[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දරණාගම කුසලධම්ම නාහිමියෝ

1963 වර්ෂයේ ජූලි මස 30 වන දින පිනැති පුත් කුමරෙක් ජන්ම ලාභය ලැබීය. ඒ බියගම දරණාගම ග්‍රාමයේ විසු කරලයින් නෝනා බාලසූරිය මවට සහ ගුණසේන කුමාරපේලී යන දම්පතීන්හට ය.

මෙලෙස උපත ලද පුංචි කුමරුවාට ආනන්ද නෙවිල් කුමාරපේලී යන නම දෙමාපියන් විසින් තැබීය. දියණියන් දෙදෙනෙකුගෙන් සහ පුතුන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල්ම දරුවා උපතින් ම දහමට ලැදි සහ තැන්පත් ගති ලක්‍ෂණවලින් අගතැන්පත් ව වාසය කළේය. නිසි කල පැමිණි පසු අධ්‍යාපනය ලැබීම සඳහා සියඹලාපේ දරණාගම මහා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යපන කටයුතු නිසිලෙස සිදුකරන්නට විය.

ගිහි ජීවිතයේ අරුත් සුන් බව හොදින් තේරුම්ගත් ආනන්ද නෙවිල් කුමාරපේලී දරුවා 1985 අප්‍රේල් මස 05 වන දින හංවැල්ල ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපතිව වැඩසිටි කොරතොට විමලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් දරණාගම කුසලධම්ම හිමියන් ලෙස ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබීය. පසු කලෙක ශ්‍රී ලාංකේය සංඝ සමාජයේ අතිප්‍රබල සංඝ නේතෘන් වහන්සේ නමක බවට පත් වන පරමපූජනීය දරණාගම කුසලධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ශ්‍රමණ ජීවිතයේ සමාරම්භය මෙලෙස සිදුවිය.

දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සරල, අල්පේච්ඡ ජීවිතය උපයෝගී කරගනිමින් බවුන් වැඩීමට වැඩි කලක් යොදවමින් ගිහි පින්වතුන් හට ද භාවනා කමටහන් ලබා දෙමින් වැඩ සිටියහ. ඉන් අනතුරුව කටුකුරුන්ද බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කළ උන්වහන්සේ තවත් ශාසනික මෙහෙවර රැසක් ඉටුකරන ගමන් ම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී බුද්ධ ධර්මය, සිංහල, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් හදාරමින් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමට සමත් වූහ.

ඉන්පසු බම්බලපිටිය සිරි වජිරාරාමයට වැඩම කළ උන්වහන්සේ අතිපූජනීය පියදස්සී නාහිමිපාණන් වහන්සේ ඇසුරෙහි ඉතා කීකරු ශිෂ්‍ය රත්නයක් ලෙස ද පසුව වජිරාරාම විහාරස්ථ දහම් පාසලේ විදුහල්පති හිමියන් ලෙස සිසු සිසුවියන්ගේ ධර්ම අධ්‍යාපනය නැංවීම පිණිස ද කැපවූහ.

මෙසේ කල් ගතවන විට බෞද්ධයන් තුළ මහා ධර්ම ප්‍රබෝධයක් ඇතිකළ පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ක්‍රි.ව. 1987 වසරේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට හදිසියේම අපවත්වී වදාරන්නට වූ අතර අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරය පියදස්සි මාහිමිපාණන් වහන්සේ වෙත 1992 වසරේදී පූජාකරන ලදී. මෙසේ ශ්‍රි සම්බෝධි මහා විහාරාධීපති ලෙස අභිනවයෙන් පත්වූ පියදස්සි මාහිමිපාණන් වහන්සේ විසින් විහාරයේ ආගමික හා සාමාජික සේවාවන් පවත්වා ගෙනයෑම සදහා දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේට පවරූහ.

පසුව උන්වහන්සේ, පියදස්සී නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් මෙරට ප්‍රථම ඉංග්‍රීසී දහම් පාසල වන ශ්‍රී සම්බෝධී ඉංග්‍රීසී දහම් පාසල ආරම්භ කළහ. සිය තරුණ ජීවිතය ආගම දහම වෙනුවෙන් කැපකරමින් ආබාධිත රණවිරුවින් උදෙසා කිහිළිකරු, අත්වාරු, කෘතිම පාද, රෝදපුටු යනාදිය බෙදා දෙමින් ද, මරණයට කැපවූ කිරි ගවදෙනුන් මරණයෙන් නිදහස්කර අසරණ ජනතාව වෙත බෙදා දෙමින් ද පියදස්සී නාහිමිපාණන් වහන්සේට මහත් සහයෝගයක් ලබා දෙමින් කටයුතු කළහ.

ශ්‍රි සම්බෝධි මහා විහාරය දිනෙන් දින දියුණුවට පත්වෙමින් තිබූ කාලවකවානුවක (1998) හදිසියේම පියදස්සි මාහිමිපාණන් වහන්සේ දැඩිසේ ගිලන්බවට පත්වූහ. ඒ කාලයේදී දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ විසින් තම ගුරුවරයාණන් වහන්සේ වෙත සියලු උපස්ථානයන් නොඅඩුව සිදුකළ අතර පියදස්සි මාහිමිපාණන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරූහ. නමුත් විශ්වකීර්ති ශ්‍රී ශාසනශෝභන පියදස්සි මාහිමිපාණන් වහන්සේ 1998 වසරේ දිනක කොළඹ ජාතික රෝහලේදී අපවත්වී වදාළ අතර පසුව ශ්‍රි සම්බෝධි මහා විහාරාධීපතිත්වයට පත්වන්නේ දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ ය.

