[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුත්තිල කාව්‍යය හා ගුත්තිල ජාතකය: මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ

ගුත්තිල කාව්‍යය හා ගුත්තිල ජාතකය:

මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ

" මූසිල, ගුත්තිල පඬිවරයාගෙන් වීණා ශිල්පය අයැද සිටී. ගුත්තිල පඬිවරයා මූසිලයන්ගේ දේහ ලක්‍ෂණ පරීක්‍ෂා කොට නුගුණයකුගේ ගති පැවතුම් ඇත්තකු යැයි දැන “තොපට මා දෙන විද්‍යා නැත. පලායව” යි කී ය."

ගුත්තිල පඩිවරයාගෙන් වීණා ශිල්පය ඉගෙනීමට මූසිල බරණැස් නුවරට යෑම පිළිබඳව ජාතක කතාකරුවා සජීවි ලෙස ඉදිරිපත් කර නොමැති වුවත් කවියා එවන් දිගු ගමනක පහස වින්දෙකු මෙන් ජීවමාන කර දක්වයි.

මඳක් සැතපී ඉඳ
මහබෝසතුන්ගේ සොඳ
වෙණ රැගෙන මන නඳ
වැයීමට ඔහු පටන් ගත් සඳ

බරණැස් නුවරට පැමිණි මූසිලයන් ගුත්තිල පඬිවරයාගේ නිවසට ගොස් මඳ වෙලාවක් බිම වැතිරී සිට එහි ගුත්තිල පඬිවරයාගේ වීණාව දැක වාදනය කරයි.

ඒ ඇසූ අන්ධ මව්පියන් අපගේ දරුවාගේ වීණාව මීයන් කපනවා යැයි සිතයි.

ජාතක කතා කරුවා මෙම අවස්ථාව ප්‍රාණීත්වයකින් තොරව ඉදිරි පත් කළ ද කවියා අනුකරණ ශබ්ද ද එකතු කරමින් මනා කවි සංකල්පනාවක් ගෙනහැර දැක්වීම අපූරු ය.

අඳ මව්පිය දෙදෙන
ඔහු වයන බව නොම දැන
කතී වෙණ මීයන
සූසූ යයි අතගැසූ සැකයෙන

මින්පසු ජාතක කතාව තුළ විස්තර වනුයේ මූසිල ගුත්තිල පඬිවරයාගෙන් වීණා ශිල්පය අයැද සිටීමයි. ගුත්තිල පඩිවරයා මූසිලයන්ගේ දේහ ලක්‍ෂණ පරීක්‍ෂා කොට නුගුණයකුගේ ගති පැවතුම් ඇත්තකු යැයි දැන “තොපට මා දෙන විද්‍යා නැත. පලායවයි” කීය.

පසුව මව්පියන්ගේ ඉල්ලීම පරිදි මූසිලයන්ට වීණා ශිල්පය උගන්වයි. මෙම අවස්ථාව කවියා වෙනස් අයුරකින් ඉදිරිපත් කරයි. එහිදී මූසිලයන් අන්ධ මව්පියන්ට වතාවත් කොට මව්පියන්ගේ සිත් දිනා, ඒ ආශ්‍රයෙන් ගුත්තිල පඩිවරයාගේ කැමැත්ත ලබා ගත් බවයි. එමඟින් පැහැදිලි වනුයේ කතුවරයා මූසිල චරිතය තමාට අවශ්‍ය ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර ගෙන ඇති බවයි.

මේ පිළිබඳ පහත කවිය තුළින් මනාව පැහැදිලි වේ.

අඳ මව් පියන් හට
නිතර අත් පා මෙහෙ කොට
උන්ගෙන් බෝසතුට
කියැවි වෙණ සිප් ඉගැන්වීමට

ජාතක කතාවත්, ගුත්තිල කාව්‍යයත් අතර සමානකම් ඉන්පසු දැක ගත හැකි ය. මූසිල වීණා ශිල්පය ඉගෙන පඩිවරයා සමඟ මාලිගාවට යෑමත්, රජුට සේවය කරන්නට ලැබීමත්, රජු පඬිවරයාට වඩා අඩු වැටුපක් ලබා දීමත්, මූසිලයන් පඩිවරයාට සමාන වැටුපක් ඉල්ලීමත් යන සිද්ධීන් ය.

මින්පසු එළඹෙන්නේ ගුත්තිල මූසිල වීණා වාදයටයි. මෙහිදි ජාතක කතාව හා කාව්‍ය අතර විෂමතාවයක් දැකිය හැකි ය. එනම් ජාතක කතාවෙහි රජු ගුත්තිල හා වාද කොට දිනිය හැකිදැයි විමසනුයේ මූසිලගෙනි. කවියා විමසනුයේ ගුත්තිලගෙනි.

