Print this Article


උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ මහාචාර්ය කිවුලේගෙදර නාරද අනු නා හිමිපාණන් වහන්සේ

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ මහාචාර්ය කිවුලේගෙදර නාරද අනු නා හිමිපාණන් වහන්සේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් තෙවළා ධර්මය ආරක්ෂා කිරීමට බුද්ධ පුත්‍රයන් වහන්සේලා සැමදා පෙරමුණ ගත්හ.

එමඟෙහි ගමන් කරන උඩරට අමරපුර මහ නිකායේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ මහාචාර්ය කිවුලේගෙදර නාරද නාහිමිපාණන් වහන්සේ උගත්, ශික්ෂාකාමී, මිතභාණී ගුණයෙන් යුතු, සංඝ ශෝභන ගුණවලින් බැබළෙන, ඉවසීමෙන් සියලු කටයුතු සිදුකරන, මහ තෙර නමකි. පරහිතකාමී බව, ශාසන මාමකත්වය, ස්ථානෝචිත ප්‍රඥාව වැනි සුවිශේෂ ගුණ සහ හැකියාවලින් යුක්ත ය.

උන්වහන්සේ වීරයින්ගේ නිජබිමක උපන් අයෙකි. ඒ ඌව වෙල්ලස්සේ කිවුලේගෙදර ප්‍රදේශයයි. දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා පියතුමාට සහ දසනායක මුදියන්සේලාගේ ලොකු මැණිකා යන මහත්ම මහත්මීන්ට දාව පවුලේ සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් පස්වැනියා ලෙස 1962.09.12 වැනි දින උපත ලැබී ය. කුඩා අවධියේ සිට අධ්‍යාපනයට දක්ෂතාවක් දැක් වූ මේ පින්වත් කුල දරුවා මූලික අධ්‍යාපනය පස්වැනි ශ්‍රේණිය දක්වා කිවුලේගෙදර පල්ලේවල කණිෂ්ඨ විද්‍යාලයෙන් ද, හය වැනි ශ්‍රේණියේ සිට හත ශ්‍රේණිය දක්වා කන්දකැටිය බත්මැඩිල්ල මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා ගනියි.

මෙම විද්‍යාල වර්තමානයේ කිවුලේගෙදර මොහොට්ටාල මහා විද්‍යාලය සහ ඩී.ඇස්. සේනානායක ජාතික පාසල ලෙස හඳුන්වයි. හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී එනම් 1976 වර්ෂයේ දී ගෝඩුන්නේ ජිනානන්ද ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීම මත රුපහ ඇඹුලම්පහ ශ්‍රී උත්තරාරාමය වෙත පැමිණීම සිදු වෙයි. එතැන් සිට අධ්‍යාපනයේ සහ සම්බුදු සසුනේ දොරටු විවර වෙයි.

කාල සටහන ආරම්භ වන්නේ අලුයම 5.00 සිට 6.00 දක්වා කටපාඩම් කිරීමට කාලය වෙන්වීමත් සමඟ ය. ක්‍රමයෙන් මලු ඇමදීම, මල් කැඩීම, බුදුන් වැඳීම, දානය පිළියෙළ කිරීම, කටපාඩම් කිරීම ආදී දහසක් කටයුතු සිදු කළ යුතු විය.

වසරක පුහුණුවකින් පසු 1977 සැප්තැම්බර් මස 25 වැනි දින පැවිදි බිමට පත් විය.

අභිනව අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ දුරදක්නා නුවණින් හෙබි ගුරු දෙවියන් වහන්සේ නමකි. එබැවින් මහණ කිරීමෙන් නොබෝ දිනකින් ම හෙළදිව කීර්තිමත් පිරිවෙන් විද්‍යාස්ථානයක් වන කළුතර අගලවත්ත බෙල්ලන ධර්මපාල පිරිවෙනට ඇතුළත් කර පිරිවෙන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු යොදා ඇත.

නිවාඩු මාසවල පමණක් පන්සල් වැඩමවාගෙන යාමට පුරුදු විය. සෙසු කිසිදු දිනක තම ශිෂ්‍යයාගේ අධ්‍යාපනයට බාධා කිරීමට අකමැති විය. ඒ නිසාම අප කථා නායකයාණන් වහන්සේ ඉතා මැනවින් සියලු ශාස්ත්‍ර ප්‍රගුණ කළහ.

පිරිවෙන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන කටයුතු සියල්ල නිමා කළ අප කථානායක අනුනාහිමිපාණන් වහන්සේ 1985 වර්ෂයේ දී විදුරුපොල ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරස්ථ විසුද්ධ බද්ධ සීමා මාලකයේ දී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කන්දේගෙදර සුමනවංස මහා නායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට, තෙරිපැහැ සෝමානන්ද අනුනායක නාහිමිපාණන් වහන්සේ, දික්කාපිටියේ නන්ද අනුනායක නාහිමිපාණන් වහන්සේ සහ වෑකුඹුරේ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ යන මහ තෙරුවන් වහන්සේලා කර්මාචාර්යන් වහන්සේලා කොට අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූහ.