ඉන් පසුව නැවතත් ශ්‍රි සම්බෝධි මහා විහාරයට ස්වර්ණමය යුගයක් උදාවූවා කීවොත් එය නිවැරදි ය. දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ විසින් දිනෙන් දින විහාරයට නව අංගයන් එකතු කිරීම, භාවනා වැඩසටහන් පැවැත්වීම, සත්මහල් ප්‍රාසාදය හා ඒ තුළ මනරම් විහාර මන්දිරයක් සෑදීම, සුවඳ සඳුන් මන්දිරයක් තුළ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීම, ව්‍යංජන තිස්දෙකකින් සමන්විත විශේෂ බුද්ධ පූජාවන් ආදිය පැවැත්වීම යන දේ එයට හේතු විය.

2007 ජුනි මස 30 වන දින “සැමහිත සුව පිණිස” යන තේමාව මුල්කොට ගනිමින් ලොව ප්‍රථම බෞද්ධ නාලිකාව වන “බෞද්ධයා රූපවාහිනිය” ආරම්භ කර මාධ්‍ය ක්‍ෂේත්‍රය නවමු මාවතකට ගෙන ගියහ.

මීට කලකට ඉහතදී ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීම ඉතාම අපහසු වූවකි. පොහෝ දිනයට විහාරස්ථානයේ දී, විශේෂ පින්කම් අවස්ථාවක දී සහ බදාදා, ඉරිදා යන දිනයන් වලදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ධර්ම දේශනා දෙක හැරෙන්නට නිතර ධර්මය ප්‍රචාරය වීමක් සිදුනොවුණි.

මෙවන් කාලයක අප කතා නායකයාණන් වහන්සේ විසින් බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කරන්නේ පැය විසිහතර පුරාවටම මිහිරි ශ්‍රී සද්ධර්මය බෙදන ප්‍රථම බෞද්ධ මාධ්‍ය ආයතනය ලෙසය. එය ‘බෞද්ධයා රූපවාහිනිය’ ‘බෞද්ධයා ගුවන් විදුලිය’ ‘ශ්‍රී සම්බෝධි සදහම් සඟරාව’ ලෙස ශ්‍රව්‍ය දෘෂ්‍ය මුද්‍රිත ලෙස ආකාර ත්‍රිත්වයකින් ම ජනතාව වෙත ලැබිණි.

මෙම ක්‍රියාව අඳුරේ සිටින ජනයාට තෙල් පහනක් දැල්වූවා හා සමාන ය.

ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරන ආකාරයෙන්, සහල් වර්ග 108කින් යුත් 1008ක ව්‍යංජන සහිත දහවල් බුද්ධ පූජාවද, සවස් යාමයේ ඖෂධ 1008ක බුද්ධ පූජාවද බෞද්ධයන්ට හඳුන්වා දුන්හ.

වසරකට කීප වතාවක් පූජනීය ස්ථානවල අසදෘශ මහා පින්කම් සංවිධානය කිරීමට අප කතානායකයාණන් වහන්සේ තුළ මනා හැකියාවක් පැවතුණි. මෙරට පමණක් නොව චීනය, බුරුමය, තායිලන්තය, ඉන්දියාව.... වැනි රටවල පවා මහා පින්කම් සංවිධානය කෙරිණි. එලෙසම විපත් කලට එම ජනතාව සොයාගෙන රටේ සෑම තැනකටම ගොස් ඔවුන්ට පිහිට වෙන අපේ ස්වාමීන් වහන්සේ සැබැවින්ම ජාතියේ පිනට පහළවු යතිවරයාණන් වහන්සේ නමක් බව නොරහසකි.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පටන් සාමණේරයන් වහන්සේලා දක්වා ත්‍රයිනිකායික ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන් වහන්සේලා වෙනසක් නැතිව ශ්‍රී සම්බෝධි මහා විහාරයට වැඩම කරවන්නට උන්වහන්සේ මහත් ප්‍රියක් දැක්වූහ. සුපේශල ශික්ෂාකාමී ව්‍යක්ත විනීත විශාරද සංඝ නේතෘන් වහන්සේලාගේ ඇසුරින් උන්වහන්සේගේ ජීවිතය හැම අතින්ම ආලෝකමත් වූහ.

මඩිහේ පඤ්ඤාසීහ, නාඋයනේ අරියධම්ම වැනි සංඝ පිතෘවරයන්ගේ ඇසුර උන්වහන්සේට ප්‍රිය වූහ. පසු කලෙක උන්වහන්සේ අපවත් වී වදාළ ස්‍යාමොපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක, අග්ගමහාපණ්ඩිත උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු බවට පත්ව රාජපූජිත පොතුහැර සංඝ පරම්පරාවේ සම්භාවනීය සාමාජිකත්වය ද ලබාගත්හ.

ඒ වාගේම සීලයෙන් අති සුපරිසුද්ධ දිවියක් ගෙවූ පරමපූජනීය දරණාගම කුසලධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවන්ත හිමිනමක් බව පුන පුනා කිවයුතු නැත. සුපේශල ශික්ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්‍රව වැඩ විසූහ.

කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කළ උන්වහන්සේ 2017 වසරේදී හදිසියේම ගිලන් භාවයට පත්වූ නිසා අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, හූස්ටන් හි එම්. ඩී. ඇන්ඩර්සන් රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැඩම කරවූහ.

පරම පූජනීය දරණාගම කුසලධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අජරාමර නිවන් සුවයම ලැබේවා!!!

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]