Print this Article


දහම දකින්න අප්‍රමාදී වන්න

දහම දකින්න අප්‍රමාදී වන්න

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස

උට්ඨානෙනප්පමාදෙන
සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාචි
යං ඔඝො නාභීකීරති

අද ධර්මානුශාසනාවට මාතෘකා කළේ ධම්ම පදයේ අප්පමාද වග්ගයට ඇතුළත් ගාථාවක්. බුදුවරයන් වහනසේ කියලා කියන්නේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගත් පුද්ගලයාටයි. කෙනෙකුට ලෝකය දිහාත් ලොව සිදුවන දේ දිහාත් බලන්න ක්‍රම කීපයක් තියෙනවා.

එනම් මසැසින්, මනැසින්, නැණසින් හා පැණසින් බැලීමයි. ලෝකයේ බොහෝ දෙනා තමා දෙසත්, ලෝකය දෙසත් බලන්නේ හා දකින්නේ මසැසිනුයි. එහෙත් බුදුවරයන් වහන්සේ නමක් බලන්නේ මනැසින් පැණැසිනුයි . එනිසා මසැසින් බලන අපට වඩා වෙනස් දෙයක් මනසින් හා පැණැසින් බලන කෙනකුට දකින්නට පුළුවනි.

මසැසින් බලන අයට පෙනෙන්නේ ටිකයි. ඒත් නැණැසින් බලන කෙනෙකුට විශාල දෙයක් දකින්න පුළුවනි. ඒක හරියට කඳු මුදුනකට නැඟ බලන්නාක් වගෙයි. මසැසින් දකින්නා බොහෝ විට මුළා වෙනවා. රැවටෙනවා. එහෙම වෙන්නේ දෘෂ්ඨි මායාවන් තියෙන නිසයි.

ඒත් නැණසින් දකින කෙනකුට එහෙම වෙන්නෙ නැහැ. ඒ තැනැත්තාට යමක යතාර්ථය ම දකින්න පුළුවනි. අපි දකින ආකාරය ධර්මයේ සම්‍යග් දෘෂ්ඨිය හෙවත් නිවැරදි දැක්ම හා මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරදි දැක්ම යනුවෙන් දෙයාකාර බව පෙන්වා දී ඇත්තේ එනිසයි. යමෙකු තුළ වැරදි දැක්මක් තියෙනතුරු ඔහුට ලෝකයේ ඇත්ත අවබෝධ කරගන්න බැහැ. මිථ්‍යාව සත්‍යය යැයි සිතා කටයුතු කරනවා. එනිසාම අනේකාකාර දුක්ඛ දෝමනස්සයන්ට හසුවෙලා දිගින් දිගට සසර පුරාවට ගමන් කරනවා. කෙනකු මුළාවට පත් කරවන දේ අතරින් මිථ්‍යා දෘෂ්ඨිය තරම් භයානක වෙනත් දෙයක් නැතැයි තථාගතයන් වහන්සේ වදාළේ ද එනිසයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඇතුළත් වෙන්නේ ලෝක සත්‍යයයි. අපි බණ ඇසිය යුත්තේ, බණ පොත් කියවිය යුත්තේ, ධර්ම සාකච්ඡා පැවැත්විය යුත්තේ මිථ්‍යා දැක්මෙන් මිදී සම්‍යග් දැක්මක් ඇතිකර ගැනීමටයි. මා මාතෘකා කළ ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළේ චුල්ලපන්ථක හාමුදුරුවන් අරමුණු කරගෙනයි. මහා පන්ථක හා චුල්ල පන්ථක දෙදෙනා එකම පවුලේ සහෝදරයින්, අයියා මහා පන්ථක බුදු බණට පැහැදිලා බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා, බණ අහලා පැවිද්ද ලබා ගත්තා. පිළිවෙත් පුරලා ඉතා ඉක්මනින් රහත් බව ලැබුවා.

