Print this Article


අවශ්‍ය මොහොතේ සරණක් වෙන්නට කැප වෙන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය

අවශ්‍ය මොහොතේ සරණක් වෙන්නට කැප වෙන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය

විවිධ සමාජ භූමිකාවන් ක්ෂණයෙන් වෙනස් කරමින්, සමාජ වටපිටාව නොසිතූ පරිද්දෙන් විපරීත කරමින් කොවිඩ් වසංගතය අප රටට ද එල්ල කළ සහ දැනට ද එල්ල කරනු ලබන බලපෑම මහත් ය.

සුව විරුවන්, රණ විරුවන් සිය කාර්යභාර්ය යුතුකමක් ලෙස සලකා රට වෙනුවෙන් ඉටු කරද්දී ඔවුන් තුළින් එක් පසෙකින් අවශ්‍යතාවයන් පැන නඟින්නට විය. අනෙක් පසෙකින් නිවසේ ම රැඳෙමින් ජීවන වෘත්තිය ද කර ගත නොහැකි ව සිටි ජනතාව තුළින් ද පැන නැගී ගැටලු අපමණ ය. ඒ සියල්ල අවැසිතාවයන් ලෙස දකිමින්, අවැසිතාවය වෙනුවෙන් සරණක් වීමට මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය සමඟ දියත් කළ මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය කටයුතු කොට තිබේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ උදාරතර අරමුණින් ක්‍රියාත්මක වූ මෙකී පුණ්‍ය ව්‍යාපෘතිය කොවිඩ් අභියෝගය ආරම්භය සිට මේ දක්වා ම ක්‍රියාත්මකය.

කොවිඩ් මර්දනය සඳහා පෙරමුණ ගත්තේ සෞඛ්‍ය අංශ යි. වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල සේ ම රෝහල් සේවක සේවිකාවන් ද එකී කොවිඩ් මර්දන කාර්යය වෙනුවෙන් සිදුකරන කාර්යය වෙසෙසින් ම අගය කළ යුතු ය.

කාලයත් සමඟ ඔවුන් තුළින් විවිධ අවැසිතාවයන් පැන නඟින්නට විය. ඔවුන්ගේ ද, රෝගී ජනතාවගේ ද සෞඛ්‍යය සහ අනෙකුත් කාර්යයන් ඉටු කිරීමට මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ඉදිරිපත් වූයේ එනිසා ය. මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ආරක්ෂිත උපකරණ බෙදා දෙමින් ඔවුනගේ කාර්යයට අතහිත සපයන්නට විය.

2020 අප්‍රේල් මස 20 වනදා පළමු පියවරේ දී ම දිවයින පුරා පිහිටි රෝහල් 34 ක් වෙනුවෙන් ආරක්ෂිත උපකරණ බෙදා දීමට ඉදිරිපත් වන්නේ දේශයේ අවශ්‍යතාවය හැඳින ගනිමින් ය. අනතුරුව විවිධ අවස්ථාවන්හි දී රෝගීන් දුරස්ථව සිට පරීක්ෂා කිරීමේ දුරස්ථ සන්නිවේදන උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල, පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත උපකරණ, ආරක්ෂිත ඇඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු තවත් බොහෝ දෑ රෝහල් රැසකට පිරිනමන්නට මේ පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ඔවුන්ට හැකි විය.

දිවයිනේ රෝහල්, හෙද විද්‍යාල විවිධ අවශ්‍යතාවයන් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය වෙත යොමු කළ අතර, එකී සෑම අවස්ථාවක දී ම ඔවුනගේ අවශ්‍යතාවයන් සපුරාලන්නට මෙකී පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් හැකි වූයේ ඔවුනට සවියක් වෙමිනි. මේ දක්වා මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ මිලියන 233 කට ආසන්න මුදලක් වැය කරමින් මෙකී සද්කාර්යයන් සිදු කර තිබේ.

රෝහල්වලට සේ ම ආරක්ෂක අංශයන්හි අවැසිතාවයන්ට ද සවියක් වන්නට මේ පුණ්‍ය ව්‍යාපෘතියට හැකි වූයේ ඔවුනගේ බොහෝ අවශ්‍යතාවයන්ට සහනයක් ලබා දෙමිනි. ඉන් නො නැවතී මහජනතාව මුහුණ දුන් විවිධ ගැටලු සඳහා සරණක් වන්නට ද මෙකී පුණ්‍ය ව්‍යාපෘතිය සුවිසල් දායකත්වයක් දැක්විය.

විවිධ ප්‍රදේශවල අසරණ වූ ජනතාව සොයා ඔවුනට විවිධ ආහාර ඇතුළු ආහාර මලු බෙදා දෙන්නට හැකි වූ අතර, ඒ යටතේ ගොවි ජනතාවට සහනයක් වන්නට ද හැකි විය.

කොවිඩ් අභියෝගය හමුවේ තම අස්වනු අලෙවි කර ගත නො හැකිව දැඩි ගැටලුවකට මුහුණ පා සිටි ගොවි ජනතාවගේ අස්වනු විනාශ වන්නට ඉඩ නොදී රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමක් යටතේ එළවලු කිලෝ එක්ලක්ෂ 20,000කට අධික ප්‍රමාණයක් මිලදී ගන්නට මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය ඉදිරිපත් විය. එසේ මිලදී ගත් එළවළු වර්ග අසුරා කිලෝ 13 කට අධික බරකින් යුත් එළවළු මලු දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක් ආවරණය වන පරිදි විහාරස්ථාන, පිරිවෙන් සහ සිල්මාතා ආරාම විශාල ප්‍රමාණයකට ලබා දුන් අතර ළමා නිවාස සහ කොවිඩ් බලපෑමෙන් අසරණව සිටි පවුල් 6000කට ආසන්න පිරිසකට ද එයින් සෙත සැලසුණි. එලෙසම විවිධ ක්ෂේත්‍රයන් යටතේ මෙම එළවළු මලු බෙදා දීම සිදු කළ අතර 10,000කට ආසන්න පවුල් සංඛ්‍යාවකට ඒවා බෙදා දීමට හැකි විය.

මෙලෙසින් ක්‍රියාත්මක වූ පුණ්‍ය ව්‍යාපෘතිය කොවිඩ් අභියෝගය හමුවේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ම පුණ්‍ය ව්‍යාපෘතියක් බව ඔවුන් සිහිපත් කරනුයේ එකී පුණ්‍ය ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලබා ගත් බොහෝ පිරිසකගේ පුණ්‍යානුමෝදනා පූර්වක තුති පිදීම් සමඟ යි.

සුව විරුවන්, රණවිරුවන්, මහජනතාව සහ ගොවි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමෙහි ලා මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලා ප්‍රධාන බොහෝ පිරිසක් ඇප කැප වූ අතර, එම සියලු දෙනා ද සිහි කැඳවන්නේ පුණ්‍යානුමෝදනා පූර්වකව යි.

මව්බිම වෙනුවෙන් එක්විය යුතුම මොහොතක අවැසිතාවයේ සවිය ලෙසින් එය ක්‍රියාත්මක බවත්, මතුවට පවතින අවශ්‍යතාවයන් උදෙසා ද සරණක් වීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවත් පුණ්‍ය ව්‍යාපෘතියේ අනුශාසක අළුදෙණියේ සුබෝධි හිමියෝ වැඩි දුරටත් පැවසූහ.