Print this Article


සියම් රජ පවුලේ සම්භාවනාවට පත් ගාල්ලේ මිණිවන්ගොඩ පරමානන්ද විහාරය

සියම් රජ පවුලේ සම්භාවනාවට පත් ගාල්ලේ මිණිවන්ගොඩ පරමානන්ද විහාරය

"යටත්විජිත යුගයේ බුදු දහමට අගෞරව වන අන්දමින් අන්‍යාගමිකයන් පතුරවාහළ ලේඛන සහ දේශන සඳහා පිළිතුරු සැපයීමට බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්ස නාහිමියන් විසින් සිව්වන රාමා රජතුමා විසින් පුද කළ කුරුන් දහසක මුදලින් ගාල්ලේ දංගෙදර වීදියේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවා ලක්දිව මුල්ම පුවත්පත වන ලංකාලෝකය පුවත්පත ආරම්භ කොට මසකට දෙවරක් බැගින් වසරක් පමණ මුද්‍රණය කිරීම සුවිශේෂී සංසිද්ධියකි."


පස් ලෝහ ප්‍රතිමාව

පරාධීන යුගයේ මෙරට ධර්ම ශාස්ත්‍රීය පුනරුදය උදෙසා අමිල මෙහෙවරක් සිදු කළ බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්ස නාහිමියන් වැඩ සිටි පරමානන්ද විහාරය ගාලු නගර සීමාවේ මිණිවන්ගොඩ ග්‍රාමයේ උස් වූ බිමක පිහිටා ඇත.

උඩරටින් වැඩම කළ අලුත්නුවර පඤ්ඤාතිස්ස මාහිමියන් විසින් ආරම්භ කරන ලදැයි සැලකෙන පරමානන්ද විහාරයේ බොහෝ විහාර කර්මාන්ත ද එම යුගයට ම අයත් ය. අඩි හතරක් පමණ උස්ව තැනූ වේදිකාවක් මත ඝණ්ඨාකාර චෛත්‍යරාජයන් වහන්සේ තනවා ඇත.

දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙහි වැඩමවා රෝපණය කරවා වන්දනාමාන කටයුතු සිදු කරන ලද නමුත් 1876 වර්ෂයේ දී සුළි සුළඟකින් එම බෝධින් වහන්සේ විනාශයට පත් වූ පසු එම මූලයෙන් ම පැන නැඟි බෝධීන් වහන්සේ නමක් වර්තමානයේ විහාරස්ථානයේ දක්නට ලැබෙයි.

පරමානන්ද විහාරය අටපට්ටම් විහාරය යනුවෙන් සැදැහැවතුන් අතර වඩාත් ප්‍රචලිත වී ඇත්තේ විහාරස්ථානයේ පිහිටි අටපට්ටම් හැඩයේ විහාර මන්දිරය නිසා ය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩයට සමාන අන්දමින් වටේ ප්‍රදක්ෂිණා පථයක් සහිතව 1824 වර්ෂයේ තනවා ඇති විහාරයේ ඇතුළත සමාධි ප්‍රතිමාවක් තැන්පත් කරවා ඊට ඉදිරියෙන් වරින්වර බුරුමයෙන් විහාරස්ථානයට පූජා කෙරුණු කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තබවා විහාර මන්දිරය ඉදිරියෙන් ශෛලමය කුඩා විහාර මන්දිරයක් තුළ බුරුමයෙන් වැඩම කරවූ පස් ලෝහ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කොට ඇත.

විහාර මලුව පෞරාණික තොරණකින් හා ප්‍රාකාර බැම්මකින් ආවරණය කරවා ප්‍රාකාරයෙන් පිටත පෞරාණික සුවිසල් සංඝාවාසය සහ පෝය ගෙය පිහිටුවන ලදී. ගම්පොළ නියම්ගම්පාය විහාරස්ථානයේ කිරින්දේ මහ තෙරුන් ඇසුරෙහි පැවිදිබව ලබා සිටි බුලත්ගම ධම්මාලංකාර සුමනතිස්ස මාහිමියන්, ඒ අවධියේ උඩරට වැඩසිටි අලුත්නුවර පඤ්ඤාතිස්ස මාහිමියන් වෙතින් අධ්‍යාපනය ලදහ. අලුත්නුවර මාහිමියන් දකුණු පළාතට වැඩම කරවා අමරපුර නිකායෙහි උපසම්පදාව ලබා පරමානන්ද විහාරය ආරම්භ කළ වකවානුවෙහිදී, බුලත්ගම හිමියන් ද ගාල්ලට වැඩම කොට පඤ්ඤාතිස්ස මාහිමියන්ගේ ශිෂ්‍ය භාවයට පත් වූහ.


චූලාලංකාර ධර්මශාලාව

මෙම ගුරු සිසු දෙනම 1834 වර්ෂයේ දී දඹදිව, තායිලන්තය, බුරුමය යන රටවල වන්දනා චාරිකාවක නිරත වූ අතර නැවත 1840දී බුරුමයට වැඩි ගමනේ දී අලුත්නුවර පඤ්ඤාතිස්ස මාහිමියන් වහන්සේ අපවත් වූ නිසා බුලත්ගම නාහිමියන් පරමානන්ද විහාරයේ ආධිපත්‍යයට පත් වූහ.

ලක්දිව වැඩ සිටි සම්භාවනීය මහා තෙරනමක වශයෙන් බුලත්ගම නාහිමිපාණන් වහන්සේ දේශ දේශාන්තරයෙහි ප්‍රසිද්ධත්වයට පත් වූහ. සියමයේ හතරවැනි රාමා රජතුමා සිය රටට වැඩම වන ලෙස බුලත්ගම නාහිමියන්ට ඇරයුම් කළේ ය.