තමන් ලද මේ උතුම් තත්වය මල්ලිටත් ලබා දෙන්න හිතුව මහා පන්ථක තෙරුන් වහන්සේ මල්ලි පන්සලට ගෙන්වා ගෙන, මහණ කළා. ධර්මය උගන්වන්න වෙහෙසුණා. මාස ගණනක් ගතවුවත් එක ගාථාවක් පාඩම් කරවන්නට බැරි වුණා. මෙහෙම වුණොත් මල්ලිට පැවිදි ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්ට බැරිවෙයි කියලා හිතුව මහා පන්ථක තෙරුන් වහන්සේ මල්ලි කැඳවලා සිවුරුහැර ගෙදර යන්නැයි කිව්වා. අයියගේ බහට කීකරු වූ චුල්ලපන්ථක හාමුදුරුවෝ ඒ බව බුදුරජාණන් වහන්සේට කිව්වා. තථාගතයන් වහන්සේ කරුණුූ පරික්ෂාකර චුල්ලපන්තක තෙරුන්ට සත්‍යය අවබෝධ කරගත හැකි ක්‍රියා කාරකමක යෙදෙව්වා. පිරිසුදු සුදු රෙදි කැබැල්ලක් අතට දී, අත්ල උඩ තබාගෙන අව්වට වී රජෝ හරණං රජෝ හරණං යනුවෙන් මෙනෙහි කරමින් අර රෙදි කැබැල්ල පිරිමදින්නැයි උපදෙස් දුන්නා.

උන්වහන්සේ ඉතා ඕනෑකමෙන් ඒ කටයුත්තෙහි යෙදුණා. ටික වේලාවක් ගත වෙන කොට උන්වහන්සේ දැක්කා, තමන් අතේ තියෙන පිරිසුදු රෙදි කැබැල්ල ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙන බව . ඒ ගැන මෙනෙහි කළා. මගේ සිරුර මොන තරම් අපිරිසුදු දැයි සිරුර පිළිබඳ යතාර්ථය වැටහෙන්ට වුණා. එය භාවනා අරමුණක් කර ගත්තා. අවසානෙ දි චුල්ල පන්ථක තෙරුන් රහත් බව ලැබුවා.

මේ සිද්ධිය මුල් කරගෙනයි තථාගතයන් වහන්සේ මුලින් දක්වා ඇති ගාථාව දේශනා කරන්නේ.

පින්වත, මේ ලෝකයේ ජීවත්වන සත්වයින්ගෙන් තමන්ගේ ජීවිතය වෙනස් කරගත හැකි එකම සත්වයා මිනිසායි. මිනිසාට පුළුවන් මිනිහෙක් හැටියට ම ජීවත්වෙලා මැරෙන්ට. නැතිනම් පෙරේතයෙක් වගේ. තිරිසනෙක් වගේ, එසේත් නැත්නම් අමනුෂ්‍යයෙක් වගේ ජීවත්වෙලා මැරෙන්ටත් පුළුවනි. මේ ජීවන පැවැත්මේ එක් අංශයක් බුදුරජාණන් වහන්සේ අඳුරෙන් අඳුරට හා ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයන් හැටියට දක්වා ඇත්තේ මේ පිරිසයි.

ජීවිත සකස් කරගන්න තව අංශයක් තියෙනවා. බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන දෙවියෙක් වගේ ජීවිතයක් ගත කරන්න පුළුවනි. නැතිනම් සෝවාන් ආදි මාර්ග ඵලවලට පත්ව ආර්යයන් වහන්සේ කෙනකු ලෙස ජීවත්වීමයි. මේ කවර හෝ අවස්ථාවකට තම ජීවිතය පරිවර්තනය කර ගැනීමේ හැකියාව හැම කෙනෙකු තුළම පවතී.

තමන් තුළ එවැනි ශක්තියක් ඇතැයි බොහෝ දෙනකු නොදනී. එනිසා ඔවුන් තමන්ගේ ඉරණම විසඳීමට මහා බ්‍රහ්මයාට, දෙවියන් වහන්සේට හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේගයකට බාර කරති. ඇතැම්හු කර්මයට හෝ ග්‍රහයන්ට ඒ වගකීම බාර දෙති. අද වෙන විට අපි මළ අයකුගේ මෘත දේහය නිවසට ගෙන ඒමටත්, අවසන් කටයුතු කිරීමටත් නැකැත් බලන තැනට පත්ව සිටිනවා. ගැටලුවකදී විසඳුම්වලට අදෘෂ්‍යමාන බලවේගවල පිහිට සොයා යාමට පුරුදුවෙලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා එවැනි බලවේගවලට බාරදීමට තරම් ප්‍රාථමික මට්ටමකට අපි පත්වෙලා. මෙවැනි මත අපේ රටේ තිබුණේ බුදු දහම ලැබෙන්ටත් පෙර. දැනුත් අපි ඒ තැනටම පත්වෙලා.

