Print this Article


මල් පිපෙන සදහම් අරණ

ආනන්ද මහ රහතන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ අද ද ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වූ රහතන් වහන්සේ නමකි. ආනන්ද මහරහතන් වහන්සේ සිහි කොට ආනන්ද බෝධීන් වහන්සේට සැදැහැවත් ජනතාව වැඳුම් පිදුම් කරති.

****

විශාඛා සිටු දියණිය

භද්දිය නුවර ධනඤ්ජය සිටුතුමාගේ දියණිය විශාඛා නම් වූවා ය. තම මව හා පියා සමඟ බුදුරජාණන් වහන්සේ දැකීමට යාමට ඇයට වාසනාව තිබිණි. මේරූ පින් ඇතිව සිටි සිටු කුමරිය සත් හැවිරිදි වියේදී ම සෝවාන් වූවා ය. තරුණවියට පත් විශාඛා කුමරිය සැවැත්නුවර මිගාර නම් සිටුවරයාගේ පුත් පූර්ණවර්ධන කුමරු සමඟ විවාහ වූවා ය. විවාහයෙන් පසු ඇය වාසය කරන ලද්දේ සැවැත් නුවර ය. විශාඛා තම නිවසට පිඬුසිඟා වඩින බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සැදැහැ සිතින් දන් පිළිගැන්වූවා ය. තම මාමණ්ඩිය වූ මිගාර සිටුවරයාටත් බුදුරජාණන් වහන්සේගේ හා මහා සංඝයා වහන්සේලාගේ ගුණ කියා දුන්නා ය. ඉන්පසු බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට ද සැලැස්වූවා ය. බුදු බණ අසා පැහැදුණු මිගාර සිටු පවුලේ සියල්ලෝ ම තෙරුවන් සරණ ගියහ. ඉතා සැදැහැවත් දායිකාවක වූ විශාඛා මහා උපාසිකාව සිරිතක් ලෙස දිනපතා විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් සොයා බලා කැඳ, බත්, බෙහෙත් ආදිය පිළිගැන්වූවා ය. මෙසේ පින් දහම් කළ බැවින් විශාඛා මහා උපාසිකාවට බුදු සසුනේ අග්‍ර දායිකාව වීමේ භාග්‍යය ලැබිණි.

****

සසර

සිනහ සයුරෙන් කඳුළු සයුරට
තවත් වරෙක අතර මැදිව
ගසා යන දිරා ගිය පාරුවකි
වරෙක සාගර පත්ලෙහි
තවත් වරෙක සාගර මතුපිටෙහි
ගිලෙමින් කිමිදෙමින්
සසර සැරිසරන අප
දැක නොදැක යන ගමනෙහි
සිතුනි නමි නවතින්න මඳක්
නවතින්න නිදහසේ
විමසන්න යළි යළි
ඇති තතු විගසින්
වැටහුනිද ඔබට
නොඑසේ නම්
වැටහෙන තුරා විමසන්න
වැටහුනි ද මෙය රඟමඬලක් කියා
සිතුනිද හැර යන්න
ඇයිද තවත් ළතවෙවී
හැරයන්න විගසින් හැරයන්න
යළි කිසිදා ළං නොවන ලෙසින්

****

සතුට උතුම් ධනය යි

අප සෑම විටම බලාපොරොත්තු වන්නේ සතුට ලබා ගැනීමට ය. සතුට ලබා ගැනීමේ නියම මාර්ගය කුමක්ද? බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සතුට පරම ධනය බවයි. එහිදී උන්වහන්සේ හඳුන්වා දී ඇත්තේ යහපත් ලෙස සතුට උදාකර ගැනීම පිළිබඳව ය. යහපත් චින්තනයෙන් සහ යහපත්, නිවැරැදි ක්‍රියාවන්ගෙන් අපට හිමිවන්නේ නිවැරැදි සතුට ය.

එවැනි යහපත් සහ සාධාරණ ක්‍රියාවන්ගෙන් ලැබෙන පී‍්‍රතිය පරම ධනය ලෙස හැඳින්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව උදාන ගාථා ප්‍රකාශ කළේ උන්වහන්සේට ඇති වූ අප්‍රමාණ වූ සතුට ලෝකයාට හඳුන්වාදීමට ය. මේ අනුව ජීවත්වීමේ පරමාර්ථය වන්නේ නිවැරැදි ලෙස සතුට උදාකර ගැනීම ය.

****

මෙත් ගුණ

මෙත්තා හෙවත් මෛත්‍රීය නම් හිතවත්බවයි. සියලුම ජීවීන් දුකින් තොරව සැපෙන් බරව නිරෝගීව ජීවත් වනු දැකීමට සිත පොළඹවන සිතුවිල්ල යි. තම මිතුරකු පිළිබඳ තමන් තුළ පවතින හිතවත්බවට සමාන හිතවත්බවක්, මිනිසුන් ඇතුළු සියලුම සතුන් කෙරෙහි දැක්වීමට තරම් දියුණු කළ හැකි උතුම් සිතුවිල්ල මෛත්‍රියයි. අපි, අපේ මිතුරන්ට කරදරයක් වේවායි කිසි විටෙක ප්‍රාර්ථනා නොකරමු. නිතරම අප ප්‍රාර්ථනා කරන්නේ අපේ මිතුරාට යහපතක් වේවා යනුවෙනි. එබඳු හිතවත්කමක් සියලු ම ජීවීන් කෙරෙහි ඇති කර ගැනීමට පොළඹවන සිතුවිල්ල මෛත්‍රියයි. එම සිතුවිල්ල වැඩිදියුණු කර ගැනීමට සිත පුරුදු පුහුණු කිරීම මෛත්‍රී භාවනාවයි. එසේ මෙත් සිතින් යුතුව වාසය කිරීම මෙත්තා විහාරය හෙවත් මෛත්‍රී විහරණයයි.