Print this Article


උඩඟුකමට පාඩමක්

උඩඟුකමට පාඩමක්

එක් කුරුමිණියෙක් ගමනක් යන විට ගොම ගොඩක් දැක්කා. ඉන්පසුව තව කුරුමිණියෝ ගොඩක් එකතු කරගෙන මේ ගොම ගොඩේ මාළිගාවක් හැදුවා. සියලු කුරුමිණියෝ එකතු වෙලා ගොම ගොඩට මුලින්ම ආපු කුරුමිනියා මෙහි රජු බවට පත් කළා. රජු නිකන් ම රාජ මාළිගාවට නොඑන නිසා ඔහු පිළිගන්නට ආචාර පෙළපාලියක් පැවැත්වූවා. රජු බවට පත් වූ කුරුමිණියා මහත් උජාරුවෙන් ආචාර පෙළපාලිය පිළිගත්තා.

මේ අතර ගමනක් යන ඇතකු ගොම ගොඩට උඩින් අඩිය උස්සන් හිටියා. මේක දැකපු උඩඟු කුරුමිණි රජු කෑගහල ඇතාට මෙහෙම බැන්නා.

කුරුමිණියා - එම්බල හස්තිය, තමා දන්නේ නැද්ද මෙතෙන රජෙක් ඉන්නේ. රජුට නිසි ගෞරවය කරනු.

ඇතා - නොදැන කළ වරදට මට සමාවෙන්න.

සමාව ගත් ඇතා ගෞරව කිරීම, සඳහා ගොම ගොඩ උඩ දණ ගැහුවා. ඇතාගේ ගෞරවය නිසා ගොම ගොඩේ මාළිගාවේ කුරුමිණි රජු අනෙක් කුරුමිණියො වගේම රජ කුරුමිණියගේ රජකම විතරක් නොව, ජීවිතය ද විනාශ වුණා.

එන කල සතුන් හට සිරි සැපත මන කල
කසපල තුළෙහි දිය ලොඳ මෙන් වෙයි විපුල
යන කල එසිරි සමිපත් වැනසී සියල
ගජගල ඇතුළ මදසුන් දිවුල පල තුළ

සිත් සතුටු කරවන සැප සම්පත් ඇති වන විට කුරුම්බා ගෙඩිය තුළ ඇති ජලය හා ලොඳ මෙන් මහත් වෙයි. ඒ යස ඉසුරු විනාශයට පත් වන විට ඇතා ගිලපු දිවුල් ගෙඩියේ මදය මෙන් නැතිව යයි.

සියඹලාගොඩ ධම්මින්ද හිමි