පින්වත, මේ මිථ්‍යාවෙන් අත්මිදෙන තුරු අපට පුද්ගලයින් වශයෙන්වත්, පවුල් වශයෙන්වත්, සමාජයක් හා රටක් වශයෙන්වත් ඉදිරියට යන්ට පුළුවන් කමක් නැහැ. ගාථාවක් කටපාඩම් කරගන්න නොහැකි නිසා, පැවිදි ජීවිතයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි යැයි කියා. පැවිද්ද අතහැර යන්නැයි එළවා දැමූ චුල්ල පන්ථක තෙරණුවන්, මේ තුන් ලෝකයේ ම ලැබිය හැකි අග්‍ර ඵලය වන නිවන අවබෝධ කර ගැනීමට තරම් සමර්ථයෙක් වුයේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තුළ පැවති ශක්තිය හඳුනා ගෙන, ඒ ශක්තිය මතුකර ගැනීමට වුවමනා පරිසරය සකසා දීම නිසයි.

කෙනෙකු ගුණවත් බවෙන් හෝ ප්‍රඥාවත් බවෙන් ඉහළට ඔසවා තැබීමට බුදුරජාණන් වහන්සේටවත් කළ නොහැකියි. එය තම තමා විසින් ම කරගත යුතුයි.

ඒ වගේ ම කෙනකු අපරාධකාරයකු, පව්කාරයකු කරන්ටත් වෙනත් කෙනෙකුට බැහැ. බොහෝ වෙලාවට අපට ඇහෙනවා අසවලා නිසා තමයි මා නරක් වුණේ. අසවල්ලු නිසයි අපේ දරුවාගේ ඉගෙනුම කඩා වැටුණේ ආදි අදහස්. ඒවා තම තන්ගේ ගැලවුමට කියන කතා මිසක් ඇත්ත නොවෙයි.

වරද අන් අයට පැවරීම හරිම ලේසියි. බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් තම සිත වරදවා යොදයි නම්, ඒ වරදට යොමු කළ සිතම එම පුද්ගලයාට , මේ ලෝකයේ වෙන කිසිවෙකුටත් කළ නොහැකි බරපතළම අපරාධය සිදු කරන බවයි. 'මිච්ඡා පණීහීතං චිත්ත පාපියොනං තතො කරෙ' යනුවෙන් වදාළේ එයයි.

බොහෝ දෙනෙක් තුළ නැඟී සිටි වීර්යය නැහැ. තමන්ට කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් එක්කම කරන්නට පුළුවන් වෙයි ද? පාඩු ලබයි ද, අතේ තියෙන මුදලත් නැතිවෙලා යයි ද, ආදි වශයෙන් තමන්ගේ බලාපොරොත්තුව බිඳ දමන සිතිවලි ගොන්නක් ඇති කරගෙන වැඩේ අතහැර දානවා.

තව සමහරු අව්ව, වැස්ස, ශීත, උෂ්ණ වගේ හේතු කියලා කරගෙන යන වැඩ නතර කරනවා. කල් දමනවා. එනිසාම පිරිහෙනවා. මේ අතර ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිතය, සූදුව, ස්ත්‍රී ධුර්තබව වගේ දේවලට නැඹුරුවීම නිසා ධනයෙන් පිරිනෙවා. අකාලයේ රෝගීන් වී දුක් විඳිනවා. සමාජයේ ගැරහුමට ලක්වෙනවා.

එනිසා ඔබ කළ යුත්තේ උපතින් ඔබ අරගෙන ආ ශක්තිය මතු කරගෙන උට්ඨාන වීර්යයෙන් යුතුව. අප්‍රමාදීව ක්‍රියා කිරීමෙන් ජීවන ගමන ආලෝකවත් කර ගැනීමයි. ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නා අතර, ලෝකෝත්තර මඟට පිවිසීමට ද වෙහෙසෙන්න.

තෙරුවන් සරණයි