Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

වෙස්මුහුණු

භික්ෂුවක් යම්කිසි මුදලක් පිළිගැනීම හෝ, පිළිගන්වා ගැනීම හෝ, තමා වෙනුවෙන් තැන්පත් කරවීම හෝ නොකළ යුතු බව විනය නීතියකි. මේ විනය නීතියට ගරු කරනවා නම්, භික්ෂූන් විනය ගරුක නම් සත්‍ය වශයෙන් ම සසුන් පිළිවෙත රැකෙන්නේ ය.

මුදල් හදල් පරිහරණය කිරීමෙන් සිදු වන්නේ ආශාවක් වඩ වඩාත් දියුණුවීම ය. ආශාවන් දුරු කර ගැනීම පිණිස ඇප කැප වූවන් තව තවත් ආශාවන් වර්ධනය කර ගැනීම ශාසන පරිහානියේ ලක්ෂණයකි.

භික්ෂූන් වහන්සේ ආදර්ශවත් පිරිසක් විය යුතු ය. නූතනයේ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ආදර්ශයක් ගත හැක්කේ කලාතුරකිනි.

පාත්‍රය භාවිත කළත්, කසට පැහැති සිවුරු පරිහරණය කළත්, මුදල් හදල් භාවිත කරනවා නම්, ධන සම්පත් තර කර ගැනීම පිණිස ප්‍රායෝගිකව ක්‍රියා කරනවා නම් ඔවුන්ගේ තපස් විලාශය වෙස් මුහුණු බැඳ, රඟ මඬලට පැමිණ ගරා නැටුම් රඟපාන යකැදුරන් සේ යැයි කීම සෑම අතින් ම උචිත ය.

යකැදුරා වෙස් මුහුණ බැඳගත් කාලය තුළ පමණක් ගරා යකෙකු සේ දිස්වන නිසා ය.

****

අනඳමෙත් මාහිමියන් කර වූ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන - 04

ශ්‍රී ධර්මානන්දය ජ්‍යෙෂ්ඨ පිරිවෙනක් බවට පත්වෙයි

මස්සැන්න වත්තෙහි අධ්‍යක්ෂක සෙනවිරත්න මහතා ඉංග්‍රිසි අධ්‍යාපනය සඳහා නන් අයුරින් සහයෝගය පළ කොට ඇත.

ඉංග්‍රිසි අධ්‍යාපනය සඳහා ගුණතිලක කෝරළේ මහතා ප්‍රමුඛ ඥාතීන් විසින් පරිත්‍යාග කරන ලද මිරිස්වත්ත ඉඩමේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැඟිල්ල ඒ සඳහා යොදාගත් බව සඳහන් වෙයි.

ධර්මානන්ද බෞද්ධ ඉංග්‍රිසි විද්‍යාලය යනුවෙන් එය හැදින්වුණි. එහි උන්නතිය සඳහා රත්නපුර බෞද්ධ සමිතියට පැවරිණි. අදියරෙන් අදියර ප්‍රගතිය කරා යොමුවෙමින් අනතුරුව එය බලන්ගොඩ විද්‍යාලය නමින් වැහැරිණි.මේ වන විට සිංහල, දමිළ, මුස්ලිම්, සිසුන් 400 ක් තරම් පිරිසක් අධ්‍යාපනය සඳහා එහි පැමිණි බව සඳහන් ය.

මේ අයුරින් ආරම්භ වූ බලන්ගොඩ ජාතික පාසල වශයෙන් ධර්මානන්දය ඉදිරියෙහි අද අභිමානවත් සේවාවක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ද, ජාතික ව්‍යාපාරයේ ද ප්‍රගතියක් සිදු වූ මෙම අවධියෙහි පිරිවෙන් අධ්‍යාපනය සඳහා පෙරපර දෙදිග භාෂාවන් මෙන් ම අලුතින් එක් කෙරුණු භූගෝල විද්‍යාව වැනි විෂය ධාරාවන් ඉගැන්වීමට ද මඟ සැලසිණි. ඒ සඳහා නා හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ප්‍රවීණ, ආචාර්යවරුන් වශයෙන් රියෙන්සි අලගියවන්න, නෝනිස් පෙරේරා,මෙන්ඩිස්( ඇම්.ඒ උපාධිලාභි) අල්වාපිල්ලේ ආදීහු කටයුතු කළ බව වාර්තාගත ව ඇත.

