Print this Article


ලෝවැඩ සඟරාවෙන්

ලෝවැඩ සඟරාවෙන්

කලෙකිනි බුදු කෙනකුන් උපදින්නේ
දුකෙකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙ දෙකිනි මෙ සසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නො කරන්නේ

බුදු කෙනකුන් උපදින්නේ කලෙකිනි. මිනිස් බව ලැබ ගන්නේ දුකෙකිනි. මෙ සසර දුක් දුර ලන්නේ මෙ දෙකිනි. සුදනෙනි, වීරිය නොකරන්නේ ඇයි.

ඝෝර සසර මඟ මිනිසත් බව ලැබීම නම් අතිශය දුර්ලභ ය. එසේ මිනිසත් බව ලැබුව ද බුදු බණ පදයක් අසන්නට නම් ඒ, බුද්ධෝත්පාද කාලයක් ම විය යුතු ය. එහෙත් බුදු කෙනෙක් උපදින්නේ ද මහා දීර්ඝ කාලයකට පසුව ය.

දුක් විඳින සසර ගමනෙන් ගොඩ එන්නට නම් උතුම් නිවන් මඟට පැමිණිය යුතුම ය. නිවන් මඟ පසක් කළ හැකි, සිත දියුණු කළ හැකි මිනිසකුට ම පමණි. අපි දුර්ලභව ලද හැකි මිනිසත් බව ලබා සිටිමු. උතුම් බුද්ධෝත්පාද කාලයක ජීවත් වන්නට වාසනාව ලද්දෝ වෙමු. ජීවිතය දුකකි. එහෙත් දුකෙන් නිදහස් වීමේ මඟ තථාගතයන් වහන්සේ අපට පෙන්වා දුන්හ. ඒ උතුම් මඟ යන්නට තවත් ප්‍රමාද වන්නේ කුමට ද? මේ, සසර මඟ යතාර්ථය තේරුම් ගෙන උතුම් නිර්වාණය පසක් කර ගන්නට හොඳම කාලයයි.