Print this Article


මව්පියන් හා තරුණ දරුවන් අතර ගැටුම් වැඩි ඇයි?

මව්පියන් හා තරුණ දරුවන් අතර ගැටුම් වැඩි ඇයි?

" මව්පියන්ගේ ආදරයට තරම් ඉහළ උතුම් ආදරයක් ලොව නොමැති බව අවබෝධ වූ කල්හි අවිචාරයෙන් වෙනත් ආදරයක් සොයා යෑමේ අවශ්‍යතාවයක් පැන නො නඟිනු ඇත. "

තරුණ දරුවන් ගැන මැසිවිලි නඟන මව්පියන්ගේ ප්‍රධාන පැමිණිල්ලක් නම් තම දරුවන් අනිසි සබඳතා ඇති කර ගෙන සිටීම ය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මානසික මට්ටම බලපායි. ඇතැම් තරුණ අය තමාගේ සම්බන්ධතාව සමාජයේ ජීවත්වීමට අවශ්‍ය දෙයකැයි සලකති. නොඑසේ නම් තරුණකමේ ලක්ෂණයකැයි සලකති.

කෙසේ වෙතත් තරුණ වයස යනු විවිධ පරිවර්තන ඇති වන යුගයකි. එහිදී “ආදරය” පිළිබඳ අදහස් බහුල වශයෙන් ඉස්මතු වේ. එබඳු අවස්ථාවක දී මව්පියන්ගේ අවධානය බෙහෙවින් අවශ්‍ය වේ. නො එසේනම් වහා තමන්ගේ අදහස තහවුරු කිරීමට තරුණයා හෝ තරුණිය හෝ උත්සුක වේ. එසේ තම අදහස තහවුරු කර ගත් පසු මව්පියන් කෙතරම් අවවාද කළත්, දඬුවම් කළත්, විරෝධය ප්‍රකාශ කළත්, එය නවතාලිය නොහැකි ය.

එසේ අනිසි සබඳතා ඇතිකර ගන්නේ බොහෝ විට අසීමිත නිදහසක් ලත් අය යි. එමෙන් ම ඉතා සීමිත වූ නිදහසක් ඇති අය යි. අසීමිත නිදහස ඇති අය පීඩිත ස්වභාවයෙන් මිදුණු විගසම එබඳු ක්‍රියාවන්හි පැටලෙති.

දරුවනට නිදහස ලබා දිය යුතු අතර ම ඔවුන් සමාජයේ කරනුයේ කුමක්දැයි සොයා බැලීමටත් මව්පියන් විමැසිලිමත් විය යුතු ය. ගුණ ගරුක දූ දරුවන් එබඳු අදහසක් සිත තුළ ඇති වූ විට මව්පියන්ට ද දැන්විය යුතුය.

ඉගෙන ගන්නා වයසේ දී විවිධ සබඳතා ඇතිකර ගැනීම අනාගත දියුණුවට විශාල බාධාවකි. එබඳු ඇත්තන් ඉගෙනීමට වඩා කාලය යොදවන්නේ වෙනත් ක්‍රියාවන්ට ය. එම නිසා ගුණ ගරුක දූ දරුවන් ඉගෙන ගන්නා කාලය ඒ සඳහා ම කැප කරන්නට උත්සාහවත් වුවහොත් එය මව්පියන් සිත සතුටු කිරීමකි. දූ දරුවන් විවිධ සම්බන්ධතා ඇති කර ගත්තාට පසුව ඒ ගැන සිතමින් ළතවනවාට වඩා එබඳු දෙයක් නො සිදුවන්නට වගබලා ගත යුතුය.

ඔවුන් පිළිබඳ අවධානය නිතර යොමු කළ යුතුය. දරුවන්ට සමාජය පිළිබඳ නිවැරැදි අවබෝධයක් සහ ඔවුන් කෙරෙහි තමන් දක්වන ආදර කරුණාව අවබෝධ කර දුනහොත් ඔවුහු ලෙහෙසියෙන් එබඳු සබඳතා ඇති කර නො ගනිති. ඔවුහු මව්පියන්ගේ සිත් දුකට පමුණුවන්නට උත්සුක නො වෙති.

මව්පියන්ගේ ආදරයට තරම් ඉහළ උතුම් ආදරයක් ලොව නොමැති බව අවබෝධ වූ කල්හි අවිචාරයෙන් වෙනත් ආදරයක් සොයායෑමේ අවශ්‍යතාවයක් පැන නො නඟිනු ඇත.

