[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොඳ හෝ නරක හෝ ප්‍රතිඵල ලැබෙන්නේ කරන කියන දෙයට අනුවයි

හොඳ හෝ නරක හෝ ප්‍රතිඵල ලැබෙන්නේ කරන කියන දෙයට අනුවයි

කපුගම සරණතිස්ස නාහිමි

මිනිසුන් වෙතින් විනය ගිලිහුණු තැන බොහෝ විෂමාචාර සිදුවේ . එවැනි ක්‍රියා සමාජ ප්‍රගමනයට බාධාවකි . ජීවත්වන අන්‍යයන්ටද අවහිරයකි . නිදහසේ ජීවත් වීමේ අයිතිය නැතිව යාමකි . බොහෝ අවිනයවත් ක්‍රියාවන් මනාව තේරුම්නොගත්තේ නම් බොහෝ කනගාටුදායක තත්වයන්ට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකිවනු ඇත .ඒ අවබෝධය ලැබිය හැකි හොඳම මාර්ගය දහම් මාවතයි . මේ ඒ පිළිබඳව පිළිබඳ කතරගම අභිනවාරාම මහා විහාරාධිපති රෝහණ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන් සමග කළ සාකච්ඡාවකි .

* ස්වාමින් වහන්ස පුද්ගලයකු කාලය කළමණාකරණය කිරීම ම තමන්ගේ ජිවිතයට කෙතරම් බලපෑමක් කරනවද කියන තැනින් මේ කතිකාවට පිවිසුණොත් හොඳයි කියලා හිතෙනවා.

බොහොම හොඳයි . අප භාග්‍යවතුන් වහන්සේ ගේ ජිවිතයම අරගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු සොයාබලමු . බුදුරජාණන් වහන්සේ ගේ ජිවිතය දෙස බැලුවොත් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ආදර්ශවත් නායකයෙක් . ලෝක සත්වයාට සෙත සලසන්න උන්වහන්සේ කාලය වෙන්කර ගත්තා .උදේ සවස ලොව බලා පරෝපකාරයේ යෙදුණා .

ගිහියන් ලෙස ජීවත් වෙන උදවියට බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා සිඟාලෝවාද සූත්‍රය , පරාභව සූත්‍රය , වසල සූත්‍රය ආදී සුත්‍ර වලින් ජිවිතය යතාර්ථවත් කරගන්නා ආකාරය . එක තැනක උන්වහන්සේ දේශනා කරනවා ‘ඉත්ථි දුත්තෝ සුරා දුත්තෝ ලෙස ස්ත්‍රින් ඇසුර , මත් වතුරට ගිජු වීම , නැටුම් ගැයුම් බැලීමට අසීමිත ඇල්මක් දැක්වීම , ආදී දේවල විපාකයන් පිළිබඳ ? කාලය කළමණාකරනය කරගන්නේ නැතුව තමන්ගේ පංචේන්ද්‍රියන් පිනවීම ජිවිතය විනාශයට ඇද දැමීමක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා . එය පිරිහීමේ ලක්ෂණයක් . ඒ නිසා ඕනෑම දෙයක් අන්තයට යෑම ම තමන්ගේ ජිවීතය අගාධයට ඇද දැමීමක් විදිහටයි සඳහන් කළ හැකි වන්නේ .

* ස්වාමින් වහන්ස අද බොහෝ දෙනකු කාලය ගෙවන්නේ ජංගම දුරකතනය සමඟ . එහෙමත් නැතිනම් අන්තර්ජාලයත් සමඟ. එහි හොඳ වගේම වැඩි හරියක් අපි දකින්නේ නරක .

ඒක නම් විශාල විනාශයක් . අද අනෙකුත් බටහිර රටවල් එක්ක බලනවිට පෙනෙන දෙයක් , රටක් විදිහට අප අතර විශාල පරතරයක් තියෙනවා කියන එක . දැන් බලන්න බටහිර රටවල බලා ඉද්දිම මහාපරිමාණ පුද්ගල දියුණුවක් , සංවර්ධනයක් තියෙනවා . ප්‍රධානම දේ නීතී රීතී වලට වගේම රට වෙනුවෙන් ඔවුන් කාලය කළමණාකරණය කරනවා . අපේ වහරේ වචනයක් තියෙනවා කාලකණ්නි කියලා . කාලය අපතේ හරින පුද්ගලයාටයි එහෙම කියන්නේ . මෙතැන ප්‍රධානම ගැටලුව ජංගම දුරකතනය .අප එය පරිහරනය කරන විදිහ . පහුගිය කාලේ සමීක්ෂණයකින් හෙලිවුණා අසභ්‍ය දෑ බලන රටවලින් ලංකාව අංක එක කියලා . එය හරිම ඛේදවාචකයක් . දුරකතනය අපට අත්‍යවශ්‍යයයි . අන්තර්ජාල පහසුකම් අපට අවශ්‍යයයි . නමුත් අප තැනක් නොතැනක් නැතුව ජංගම දුරකතන දෙක තුනක් ළඟ තියාගෙන කාලය ගෙවන්නේ ඒ දේවල් එක්ක .