උපසම්පදාව ලබා ගත් අප කථානායකයාණෝ විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නේ සමස්ත ලංකාවෙන් ම පනස් පස්වැනියා බවට පත් වෙමින් ය. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත් වෙයි. සිංහල විෂයයට දැඩි කැමැත්තක් දක්වන බැවින් ඉතා දක්ෂ ලෙස එහි අධ්‍යයන කටයුතුවල නියැළී පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව සමත් වී සිංහල විෂය සඳහා වැඩිම ලකුණු ලබා ගත් විද්‍යාර්ථියාට හිමි වන ‘ජී.බී. සේනානායක ස්වර්ණ මුද්‍රිකාව‘ ද හිමිකර ගනියි. 1992 සද්ධම්මාචරිය හා විනයාචරිය විභාගය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, 1997 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද, 2004 දී ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාවේ පුනේ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගනියි.

ආචාර්යවරයකු ලෙස සේවය සැලසීමේ දී 1992 වර්ෂයේ දී පළමු වරට විශ්වවිද්‍යාල ආරාධිත කථිකාචාර්යවරයකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට බැඳී සේවය ලබා දෙයි. අනතුරුව 1994 සිට 1999 දක්වා සහාය කථිකාචාර්යවරයකු ලෙස ද, 1999 - 2009 දක්වා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද, 2009 සිට මහාචාර්යවරයකු ලෙස ද සිංහල අංශයේ අංශ ප්‍රධාන ලෙස ද කටයුතු කරයි. රාජකීය ආසියාතික සංගමය, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව යන ආයතනවල සාමාජිකයකු ලෙස ද සේවය සලසයි. ලෝක බෞද්ධ සංඝ සමුළුවට අයත් අධ්‍යාපන කමිටුවේ ද, ජනාධිපති උපදේශන මණ්ඩලයේ ද සාමාජිකත්වය උසුලයි.

ග්‍රන්ථකරණයේ දී අලංකාර සියය (2008) පොතින් නිරූපණය වන බුදු හාමුදුරුවෝ (1994) සම්භාව්‍ය සිංහල පද්‍ය කාව්‍ය උද්ධෘත (2005) සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍ය උද්ධෘත (2005) සිංහලෙන් දෙමළ හා දෙමළෙන් සිංහල (2007) යන කෘති රචනා කරයි.

භික්ෂුව ධර්ම දේශනයෙන් ලෝකය බැබළවීම කළ යුතු ය. නැතහොත් තමාගේ කෙලෙස් දුලි පිස දමමින් තම ආත්මය පිරිසුදු කර ගත යුතු ය. බුද්ධ දේශනාව අනුව ග්‍රන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය හෝ පිරිය යුතු ය.

අප කථානායකයාණන් වහන්සේ ග්‍රන්ථ ධූරය පිරීම කුඩා අවධියේ සිට පුරුදු පුහුණු කර ඇති බැවින් එයින් ගත හැකි උපරිම ප්‍රයෝජන ගැනීම දැනටමත් ගෙන ඇත. ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් රචනා කරමින් ධර්ම දානය සිදු කර ඇත. ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනි නාලිකාවල ධර්ම දේශනා සහ දහම් වැඩසටහන් මෙන් ම වෙනත් සාකච්ඡාවලට සහභාගිවෙමින් තමන් වහන්සේගේ දැනුම ප්‍රදානය කර ඇත. තවද එංගලන්තය, කොරියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිවානය ආදී රටවල ධර්මය ප්‍රචාරය කර ඇත. ධර්මය ප්‍රචාරය කිරීමට පැවිදි සහෝදර පිරිසක් සේ ම ශිෂ්‍ය පිරිසක් ද ශාසනයට දායාද කර ඇත.

අප කථා නායකයාණන් වහන්සේගේ පැවිදි සහෝදරයන් අතර අඹලියද්දේ පඤ්ඤානන්ද හිමි, මඩුල්ලේ පඤ්ඤාලෝක හිමි, මඩුල්ලේ විමලඥාන හිමි යන හිමිවරු ප්‍රධාන වෙති. ශිෂ්‍ය හිමිවරු අතර බඹරවානේ චන්දිම හිමි, ඇඹුලන්පහ ආනන්ද හිමි, අඹලියද්දේ නන්ද හිමි, අඹලියද්දේ නන්දසාර හිමි යන හිමිවරු ප්‍රධාන වෙති.

සහෝදර හිමිවරුන්ගේ ද, ශිෂ්‍ය හිමිවරුන්ගේ ද, උඩරට අමරපුර මහ නිකායේ විනයවාදී කාරක සංඝ සභාවේ ද, සමස්ත මහා සංඝයාගේ ද, ගිහි පැවිදි සැමගේ ද සහාය ලැබ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහත් වූ සේවයක් සැලසීමට, නිදුක් නිරෝගී චිරජීවනය සහ තුනුරුවන්ගේ ආශිර්වාදය අප අනුනායක මාහිමිපාණන් වහන්සේට ලැබේවායි ඉත සිතින් පතමි.