දරුවන් කුඩා කල මව්පියන් විසින් ඒ ඒ දරුවාට වැඩි ආදරයක්, කරුණාවක් දක්වන්නට ඉදිරිපත් වීම ගෘහස්ථ සමාජයේ දක්නට ලැබෙන තවත් අදූරදර්ශි ක්‍රියාවෙකි. එවිට පවුලේ අනෙක් දරුවන්ට සියුම් සිත් වේදනාවක් ඇතිවේ. එය පසු කාලීනව මව්පියන්ගේ කනගාටුව ඇති කරවන කාරණයකට මුල් විය හැකි ය. දරුවන් මව්පියන් පිළිබඳ වරදවා වටහා ගන්නට එයද ප්‍රබල හේතුවක් වේ.

කුඩා කල මව්පියන් තමන්ට ආදරය, කරුණාව, දක්වන ආකාරය දරුවන්ගේ මනසේ දැඩි ලෙස රැඳේ. එබඳු දරුවන් වැඩිවියට පැමිණි පසු තමාට මව්පියන් සැලකුයේ අඩුවෙන් ය යන අදහසින් ක්‍රියා කරන්නට පෙළඹේ. එබඳු දරුවෝ මව්පියන්ට සැලැකීම කරදරයක් කොට සලකති. ඒ සඳහා උනන්දු නො වෙති. මව්පියන් වැඩිහිටි නිවාසවලට ගාල් කරන්නේ ද බොහෝ විට එබඳු දරුවන් විසිනි.

දරුවන් වැඩිවියට පත් වූ පසු එලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නා සේ ම කුඩා කල මව්පියන්ගෙන් නො ලත් ආදරය සොයා යාමට ද එබඳු දරුවෝ පෙළඹෙති . බොහෝ තරුණ දරුවන් නො නිසි සබඳතා ඇති කර ගන්නේ ඒ තත්වය යටතේ ය.

ඇතැම් විට ඔහුට හෝ ඇයට එම ක්‍රියාවෙහි වරදක් පෙනෙන්නට නැත. තමා කරන දේම වැරැදි යැයි කල්පනා නො වන්නට පුළුවන. තමන්ගේ ක්‍රියාවෙහි නිරවද්‍යතාව ඔප්පු කිරීමට විවිධ තර්ක, විතර්ක ගෙන හැර පාන්නට ඉඩ ඇත. නිවැසියන්ගේ හෝ පවුලට සම්බන්ධ වැඩිහිටියන්ගේ ද උපදෙස් නො පිළි ගැනීමට තරම් ඒ දරුවා තද ගති ඇත්තෙක් බවට ද පත්වේ. එමනිසා නිවසේ නිතර ආරවුල් ඇති වේ. මව්පියන් සමඟ වාද විවාද, පහරදීම් ආදිය ඇති වේ. එබඳු දරුවා මව්පියන්ට හිසරදයක් බවට පත් වේ. ඔහුගේ දැකීම පවා මව්පියෝ පිළිකුල් කරති. එකම නිවසක වාසය කළත් දෙපිරිසක් සේ කල් ගත කරති. විවිධ දූෂිත පුද්ගලයන් හා එකතු වන්නේ එබඳු අවස්ථාවන්හි දී ය. තමන්ට සිටින එක ම හිතවතා තම පෙම්වතා හෝ පෙම්වතිය යන ආකල්පයෙන් ඔහු හෝ ඇය සොයා යයි. ඒ තුළින් බොහෝ විට වඩාත් අසීරුතාවයකට පත් වෙයි.

දරුවන් මව්පියන් අතහැර ගියත් මව්පියන්ට සිය දරුවන් අමතක කිරීම පහසු දෙයක් නොවේ. දරුවා සිටින විට විවිධ අපහසුතා ඇති කළත් නැති වූ පසු හදවතින් ම දුක් වෙති. එහෙත් වඩාත් වටිනුයේ කල් ඇතිව තම දරුවන් පිළිබඳ නිසි ආකාරයෙන් පිළිපැදීම යි. දරුවන් සුමඟට යොමු කිරීම යි.

දරුවන් නො මඟ ගිය පසු ඔවුන් ආගමට දහමට නැඹුරු කරවන මව්පියවරු සමාජයේ අප්‍රමාණ ව සිටිති. කෙනෙකු නො මඟ ගියපසු සුමඟට ගැනීම ද පහසු කරුණක් නොවේ. දරුවන් ආගම දහමට නැඹුරු කළ යුත්තේ නො මඟ ගිය පසු නො ව ඉතා කුඩා අවධියේ සිට ය. කුඩා කල සිට ආගමික පරිසරයක හැදුණු වැඩුණු දරුවෝ සුමගට යති. එහෙයින් දරුවන්ට ආගමානුකූල පරිසරයක් හදා දීම මවුපියන්ගේ වටිනා යුතුකමකි.