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිසුනාවාචා සම්ප්‍රප්පලාපා ‘ කියා . වැඩි හරියක් අප කරන්නේ වැඩකට නැති කතා .

කාර්‍යාලයක බලන්න වැඩ කරන ප්‍රමාණය ඉතාම අවමයි . වැඩි හරියක් දුරකතනවල රැඳීලා ඉන්නේ . නමුත් බටහිර රටවල මේ තත්වය දකින්න නැහැ . ඔවුන්ට එහෙම දුරකතන වල එල්ලිලා රාජකාරි කරන්න තහනම් . එහෙම නීතී රීතී තියෙනවා .

* පහුගිය දිනවල අපට දකින්නට ලැබුණා තරුණ දරුවන් අතර විවිධ සිදුවීම් . පාසල් දරුවන් පවා මේ ඛේදවාචකයේ කොටස් කරුවන් වෙලා .ස්වාමින් වහන්ස, තරුණ පරම්පරාවට මේ ආදීනව පිළිබඳ මඟපෙන්වීමක් ඕන කාලයක නේද අප ඉන්නේ.

පැහැදිලිවම අප ඒ දේ තේරුම් ගත යුතුයි . අද දරුවන් මේ දෙවල් වලට ඇබ්බැහි වෙලා . එක පැත්තකින් මානසික රෝගීන් වෙලා . බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආ තරුණ පිරිසකට උන් වහන්සේ දේශනා කරන ධර්මය හරි අපූරුයි .

මෙම තරුණ පිරිස පවසනවා “ ස්වාමීනි ඔබ වහන්සේ මෙන් අපට බැහැ හිස මුඩු කරගෙන කසාවත් දරන්න . භාවනා යෝගීව ඉන්න අපට බැහැ . කාමභෝගීව ජීවත් වෙලා ඉන්න ඕන . විවාහ වෙලා ගෙවල් දොරවල් හදන්න ඕන . භාග්‍යවතුන් වහන්සේ හරි අපූරුවට ඒ වදන් වලට පිළිතුරු සපයනවා . අත්ථ සුඛ , බෝග සුඛ , අනන සුඛ , අනවජ්ජ සුඛ , මේ කරුණු හතර ඇසුරු කරගෙන . යහපත්ව ජීවත් වෙන්න නම් මේ කරුණු හතර සම්පූර්ණ වෙන්න ඕන . කිසිවකුට හිංසාවක් නොකර යහමින් මුදල් හරිහම්බ කරගන්න ඕන . කාලය අපතේ නොයවා කටයුතු කළ යුතුයි, කියා උන්වහන්සේ දේශනා කරනවා . අනවශ්‍ය ලෙස පංචේන්ද්‍රයන් පිනවන්නේ නැතිව ලැබෙන දේ හරිහැටි පරිපාලනය කළ යුතුයි . අනෙක් දේ ණය නොවී සිටින්නට උන්වහන්සේ උපදෙස් දෙනවා . මුදල් සෙවිය යුත්තේ මත්වතුර , මත්ද්‍රව්‍ය , මස් මාංශ වෙළෙදාම් නැතුව ධාර්මිකව මුදල් ඉපයිය යුතු බව උන්වහන්සේ දේශනා කරනවා .

එමෙන්ම අප හරි හම්බකරන දේ ඥාති බලි, පුබ්බපේත බලි , දේවතා බලි , අත්ථිබලි , රාජ බලි , ලෙස පරිහරණය කළ යුතු ආකාරය පෙන්වා දෙනවා . අප හම්බකරන, මුදලින් ඥාතීන්ට පින් දෙන්න ගුණ දහම් වඩන්න පින් දහම් කරන්න වෙහෙර විහාරස්ථාන වල අභිවෘද්ධියට උන්වහන්සේ මඟ පෙන්වනවා. සිඟාලෝවාද සූත්‍රයේ මේ කරුණු අන්තර්ගතයි . බුදුදහම තමයි ජිවිතයේ යතාර්ථය .

