Print this Article


හෙළ රජ සමයේ සිට සිරිමා බෝ සමිඳු පුදන අලුත් සහල් මංගල්‍යය

හෙළ රජ සමයේ සිට සිරිමා බෝ සමිඳු පුදන අලුත් සහල් මංගල්‍යය

සිරිමා බෝ සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදුකරනු ලබන අලුත් සහල් මංගල්ලය මෙවරත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීම ඓතිහාසික වශයෙන් මෙරට ජනයා ප්‍රීතිමත් විය යුතු අවස්ථාවකි.

මෙම ජාතික අලුත් සහල් මංගල්ලය මෙවර පවත්වනු ලැබූයේ 54 වැනි වතාවටයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ දා පටන් ජනායගේ අස්වැන්නේ අග්‍ර සශ්‍ය උන් වහන්සේ උදෙසා පූජා කිරීම චාරිත්‍රයකි.

අතීත රජ දවසේ ද රටේ සෞභාග්‍ය පතා ත්‍රිවිධ රත්නය වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා රජ දරුවන්ගේ මූලිකත්වයෙන් අගහස් දානය පිදීම චාරිත්‍රයක් ව පැවැති බව මෙරට ලිඛිත මූලාශ්‍රවල දැක්වේ. මෑත ඉතිහාසයට ද එක් වූ අලුත් සහල් මංගල්‍යය රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් හා මහසඟ රුවනේ අනුශාසනා පරිදි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී වාර්ෂික ව සිදුකෙරේ. කෘෂිකර්ම විෂයය අයත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මුල්වී මෙය සංවිධානය කරනු ලබන්නේ දෙදිනක් පුරාවටයි.

මෙවර අප්‍රේල් මස 3 සහ 4 දෙදින අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අලුත් සහල් මංගල්ලය සංවිධානය කර ති‍බුණි.

අප්‍රේල් 3වැනිදා සවස මහමෙවුනා උයනේ පිරිත් සජ්ඣායනාවක් සංවිධානය කර තිබූ අතර 04වැනිදා අලුයම ශ්‍රී මහා බෝ මලුවේ සතර වාහල්කඩ කිරි ඉතිරුම් මංගල්ලයක් ද පැවැත්වුණි. ඒ රටේ ජනතාව වගාවේ සශ්‍රීකත්වය සහ ආරක්ෂාව පතා බෝධීන් වහන්සේට අධිගෘහිත දෙවි දේවතාවුන්ට වූ බාරහාර ඉටුකිරීමේ සම්ප්‍රදාය පරිදියි.

අනතුරුව සහල් පාත්‍රා රැගත් පෙරහර අනුරාධපුර සිංහ කණුව වටරවුමේ සිට බෝධීන් වහන්සේගේ පහළ මලුව දක්වා වැඩම කර එහි තනා ඇති විශේෂ මණ්ඩපයේ තැන්පත්කර ඇති යෝධ රන්මුවා පාත්‍රය පිරී ඉතිරී යනතුරු සහල් පූජාකරන ලදී. මෙවරද දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අලුත් සහල් බෝමලුව වෙත රැගෙන ඒමට කටයුතු යොදා තබූ අතර කල් ඇතිවම උතුරු සහ නැඟෙනහිර පළාත් දෙකෙහි අලුත් සහල් රැගෙනවිත් තිබිණි.

බෝ සමිඳුන් උදෙසා අලුත් සහල් පිදීම සෞභාග්‍යයේ මෙන් ම සාමයේ ද සලකුණකි. එමෙන්ම ජාතියේ මුදුන්මල්කඩ වූ ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ නාමයට උපහාරයකි. බෝධින් වහන්සේගේ ගැබ්ව ඇති බුද්ධානු භාවයේ බලයෙන් රට තුළ සශ්‍රීකත්වය හා සාමය සක්ෂාත් වේවා!