ඇතැම් මව්පියවරු තම දරුවන් ආගම දහමට නැඹුරු කළත් තුමු එය අනුගමනය නො කරති. දරුවන් පමණක් හදා ගන්නට වෑයම් කරති. දරුවන් දහම් පාසලට එවන මව්පියවරු පන්සල් නො එති. ප්‍රතිපත්ති පූරණය නො කරති. ධර්මකාමී නො වෙති. දරුවන් දහම් පාසල් යැවීම ආදි ආගමික ක්‍රියාවන්හි යොදවා දෙමාපියන් විවිධ නොමනා ක්‍රියා කරන්නේ නම්, එය එම දරුවන්ට කරන විශාලම අසාධාරණයකි. දරුවන් ආගමානුකූලව හැඩ ගස්වනවා සේ ම තමන්ද එසේ හැඩ ගැසිය යුතුය. එසේ කළහොත් හොඳ ප්‍රතිඵල ලැබෙනු නො අනුමාන ය.

දරුවන් හදන වඩන මාපියන් තම දූ දරුවන්ට ආගමික හැදියාවක් ලබා දිය යුත්තේ ඔවුන් හොඳ පුරවැසියන් කරන අදහසින් මිස අධ්‍යයන ඉලක්ක සපුරා ගනීමට නොවේ. දහම් පාසල ළමයින්ගේ සුචරිත වර්ධනය සඳහා කැප වූ එකකි. එහිදී කල්‍යාණ මිත්‍ර සේවනය ඉතා ඉහළින් ලැබිය හැකි ය. පාප මිත්‍රයන් බහුල සමාජයක කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ලැබීම ද ජීවිතය සාර්ථක කර ගන්නට මහෝපකාරි වන්නකි.

පවුලක් යනු ලොව ඇති කුඩාම සමාජ ඒකකය යි. සමාජයක රඳා පැවතීම දියුණුව සිදුවන්නේ එහි සිටින සාමාජිකයන්ගේ සහයෝගය මතය. එමනිසා පවුල් සමාජයේ සිටින සාමාජිකයන් අන්‍යොන්‍ය අවබෝධයෙන් සයෝගයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඔවුනොවුන් කෙරෙහි පවත්නා විශ්වාසය මෙහිදී අතිශය වැදගත් වේ. සෑම මවක ම පියෙකු ම තම දරුවන්ට සිටින විශ්වසනීය වූ තැනැත්තිය තැනැත්තා විය යුතු ය. ඒ සඳහා දරුවන් සමඟ යහළු වීමෙන් තමන්ගේ ළඟ කිසිදු රහසක් නැති බව දරුවන්ට ඒත්තු ගැන්විය යුතුය. දරුවන්ගේ දුකෙහි දීත් සැපෙහිදීත් නො වෙනස්ව සිටින්නේ තමන් බව ඔවුනට අවබෝධ වන අයුරින් කටයුතු කළ යුතුය. එවිට දරුවෝ මව්පියන්ට හොරෙන් කිසිම දෙයක් කරන්නට නො පෙළඹෙති. තමන් සිතට ආ සියල්ල මව්පියන්ට හෙළි කිරීමට එම දරුවා මැළි නොවේ.

පවුලේ සිටින එක සාමාජිකයෙක් හෝ තම යුතුකම් පැහැර හැරියහොත් නිවසේ සාමය සහජීවනය බිඳී යාමට එය ඉවහල් වේ. නිවසේ භාවිත වන වචන, ඔවුනොවුන්ගේ චින්තන රටාවන්, ක්‍රියාවන් සියල්ල නිවසේ සාමය සඳහා බෙහෙවින් උපකාර වේ. මව්පියන් දරුවන්ට කතා කළ යුත්තේ මෛත්‍රියෙන් කරුණාවෙන් සුවඳ කැවුණු වදන් ය. දරුවන් මව්පියන්ට කතා කළ යුත්තේ ගෞරව මිශ්‍රිත වදන් ය. එය දූ දරු මව්පිය සබැඳියාවට බෙහෙවින් උපකාර වේ.

බොහෝ නිවෙස්වල මව පියා හා අමනාපය. පියා මව හා අමනාපය. දරුවනුත් මව්පියන් හා අමනාපය. දරුවන් ඔවුනොවුන් හා අමනාප ය. මේ තත්ත්වය යටතේ එබඳු නිවෙසක සතුටක් සහනයක් පවතී ද? නිතර දුකින්, අසහනයෙන්, කළකිරීමෙන් කටයුතු කරන පරිසරයක් එහි උදාවේ. මෙයට ප්‍රධාන ම හේතුව නම් දූ දරුවන් දෙමාපියන් ඔවුනොවුන්ට පැවැතිය යුතු ආකාරයේ අඩුලුහුඩුකම් ය. එසේත් නොමැති නම් දූ දරුවන්ගෙන් මව්පියනට, මව්පියන්ගෙන් දූ දරුවනට ඉටු විය යුතු යුතුකම් හරියාකාරව ඉටු නොවීමයි. මේ පසුබිම යටතේ කිසිම නිවසක සාමයක් සතුටක් රඳා පැවතිය නො හැකිය.