Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

භාග්‍යවතුන් වහන්සේ දිනක් සංඝයා වහන්සේ සමඟ සාකේත නගරයෙහි පිඬු පිණිස වැඩි සේක . එ කල යම් කටයුත්තක් සඳහා නුවරින් නික්මුණු ධනවත් මහලු බමුණෙක් නුවර දොර සමීපයේ දී භාග්‍යවතුන් වහන්සේ දැක පුත්‍ර ස්නේහය උපදවා “ පුත , බොහෝ කලෙකින් දැක්කෙමි “ යි කියා හඬමින් ඉදිරියට ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා , “මහණෙනි, මේ බමුණා කැමැත්තක් කරනු ඇත. ඔහු නොවැළැක්විය යුතුයි” වදාළ සේක . බමුණු තෙමේ ද ළඟට පැමිණ “ පුතා බොහෝ කාලෙකින් නුඹ දිටිමි. බොහෝ කලක් අපෙන් වෙන් ව සිටියහු “ යැයි කියා උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය හාත්පසින් වැළැඳ ගත්තේ ය . එයට ඉඩක් නො ලැබුණේ නම් , එම බමුණා ශෝකයෙන් මියයන්නේ ය. එබැවින් ඔහු ට කැමැත්තක් කරන්නට භාග්‍යවතුන් වහන්සේ ඉඩ දුන් සේක .

ඉන්පසු බ්‍රාහ්මණ තෙමේ ‘ භාග්‍යවතුන් වහන්ස, ඔබ හා වැඩි මේ සියලු භික්ෂූන් වහන්සේට භික්ෂාව දීම මා විසින්ම කළ හැකියි . එබැවින් මට අනුග්‍රහ කොට මේ ඉල්ලීම පිළිගත මැනැවැයි කී ය . භාග්‍යවතුන් වහන්සේ එම ආරාධනය පිළිගත් සේක . බ්‍රාහ්මණ තෙම පාත්‍රය ගෙන පෙරටුව යමින් “පුතා ආයේ ය, ආසන පනවන්නැයි ගෙහිමියන්ට පණිවුඩයක් යැවී ය . බැමිණිය ද ඉතා සතුටු ව අසුන් පනවා වීථීයේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක , පුත්‍ර ස්නේහය ඉසිලිය නොහි ඉදිරියට දිව ගොස් “පුතා බොහෝ කලකට පසු දිටිමි “ යි කියා පා මුල වැටී හඬා ගෙට වැඩම කරවා ගෙන ගොස් සකසා දන් පිළිගැන්වුවා ය . දන් වළඳා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ධර්මය දෙසු සේක . බණ අසා දෙදෙනා ම සෝවාන් වූහ .

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එම නුවර වසන තාක් කල්, ඔවුන්ගේ ගෘහයෙන් භික්ෂාව ගන්නා ලෙස අයැදු හ . භාග්‍යවතුන් වහන්සේ “ බුදුවරු එකම තැනකට නිතර නො වඩිත් .” යැයි වදාරා ඒ ආයාචනය ප්‍රතික්ෂේප කළ සේක . “ එසේ නම් ස්වාමීනි , භික්ෂු සංඝයා හා පිඬු පිණිස වැඩ මෙහිදී ම දන් වළඳා අපට බණ වදාරා විහාරයට වැඩිය මැනැවැ යි කීහ.” භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත් සේක . මිනිසුන් ඒ බමුණු බැමිණි දෙදෙනාට බුද්ධපිතෘ, බුද්ධමාතෘ යැ යි කියා ව්‍යවහාර කළහ . එ පවුලට බුදුකුල යැ යි නම් විය .

“මම භාග්‍යවතුන් වහන්සේ ගේ මව්පියන් දනිමි . මේ දෙදෙනා තුමූ භාග්‍යවතුන් වහන්සේ ගේ මව් පිය බවක් කුමට කියත් දැ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූහ .

“ආනන්දය , මේ බමුණු බැමිණි දෙදෙනා බොහෝ පෙර පිළිවෙළින් ම පන්සියයක් පමණ ජාතීන්හි මගේ මවු පිය ද , එ පමණ කල් ලොකු මවු පිය ද , සුළු මවු පිය ද වූහ . ඒ පූර්ව ස්නේහය මතු වීමෙන් ඔවුන් මෙසේ කියති” යි වදාළ සේක .

ඉන්පසු කලක් එහි වැස නැවතත් සැරිසරන සේක් සැවැත් නුවරට ම වැඩි සේක . ඒ බමුණු බැමිණි දෙදෙන ද භික්ෂූන් වෙත එළැඹ බණ අසා සකෘදාගාමි අර්හත් යන ඉතිරි මාර්ග තුනටත් පැමිණ අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවීය හ .

නුවර වැසි බමුණෝ ද උපාසකවරු ද මහත් සත්කාර සහිතව මාතෘ ශරීර කූටාගාරයක බහා නුවරින් ආදාහනස්ථානයට ගෙන පිටත් වූහ . භාග්‍යවතුන් වහන්සේ අලුයම් හි ලෝ බලන සේක් , තමන් වහන්සේ ගේ එහි වැඩම වීම බොහෝ දෙනාට ධර්මාවබෝධයට පත් වනු දැක , සැවැත් නුවරින් නික්ම ඒ සොහොන් බිමට වැඩි සේක .

මිනිසුන් උන්වහන්සේ දැක , “සිය මව්පියන්ගේ ශරීරාදාහනෝත්සවයට භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක් යැයි කියා අවුත් වැඳ සිටියා හ . නගර වාසිහු ද මාතෘ ශරීර ගෙන පෙරහරින් ආදාහන භූමීයට පැමිණිය හ . එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙදෙනා රහත් වූ බව ප්‍රකාශ කොට එසේ වතාවත් කොට ආදාහනය කළ යුතු යැයි පවසා “ජරා සූත්‍රය “ දේශනා කළ සේක .