ධර්මානන්දයේ ද, බලන්ගොඩ විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබමින් මේ වන විට උසස් විභාගයන් සඳහා යොමුවුවන් හා රජයේ රැකියාවලට යොමුවුවන් ද දිනෙන් දින ගණනින් ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කොට ඇත.

බාහිර සිසුන් මෙන් ම නේවාසික ගිහි පැවිදි සිසුන් ද ධර්මානන්ද පිරිවෙනෙහි අධ්‍යාපන කටයුතු වල යෙදුණු අතර,ධර්මගිරි ආශ්‍රමයෙන්වත් පිළිවෙත්, සිරිත් විරිත්, භාවනා කටයුතු ඉහළින් ම සිදු වූ අවධියක් වශයෙන් සිහිපත් කළ හැකි බව නා හිමියන්ගේ මතය යි.

වැලිගෙපොල මෛත්‍රී මුර්ති හිමියන් විසින් ස්වනිකායික සංඝයා වහන්සේ හා දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පුළුල් ජාතික, ආගමික හා ශාසනික කාර්ය භාරයන් රැසක් ඉටුකොට ඇත. “ධර්ම විජය” නමින් පුවත්පතක් ඉංග්‍රිසියෙන් සහ සිංහලෙන් මුද්‍රණය කොට ඇත.

ධර්මගිරි ආශ්‍රමයෙහි විහාර මන්දිරය දෙහිගස්තලාවේ හරමානිස් ප්‍රනාන්දු මුදලාලි මහතා ප්‍රමුඛ දායික දායිකාවන් විසින් තනවා ඇත. සම්බෝධි ප්‍රාර්ථනා ගාථා නමින් බුදු බව ප්‍රාර්ථනය කිරීමේ අභිලාෂයෙන් ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් විසින් රචනා කළ ගාථාවන් එකල ධර්මගිරි ආශ්‍රමයේ වත් පිරිත් දෙසීමෙන් පසුව සජ්ඣායනය කළ බව අපි දනිමු.

මෙබඳු ප්‍රබෝධවත් අවධියක් සැකසෙමින් පැවති අතර, නො සිතූ අයුරින් පරිවෙණාචාර්යවරයකු වශයෙන් ද, කෘත්‍යාධිකාරීවරයකු වශයෙන් ද අමිල මෙහෙයක යෙදුනු වැලිගෙපොල මෛත්‍රීමූර්ති හිමියන් අපවත් වූ පුවත ශ්‍රී ධර්මානන්ද ඉතිහාසයේ අතිශය සංවේගජනක අවස්ථාවකි. එය සිදුව ඇත්තේ 1955 සැප්තැම්බර් මස 25 වෙනි දින දී ය. අනතුරුව උන්වහන්සේ විසින් ඉටු කළ කාර්යභාර්ය අනෙකුත් ආචාර්යවරුන්ගේ උපකාරයෙන් පවත්වා ගන්නට හැකි විය.

මේ වන විට අප ආයතනයෙන් බිහිවූ ගිහි පැවිදි උගතුන් විවිධ කාර්යයන්හි නිරත වූ බව පෙනේ. මේ අවධියේ විද්‍යොදය විශ්වවිද්‍යාලය ඇරඹියෙන් එහි මහායාන බුද්ධ ධර්මය අධ්‍යයන අංශයේ මහාචාර්ය පදවිය සඳහා උපකුලපති වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේට ආරාධනා කොට පත් කරගන්නා ලදහ. මෙය සිදු වූයේ 1959 වර්ෂයේ දී ය. එබැවින් ධර්මානන්ද පිරිවෙන්පති තනතුර සඳහා මහා නාහිමියන් ගේ සුවච ශිෂ්‍යයකු වූ පණ්ඩිත ඉඹුලාමුරේ ධර්ම මුර්ති හිමියෝ 1959 ජනවාරි 12 වැනි දින පත් කර ගන්නා ලදහ. 1960 ඔක්තෝබර් 05 වැනි දින විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්ති මෙම පිරිවෙනෙහි ආරම්භ කොට ඇත.