Print this Article


අංගුත්තර නිකායෙන් - 9: ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් - 9:

ඒකක නිපාතය

සූත්‍ර අංක 41

මිච්ඡා පණිහිත චිත්ත සූත්‍රය

මහණෙනි, වරදවා තබන ලද (ඇණෙන අගිස්ස උඩු කොට නොතබා නො ඇණෙන පරිදි තබා) හැල් වී හෝ යව වී හෝ නණ්ඩුවක් අතින් වේවයි. පයින් වේවයි මඬනා ලද්දේ අත වේ යැයි පය වේ යැයි බිඳුණේ ය. (සම තුවාල වූයේ ය.) ලේ හෝ උපදවන්නේ ය යන කරුණ විද්‍යාමන නො වේ. මක් නිසාද යත් මහණෙනි,නණ්ඩුව වරදවා (නො ඇණෙන සේ) තැබූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ඒකාන්තයෙන් වරදවා තබන ලද (මිච්ඡාදිට්ඨි... මිච්ඡා සමාධි ආදී අටතැන්හි තැබූ) සිතින් අවිද්‍යාව නැසුණේ ය, අර්හත් මාර්ගඥාන සංඛ්‍යාත විද්‍යාව උපදනේ ය. නිවන සාක්ෂාත් කරන්නේ ය. යන මේ කාරණය විද්‍යමාන (සත්‍යයක්) නොවේ. ඒ මක් නිසාද යත්, සිත වරදවා තිබූ බැවිනි.

අටුවාව - මෙය සාලිකොපම සූත්‍රය ලෙස ද නම් කර ඇත. “සාලිසුකං” යනු හැල්ඵලයේ නණ්ඩුව යනුවෙන් ද සඳහන් වේ.)

සූත්‍ර අංක 42

සම්මා පණිහිත චිත්ත සූත්‍රය

මහණෙනි, නිසිලෙස තබන ලද ඇල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් මඬිනා ලද්දේ නම් ඔහුගේ අත් හෝ පාද හෝ බිඳෙන්නේ ය. ලේ හෝ උපදවන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. කුමක් නිසාද? වී නණ්ඩුව මනාලෙස තබන ලද බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ මහණ තෙමේ මනාකොට තබා ගන්නා ලද සිතින් අවිද්‍යාව බිඳින්නේ ය. විද්‍යාව උපදවන්නේ ය. නිවන සාක්ෂාත් කරන්නේ ය. යන මෙකරුණ විද්‍යාමාන වේ. ඒ කවර හෙයින් ද යත්, සිත මොනවට තැබූ බැවිනි.

අටුවාව - උපමාවට ඇත්දෙමට කටු , කටු උගුරැස්ස ආදී මහත් මහත් කටු නොගෙන සියුම් දුබල හැල්නණ්ඩු යව නණ්ඩු වැනි ඇණෙන දෑ ගත්තේ ඇයි? ඉතා සුළු කොළ මිටක් පමණ දානයක් ,මහත් වූ වේලාම දානයක් වුවත් දීමෙහි ආනිසංස දැන සිත සකසාදීමේ සම විපාක ඇති බව කීමට ය.

මෙහි මහත් වූ වේලාම දානය නම් කවරේද?

අං.නි. 5 - 8 434 වේලාම සූත්‍රය නමින් සූත්‍රයක් ඇත. එහි අනාථපිණ්ඩික සිටුතුමා දන් දීමේ ආනිසංස දැන දන්දීම නිසා, කාඩි හොදියි, බතයි පමණක් දන් දෙන තරමට අසරණව සිටිය දී බුදුරජාණන් වහන්සේ හමුවූ අවස්ථාවක සිටුවරයාණෙනි, මා මහා බෝසත් සිටි අවස්ථාවක වේලාම නම් අති ධනවත් බමුණෙක් ව සිටියදී රන් පාත්‍ර ලක්ෂයක්, රිදී, ලෝහ පාත්‍ර ලක්ෂයක් වටිනා සළු පිළි දන් දුනිමි. ඇත්, අසුන් දන් දුනිමි. ප්‍රණීත ම වු කෑ හැකි දෑ, පානය කළ හැකි දෑ දන් දුන් කෙනෙක්මි. කම් පල අදහමින්, දීමේ ආනිසංස දනිමින් සිත මැනවින් තබා දන්දීම මිස දන් දුන් වස්තූන් කවරේදැයි සිත වරදවා තබා ගැනීම සුදුසු නැතැයි අනුශාසනාවක් සිටුතුමාට වදාරා ඇති සේක්හ.