Print this Article


බෞද්ධ සාහිත්‍යය 05: බුද්ධි වර්ධනයට හා මානසික අස්වැසිල්ලට අභිධර්ම පිටකය

බෞද්ධ සාහිත්‍යය 05:

බුද්ධි වර්ධනයට හා මානසික අස්වැසිල්ලට අභිධර්ම පිටකය

අභි සහ ධම්ම යන පද දෙක එකතු කිරීමෙන් අභිධම්ම හෙවත් අභිධර්ම යන වචනය නිර්මාණය වී තිබේ. ඒ අනුව ධම්ම යන්නට පසුව අභිධම්ම යන්න සැකසී ඇති බව පැහැදිලි ය. අටුවාචාර්ය බුද්ධඝෝස හිමියන්ගේ නිර්වචනය අනුව ධම්ම යන්නට අභි යන උපසර්ග පදය මුලින් යෙදුවිට අභිධර්ම යන්නෙන් අතිරේක ධර්මය විශේෂ ධර්මය යන අර්ථය නිර්මාණය වේ.

ධර්මය විශ්ලේෂණය කිරීම සඳහා අභිධර්ම පිටකයේ අන්තර්ගත ක්‍රමවේදය අභිධර්ම නය(න්‍යය්‍යාය) යනුවෙන් හැඳීන්වේ. එය සූත්‍ර පිටකයේ අන්තර්ගත ක්‍රමවේදයට වඩා වෙනස් වේ. අභිධර්ම ග්‍රන්ථවල මූලික වශයෙන් විස්තර කෙරෙන්නේ චිත්ත චේතසික රූප නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් ය. එබැවින් එය පරමාර්ථ දේශනා යනුවෙන් හඳුන්වා තිබේ(පරමත්ථදේශනා). සෙසු පිටක දෙකට වඩා අභිධර්ම පිටක හැදෑරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නේ එහි අන්තර්ගත ධර්ම විශ්ලේෂණ ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාවයි.

එසේ වුවත් සෙසු පිටක දෙක හා සම්බන්ධයෙන් බෞද්ධයන් අතර පවතින ගෞරවය හා භක්තිය අභිධර්ම පිටකය සම්බන්ධයෙන් ද එසේම නොවෙනස් ව පවතී. ග්‍රන්ථධුරය හා විදර්ශනාධුරය යනුවෙන් ලංකාවේ ථෙරවාද සම්ප්‍රදාය තුළ ඇති වූ භේදයෙන් පසුව අභිධර්මය හදාරණ හා උගන්වන ආචාර්යවරයාට සෙසු පිටක දෙක උගන්වන ගුරුවරයාට වඩා වැඩි වැටුපක් ගෙවන ලෙස අණකළ බව සිව්වන මිහිඳු රජුගේ පුවරු ලිපියකින් ද අනාවරණය වේ. ඒ අනුව විනය පිටකය උගන්වන ගුරුවරයාට කොටස් පහක්ද, සූත්‍ර පිටකය උගන්වන ගුරුවරයාට කොටස් හතක්ද අභිධර්මය උගන්වන ගුරුවරයාට කොටස්

දොළොසක්ද ගෙවන ලෙස නියමකොට තිබේ. මේ නිදසුනෙන් පැහැදිලි වන්නේ බුද්ධිවර්ධනය මූලික කරගත් අභිධර්මය ඉගෙනීම මෙන්ම ඉගැන්වීම විශේෂ කාර්යයක් ලෙස අතීතයේ සිටම පිළිගෙන ඇති බවයි. අභිධර්ම පිටකයේ අන්තර්ගතය සාකල්‍යයෙන්ම මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත හෙයින් බොහෝ දෙනෙකුට එය දුරවබෝධය.

එහෙත් එහි අන්තර්ගතය මනා සංයමයකින් යුක්තව හදාරන්නෙකුට ධර්මය මූලික කරගත් මානසික අස්වැසිල්ලක් එමඟින් ලබාගත හැකිය.එසේම බෞද්ධ මනෝවිද්‍යාව හදාරන්නෙකුට අභිධර්ම පිටකය පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. එසේම විමුක්තිය අරමුණු කරගෙන විපස්සනාව වඩන යෝගාවචරයන්ට ස්කන්ධ ධාතු ආයතන ආදි ධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලබාගැනීම සඳහා අභිධර්මය පිළිබඳ දැනුම අනිවාර්ය වේ.

