මධ්‍යස්ථානයකි.