නමුත් අද තරුණ පරම්පරාව මේ කිසිම දෙයක් දන්නේ නැහැ . බණක් පිරිතක් අහනකොටත් ජංගම දුරකතනය අතේ . ඉන්නේ මුහුණු පොතේ . මේවා ඇත්තටම මානසික රෝග . තමන්ගේ මානසික මට්ටම පෙන්නන්නේ තමන්ගේ දුරකතනයෙන් . මේ මුහුණු පොත නිසා කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මත්වතුර සාද , මත්කුඩු සාද මොනතරම් දේ අප දැක්කද ? බුත්තල ප්‍රදේශයේ පොලිස් පරික්ෂක කෙනෙක් කළ හදිය අප දැක්කා .එතැනදි ඒ ජිවිත දෙකට අමතරව ජිවිත කීයක් නම් විනාශ වුණාද ? ඒ වගේම පහුගිය දවස්වල අප දැක්කා පාසල් සිසුවියන් පිරිසක් අතර මහමග ඇතිවන කෝලාහලය . තවත් පිරිසක් මත්වතුර පානය කරලා . බලන්න මේ රටේ අනාගතය නේද මේ විනාශ වෙලා යන්නේ . මේ පරම්පරාව ද අනාගතය බාරගන්න ඉන්නෙ . මේ හැමදේම වෙන්නේ මුහුණුපොත නිසා නේ . මේ වගේ සිදුවීම් කොතරම් මේ රටේ ඇතිද ? ඉතින් මේ පිළිබඳ මව්පියන්ටත් ලොකු වගකීමක් තියෙනවා . මේ දරුවන් අතට මේ උපකරණ පත්කරන්නේ කවුද ? එහෙනම් මව්පියන්ටත් ලොකු කාර්‍ය භාරයක් තියෙනවා . මේ ගැන අප දෙපාරක් අප සිතිය ‍යුතුයි .

* ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේත් ජංගම දුරකතනයට ,මුහුණුපොතට යොමුවී ඇති බවට නායක හාමුදුරුවන් වහන්සේ ඇතැම් විට පවසනවා . මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක් ද ?

මම එය අනුමත කරන්නේ නැහැ . ලෝකයේ විවිධ තාක්ෂණික දේ බිහිවෙනවා .අපට බැහැ එය නතර කරන්න . නමුත් අප දැනගත යුතුයි අපේ සීමාව . ගිහිඅයට වඩා පැවිදි අප මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි . මේ නාඳුනන අය එකට එකතුවෙලා වෙන හානී අප දකිනවානේ . බටහිර ජාතීන් තරම් අපේ මනස දියුණු නැහැ කියලයි මට නම් හිතෙන්නේ . මොනතරම් කාලයක් අප කා දමනවා ද ? මේ සමාජ මාධ්‍ය ජාල නිසා කොයිතරම් පව් පුරවා ගන්නවාද ? වංචාවන් සිදුවෙනවාද ? පුද්ගල අපහාසයන් සිදුකරනවාද ? සියදිවි නසාගන්නවාද ? මෙය මත් කුඩටත් වඩා භයානකයි . අද තරුණ දරුවන්ට මේ ඇබ්බැහි වීම නිසාම තමන් ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියලාවත් මතකයක් නැහැ .

එක් පැත්තකින් තමන්ගේ අම්මා තාත්තා හඳුනන්නේ නැහැ . මේ සඳහා මානසික පරිවර්තනයක් උපදේශනයක් අත්‍යාවශ්‍යයයි . නව නීතී රීතී පැනවිය යුතුයි . බටහිට රටවල මේ දේවල් අකුරටම කෙරෙනවා . ඒ රටවල් දියුණු වෙනකොට අප පහළට යනවා . මිරිස් කරල , පලාමිටිය පිටරටවලින් ගෙන්වන්න සිදුවෙලා . ඉදිකටුව වෙසක් කූඩූව පවා අපට පිටරටින් ගෙනෙන්න තරම් අවාසනාවන්ත වුණේ අපේ මානසික තත්වය පිරිහෙලා තියෙන නිසයි .

* ස්වාමින් වහන්ස, අවසන් වශයෙන් අපි සඳහන් කරමු දැහැමි දිවි පෙවෙතක් සඳහා තරුණ පරපුර තමන්ගේ ජිවිතය සකස්කරගත යුත්තේ කෙසේ ද ?

හොඳයි . අප සරලම තැනින් පටන් ගමු . අපි හැමෝම බෞද්ධයන් .මේ සසරින් එතෙර වෙන්න මඟ කියා දුන් මහා ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ . උන්වහන්සේගේ දහම හේතු ඵලවාදීයි . අප කරන කියන දේ අනුවයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ . ප්‍රධානම දේ අප පන්සිල් රකින අය විය යුතුයි . මේ පන්සිල් පද පහ රකින්නට කෙනකුට හැකිනම් ඒකම දැහැමි දිවිපෙවෙතකට මඟ පාදා ගැනීමක් . අප මොන තරම් බණ දේශනා කළත් වැඩක් නැහැ ඒක මෙ කනෙන් අහලා එහා කනෙන් පිට කරනවානම් . ඒ නිසා මේ තරම් බණ කියන, බණ ඇහැන රටේ ඒ ධර්මය නිසි ලෙස පිළිපදිනවානම් අපට අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත හැකියි.

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]