Print this Article


මල් පිපෙන සදහම් අරණ

බක් පොහොය

බක් පොහොය ලාංකික බෞද්ධයන් හට ඉතා වැදගත් පොහොයකි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය බක් පුර පොහොය දින සිදුවීම ඊට හේතුවයි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනයේ ප්‍රධාන අරමුණ වන්නේ “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” යන වගත් “අවෛරයෙන් වෛරය සංසිඳේ” යන්නත් ලාංකික රජවරුන්ට අවබෝධ කර දීමට යි.

නාගදීපයේ චූලෝදර මහෝදර (මාමා සහ බෑණා) නම් වූ නා රජවරුන් දෙදෙනා පරම්පරාගත මැණික් පුටුවක් අරභයා සටනක් කිරීම පිළිබඳ මහා කරුණා සමාපත්තියට සම වැදුණු බුදුරජාණන් වහන්සේට පෙනුණි. මාමා සහ බෑනා අතර සිදු වූ මෙම අරගලය සංසිඳුවන්නට බුදු හිමියන් වැඩියේ නාගදීපයට ය. සටන් වැදීි සිටි නාග ග්‍රෝත්‍රිකයන් අතරට බුදු හිමියන් වැඩිය ද ඔවුහු බුදුරදුන් පිළිබඳව තැකීමක් නො කළෝ ය. එම නිසා ඔවුන් ඉදිරියේ ප්‍රාතිහාර්ය පෙන්වා (අඳුරක් මවා) ඔවුන් බිය වැද්දූ බුදු හිමියෝ පසුව දහම් දෙසා ඔවුන්ට බුදු දහම පිළිබඳ අවබෝධ කරවීය. චූලෝදර හා මහෝදර නා රජුන් දෙදෙනා ඇතුළු සියලු නාගයෝ තිසරණ සරණ ගියහ. නාගදීපය පූජනීයත්වයට පත්වෙන්නේ එම සිදුවීම නිසා ය.

****

කෙසල් කොළය

දෙකට නමා වැඩ ගන්නට
බැරි වුණාට කෙසෙල් කොළේ...
ගිනි රස්නෙන් තැවුන දාට
දෙකට නවා වැඩ ගත හැකි
ඕන තරම්
කෙසෙල් කොළේ...

****

පෝදා සඳ

සැඳැහැ සිතින් බුදු පුදනට
පන්සල වෙත පිය නඟන්න
පෝයදාට පායන සඳ
මඟ පෙන්වනවා....
පෝයදාට පායන සඳ
සුදු සඳ රැස් කිරි කළ ගෙන
බැබළි බැබළි නිරන්තරේ
අප නාවනවා

****

ඇසෙන පෙනෙන දැනෙන දේ

සිලි සිලි නදින් සැලෙනා බෝපත් දල්ලේ
රන්වන් බැතක් උඩ පනිනා කල කුල්ලේ
මුණු මුණු ගගා දිය බසිනා විට ඇල්ලේ
අසිරිය මගේ හදවත පතුලම සෙල්ලේ

යායේ බණ්ඩි ගොයමේ පාටයි නිල්ලේ
ගිරවගෙ දිලෙන්නේ රතු පාටයි බෙල්ලේ
රන්වන් පාට වත්කරනා තරු ගොල්ලේ
හදවත මගෙ සතුටින් ඉපිලේ වැල්ලේ

ඇඟිලි තුඩින් තෙරපෙන විට මලක පෙනී
පිහාටුවක සුසිනිඳු බව නගන කිතී
වළාකුලක පාවෙන බව මට ම සිතී
සැනසුනාම දැනෙනවා මගෙ හද වතට නිතී

****

බුදු ගුණ

දුෂ්කර වේ සසර ගමන කන්ථක අසු ගෙන්නාලා
විස්මිත ලෙස නේරංජන නදියෙන් තෙර පන්නාලා

දුෂ්කර ක්‍රියා වීර්ය වසර හයක් තිස්සෙ කළේ
ලස්සන බුදු රැස් විහිදුනෙ වෙසඟේ ශ්‍රී බෝධි මුලේ

තුන්බිය දුරුකර දැමූ පිරිත් බලයෙ ගුණය පවර
දම්සක් පැවතුම් දෙසුවේ පස්වග මහණුන්ට එවර

දරුණු යක්ෂයින් මිනිසුන් සතුන් මෛත්‍රීයෙන් පැරදූ
ධර්ම භාණ්ඩාගාරික වුණේය ආනන්ද තෙරිඳු

****

ගලන ගඟක්

පටන් අරන් කඳු මුදුනින්
යයි රඟමින් පා සිඹිමින්
මිහිකත සව් සිරි පාමින්
දළදා හිමි සරණ මතින්

ඔබ යන්නේ පාද සලා
සෙමින් සෙමින් හඬ නඟලා
පුදුම සිතින් මන රඟලා
යාවි ඔබත් අප හැරදා

මහාවාලුකා කැලණි ගඟත්
ලබයි ඔබෙන් හැම සැලකිලි
මිනිස් අපේ අවසැලකිලි
වලට දෙන්න සමා සමා

****

පන්සිල් සුරකිමු

පංචශීලය යනු ගිහියා විසින් අනුගමනය කළ යුතු නිත්‍ය ශීලය යි. එහි පළමු ශික්ෂාපදය ආරක්ෂා කරන්නා සියලු දෙනාගේ ජීවත්විමේ අයිතිය සුරක්ෂිත කරයි. මෙකී සිල් පදය ආරක්ෂා කළහොත් ලොව සියලු දෙනාට ම සැකෙන් තොර සාමකාමී ජීවිතයක් ගත කළ හැක.

දෙවන ශික්ෂා පදය ආරක්ෂා කරන්නා සියලු දෙනාගේ දේපළ, වස්තුව රැකගෙන සතුටින් ජීවත්වීමේ අයිතිය උදාකරයි. තෙවන ශික්ෂා පදය වන්නේ කාම මිථ්‍යාචාරය යි. සමාජයක යහපත් පැවැත් ම සඳහා නිවැරැදිව අදහස් හුවමාරු කර ගැනීම වැදගත් වේ. සිව්වන ශික්ෂා පදය වන මුසාවාදයෙන් වැළකීම හෙවත් අන් අය බොරුවෙන් නො රැවටීම යි. සමාජයක සබඳතා නිසි පරිදි පවත්වා ගැනීමට නම් සියලු දෙනා සත්‍ය වදන් කතා, කළ යුතුය. මත්වතුර මත්ද්‍රව්‍ය නිසා මිනිසාගේ මනස, සිහිනුවණ විකෘති කරයි. මේ නිසා නුවණ දුර්වල වේ.