මෙනිසා ආරණ්‍යවාසීව බවුන් වඩන යෝගාවචර භික්‍ෂූන් වහන්සේලාට අභිධර්මය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අත්‍යවශ්‍ය බව ආදි යුගයේ සිටම පිළිගත් කරුණකි. ධර්මධරයන්ට හා ධර්ම කථිකයන්ට විෂය වන අභිධර්මය පොදුජනයාට වටහා ගැනීමට දුෂ්කර වන්නේ සූත්‍ර පිටකයේ දැක්වෙන ආකාරයේ උපමා රූපක දෘෂ්ටාන්ත කථා ආදිය සහිත සප්පරියාය දේශනා ශෛලියක් අභිධර්ම ග්‍රන්ථවල දක්නට නොලැබෙන හෙයිනි.

එහි ඇතුළත් වන්නේ නිශ්චිත පාරිභාෂික වචන මාලාවක් සහිත විශේෂ විවරණ ක්‍රමවේදයකි. එනිසා අභිධර්මය නිෂ්පර්යාය දේශනා යනුවෙන් නම්කොට තිබේ. අභිධර්ම විශ්ලේෂණ ක්‍රමවේදය මැනවින් අවබෝධ කරගත් කෙනෙකුට එය හැදෑරීම පහසු ය.

අභිධර්මයේ ප්‍රභවය සම්බන්ධයෙන් මත දෙකක් දක්නට ලැබේ. පළමු මතය අනුව බුද්ධත්වයෙන් අනතුරු ව තථාගතයන් වහන්සේ විසින් සිව්වන සතියෙහි රුවන්ගෙයි වැඩ සිටිමින් අභිධර්මය මෙනෙහි කළ අතර එය පසුව මාතෘදිව්‍යරාජයා ප්‍රධාන තව්තිසා වැසි දෙවියන්ට දේශනා කළහ. බුදුරදුන්ගෙන් අභිධර්මය අසා දැනගත් සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විසින් එය තෙවන සංගායනාව දක්වා පවත්වාගෙන එන ලදි. තෙවන සංගායනාවෙන් අනතුරුව ලංකාවට එය රැගෙන එන ලද්දේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන පිරිස විසිනි. ඉන් පසුව අනුබුදු මිහිඳු හිමියන් විසින් ලක්දිව ස්ථාපනය කළ සිංහල භික්‍ෂු පරපුර විසින් ත්‍රපිටකය ලේඛණාරූඩ කරනු ලබන තෙක් කටපාඩමින් අඛණ්ඩව පවත්වාගෙන එන ලදි.

ඒ අනුව ලංකා ථෙරවාද සම්ප්‍රදායට අංග සම්පූර්ණ අභිධර්ම පිටකයක් ලැබී තිබේ. දෙවන මතය වන්නේ බුදුරදුන් දේශිත විශේෂ ධර්ම කොටස් ධර්මකථික භික්‍ෂූන් වහන්සේලා විසින් තවදුරටත් විවරණයකරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස අභිධර්මය ක්‍රමයෙන් සංවර්ධනය වී ඇති බවයි. මෙම මතය නූතන මතයයි. මෙම මත දෙකම අභිධර්මයේ නිර්මාතෘවරයා තථාගතයන් වහන්සේය යන්න පිළිගනී. මේ පිළිබඳ බෞද්ධ විද්වතුන් අතර විවිධ මතවාද හා පිළිගැනීම් දක්නට ලැබේ.

එම මතවාද කෙසේ වුවද අභිධර්ම පිටකයේ අන්තර්ගත සියලු ධර්මකරුණු තථාගත භාෂිතයට අයත් වූ ඒවා වේ. බුද්ධ වචනයෙන් පරිබාහිර කිසිවක් එහි අන්තර්ගත නොවේ.