ඒ ප්‍රශ්නයට, ශිල්ප සත්වෙනි දින දක්වමි පිළිතුරු දුන්න ද ඔහු එදා සිට සත්වෙනි දවස දක්වා පශ්චාත්තාපයෙන් කල් ගෙවනුයේ තමා මහලු නිසාත්, මූසිල තරුණයකු නිසාත්, ඔහු මැනවින් ශිල්ප උගත් නිසාත්, නියත වශයෙන් ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි සිතමිනි.

දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන්හට පිහිට
නොවවු යන බස සැබෑ කෙළෙ මට

උගත සිප් සොඳ සේ
සිටි ය බලවත් වයසේ
මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙර සේ

ගුත්තිල දිනපතා වනයට ගොස් දිවි නසා ගන්නට තැත් කළ ද ඊට භයින් නැවත නිවසට පැමිණෙන බව ජාතක කතාවෙහි විස්තර කළ ද එවැනි බියගුලු පුද්ගලයකු, ලෙස කවියා වර්ණනා නොකරේ.

නික්ම පුරයෙන් සෙඳ
එපුරට නුදුරු වන මැද
ගන සා මඩුලු බඳ
සිහිල් සෙවණැති රුකක් මුල සොඳ

ගුත්තිල අසරණබවින් මුදවා ගැනීමට ශක්‍රයා ඉදිරිපත් වන්නේ මින්පසුවයි. මෙහිදි මූසිලයන් තමාට විරුද්ධව, අකාරුණිකව කටයුතු කළ ආකාරය පද්‍ය තුනකින් කවියා ඉදිරිපත් කරයි.

ශක්‍රයා වාදය ජය ගන්නා ආකාරය ගැන ගුත්තිලට උපදෙස් දෙයි. පසුව ගුත්තිල සතුටින් නිවසට යයි.

ජාතක කතාවෙහි නැති වාද මණ්ඩප ඉදිකිරීම පිළිබඳ වර්ණනයක් මින්පසු කවියා ගෙනේ.ඒ තුළින් කවියාගේ නිසග කවීත්වය ප්‍රකට කරයි. ඒ සඳහා පද්‍ය හතක් උපයෝගී කර ගෙන ඇත.පසුව වාද ආරම්භය දැක්වීමේ දී රජුගේ සම්ප්‍රාප්තිය රාජ සභාවේ නිල තල දරන්නන්ට වෙන් වෙන් වූ ආසන රැස්ව සිටි ජනයා පිළිබඳ පද්‍ය හයකින් වර්ණනා කෙරේ.

ඉන්පසු බෝසතාණන් වහන්සේ වාද මණ්ඩපය කරා යාමට සැරසුණු ආකාරය වර්ණනා කෙරේ.එය ජාතක කතාවෙහි සංක්‍ෂිප්තව දක්වා ඇත.

“බෝධි සත්වයෝ තමාගේ ජාති වීණාව ඇරගෙන අවුත් තමන්ට පැනවු අස්නපිට උන්නාහ.

” කවියා මෙම කොටස පද්‍ය ගණනාවකින් වර්ණනා කෙරේ.වීණා තරගය ඇරඹේ. පද්‍ය පහළොවකින් මෙම වර්ණනාව සිදු කෙරේ.ජාතක කතාව තුළ සිද්ධි දාමයක් ලෙස දක්වා ඇති මෙය කවියා ගුත්තිලගේ වීණා නාදයෙන් මුලු පරිසරයම නින්නාද වූ බවත්, සියලු සතුන් තෘප්තිමත් බවත් දක්වමින් වර්ණනා කෙරේ.

සුරඟන රැඟුම කාව්‍යට වෙන් වු සුවිශේෂි වර්ණනයකි.ජාතක කතාවෙහි සුරඟනන් නැටු බවක් දැක් වුව ද නටන ආකාරය පිළිබඳ වර්ණනා නොකෙරේ.

පිපිසමන් කුසුමන් පටින් තන
රන් හසුන් මන් මෙන් බැඳේ
ලඹසවන් දිගු රන් පසින් දන
නෙත් මුවන් බඳීමින් තදේ

මඳපවන් වැද ලෙළ පහන් සිළුමෙන්
රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන්
බඹ වුවත් දැහැනින් මිඳේ

කවියා සුරඟනන් නටන ආකාරය දීර්ඝ විරිතකින් සුන්දර ලෙස අනුප්‍රාස හා එළිසමය යොදමින් වර්ණනා කෙරේ.මෙම සුරඟන වැනුම නිසාම ගුත්තිල කාව්‍ය සාහිත්‍ය වංශය තුළ ඉමහත් පිළිගැනීමට ලක් වී ඇත.මෙවැනි වැනුමක් කිසිදු කාව්‍ය කෘතියක දැක ගත නොහැකි ය.

ඉහත කරුණු අනුව බලන කල වෑත්තෑවේ හිමියන් වස්තු විෂයය කර ගත් ජාතක කතාව තමාගේ ප්‍රතිභා පූර්ණ කවීත්වය විදහා පාමින් පාඨකයාට චිත්‍ර රූප මැවෙන අයුරින් ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය මැනවින් පැහැදිලි වේ.

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]