විහාරාධිපති

යටත්විජිත යුගයේ බුදු දහමට අගෞරව වන අන්දමින් අන්‍යාගමිකයන් පතුරවාහළ ලේඛන සහ දේශන සඳහා පිළිතුරු සැපයීමට බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්ස නාහිමියන් විසින් සිව්වන රාමා රජතුමා විසින් පුද කළ කුරුන් දහසක මුදලින් ගාල්ලේ දංගෙදර වීදියේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවා ලක්දිව මුල්ම පුවත්පත වන ලංකාලෝකය පුවත්පත ආරම්භ කොට මසකට දෙවරක් බැගින් වසරක් පමණ මුද්‍රණය කිරීම සුවිශේෂී සංසිද්ධියකි.

පසු කලෙක බුලත්ගම නාහිමියන් වැඩසිටි තවත් විහාරස්ථානයක් වූ කතලුවේ රන්වැල්ල පුරාණ විහාරයේ මෙම මුද්‍රණාලය පිහිටුවා 1886 වර්ෂයේ දී නැවත මුද්‍රණය කිරීම ඇරඹුණි.

වර්ෂ 1867දී පැල්මඩුල්ල රාජමහා විහාරය ආශ්‍රිත සුදර්ශන ධර්ම ශාලාවේදී ඉද්දමල්ගොඩ නිළමේතුමන්ගේ අනුග්‍රහයෙන් පැවැත් වූ විනය සංගීතියේ දී අමරපුර නිකාය වෙනුවෙන් ඊට දායකත්වය ලබාදුන් බුලත්ගම නාහිමිපාණන් වහන්සේ පංචමහා වාදවලදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ බෞද්ධ පක්ෂය වෙත අනල්ප සහගෝගයක් දැක්වූහ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ උභයාංශ පාරුපනයට උනන්දු වූයේ ද බුලත්ගම නාහිමියන් සමඟ පැවති ඇසුර නිසා බව පිළිගැනීමයි. සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුලත්ගම හිමියන් සමඟ සමීප ඇසුරක් පවත්වන ලද බවට කරුණු හමු වෙයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වදාළ අඹගස්වත්තේ සරණංකර හිමියන් බුලත්ගම හිමියන්ගේ ශිෂ්‍යයකු වන අතර එම හිමියන්ට උපසම්පදාව පිණිස රාමඤ්ඤ රටට යාමට බුලත්ගම නාහිමියන්ගෙන් මහඟු සහයෝගයක් ලැබුණි.

වර්ෂ 1886දී සියමේ චූලාලංකාර රජතුමාගේ ඇරයුමින් බුලත්ගම නාහිමියන් තත්ශිෂ්‍ය කෝදාගොඩ පඤ්ඤාශේඛර මාහිමියන් සමග සියමට වැඩමවා රජමැදුරට නුදුරු විහාරයක වස් විසූ බව සඳහන් වෙයි.

තවත් වරෙක සියම් රජතුමා ගාලු වරායට එවූ පුස්කොළ පොත් පෙට්ටි දහයක් පෙරහරින් විහාරයට වැඩම වීමේ දී අන්‍යාගමික පිරිසක් ඊට එරෙහිව නඩු පැවරූ කල සියම් රජතුමා ඒ බව එවක ලංකාව පාලනය කළ මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා අධිරාජිනියට දැන්වීමෙන් පසු බුලත්ගම හිමියන්ට පෙරහර වැනි කටයුතු සඳහා තහනම් නියෝග අවශ්‍ය නොවන ලෙස නියෝග පැනවීය.

බුරුමයේ තිබෝ රජතුමා ද බුලත්ගම නාහිමියන් සමග සබඳතා පවත්වා තිබේ.

වර්ෂ 1891දී බුලත්ගම මාහිමියන් අපවත් වීමෙන් පසු කොග්ගල සංඝතිස්ස අනුනාහිමියන් පරමානන්ද විහාරයේ ආධිපත්‍යයට පත් වූහ. මේ අවධියේ 1897 වර්ෂයේ සියම් රට චූලාලංකාර රජතුමා යුරෝපය බලා යන අතරතුර ගාලු වරායෙන් ලක්දිවට පැමිණ පරමානන්ද විහාරයට පැමිණීම සිහිපත් කරනු වස් විහාරස්ථ දායක සභාව මගින් විහාර බිමෙහි චූලාලංකාර ධර්ම ශාලාව නම් දෙමහල් මහා ධර්ම මන්දිරය තැනවීය.

කොග්ගල සංඝතිස්ස අනුනාහිමියන්ගෙන් පසු ගාල්ලේ ජනානන්ද නාහිමි, මිණිවන්ගොඩ පඤ්ඤාතිස්ස නාහිමි වැනි හිමිවරුන් රැසක් ආධිපත්‍යය හෙබවූ පසු වර්තමානයේ මෙදේරිපිටියේ සෝමරතන නාහිමියන් වහන්සේ විහාරාධිපති පදවිය හොබවති. ලක්දිව ප්‍රකට පඬිවරුන් අතර වැඩසිටි වතුගෙදර අමරසීහ මාහිමි, කොත්මලේ අමරවංස මාහිමි වැනි මහා යතිවරයාණන් වහන්සේලා ද පරමානන්ද විහාරය ඇසුරින් බිහි වූ යතිවරයාණන් වහන්සේ වෙති.

පරාධීන යුගයේ දේශ දේශාන්තරයෙහි සුපතළ මහා විහාරස්ථානයක් වශයෙන් සම්භාවනීයත්වයට පත් මිණිවන්ගොඩ පරමානන්ද මහාවිහාරය මහානීය පුදබිමක් වන්නේ ය.