Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 26: ගැමුණු කුමරු පැමිණෙන තුරු සියලු සේනාංක බලා සිටිනවා

දුටුගැමුණු මහ රජතුමා - 26:

ගැමුණු කුමරු පැමිණෙන තුරු සියලු සේනාංක බලා සිටිනවා

ඌරුපැලැස්සේ ගෙදර හිද්දලයා වූ ගැමුණු කුමාරයා ගම්මානයේ ගොවීන්ගේ ආදරයට පාත්‍ර විය. ඔහුගේ දක්ෂතා ගම්මානය පුරා පැතිර ගියේ ය. ඔහුගෙන් ඉගෙන ගත් චක්ගුඩු, මල්ලවපොර ක්‍රීඩාවල දක්ෂතා දැක්වූ පිරිස් හමුදා සේනාංකවලට බඳවා ගන්නා බවට දැනගත් තරුණයන් වඩාත් සතුටු විය.

හිද්දලයා ආදර්ශයට ගනිමින් තමන්ගේ හේන් කුඹුරු වගා කරන්නට විය. ඔහු නිසා තමන්ගේ කුඹුරු කරන්නට ද නො අඩුව වතුර ලැබෙන විට සැමගේ අවධානය ඔහු කෙරේ යොමු වන්නට විය. මේ නිසා ඔහුගේ කීර්තිය ගම පුරා පමණක් නොව ඈත ගම්වල පවා පැතිරිණි.

ගමරාළගේ සිතෙහි ද හිද්දලයා කෙරෙහි මහත් ප්‍රසාදයක් ඇති වී ඇත. ගම බිරිඳට හිද්දලයා තමන්ගේ ම පුතෙක් බඳු ය. හිද්දලයා තමන්ගේ නිවසින් බැහැරට ගියහොත් එය තම පවුලට විඳදරා ගැනීමට නොහැකි පාඩුවකි. එම නිසා ඔහු ගම ගෙදර රඳවා ගන්නට දෙන්න දෙමහල්ලෝ උපායක් කල්පනා කළහ. තම දියණියක් ඔහුට කරකාර බන්ඳලා දෙන්නට ඇත්නම් ඊට කදිම විසඳුමක් බව ඔවුහු තීරණය කළහ.

මේ පිළිබඳව විමසූ විට වැඩිමහල් දියණිය එක්වරම කැමති වේ යැයි සිතුවත් ඇගේ ආකල්ප හිද්දලයා කෙරෙහි එතරම් ප්‍රසාදයක් නැති බව ගම බිරිඳට අවබෝධ විය. එහෙත් බාල දියණිය මේ යෝජනාවට එක පයින්ම කැමැති විය. ගම බිරිඳගේ සිතෙහි සතුට උතුරයි.

“කෙල්ලො දෙන්නාගෙන් කවුරු හරි කමක් නැහැ. ඒ දරුවා අපේම කරගන්න වාසනාව තියෙන්නේ බාල දියණියටයි. මේක තවත් කල් දාන්න හොඳ නැහැ. ඉක්මණින්ම ගමට ම කියල ම¼ගුල කන්නට ඕනෑ.”

ගම මහගේ තුළ වූ උතුරා යන සතුට දුටු ගමරාල හිද්දලයා සමඟ කතාබස් කොට මංගල්‍යය කටයුතු සූදානම් කළේ ය. සුබ නැකතින් දෙදෙනාගේ සරණ බන්ධනය සිදු කෙරිණි. මංගල උත්සවය හිද්දලයාගේ ඉල්ලීම මත ගොයම් කපා අවසන් වනතුරු කල් තබන ලදී.

ඊළඟ පසළොස්වක පොහොය දිනට පසු දින වේළුසුමන බැලුම්ගලට පැමිණිය ද ගැමුණු කුමරු එහි නැත. වේළුසුමන වටපිට බැලීය. අසල තැනිතලා බිමේ සෙල්ලම් කරමින් සිටි ගොපලු දරුවන් පිරිසකි. වේළුසුමන ඔවුන් අසලට ගියේ ය.

ටික වේලාවක් යන විට ගැමුණු කුමාරයා එනු දුටු වේළුසුමන කන්ද නැංගේ ය.

“සුබ මංගල්‍යයක් වේවා කුමරුනි.” “වේළුසුමන, මේ තොරතුරු ඔබ දැනගත්තේ කෙසේද?” “ගොපලු දරුවන් මට සියලු විස්තර කීවා.”

“වේළුසුමන, මෙහි ගොවි සංවිධානයේ නායකයාගේ දියණිය මා සරණ පාවා ගත්තා. එමගින් මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදය මට දිනා ගන්න පුළුවන්.

මේ ගැන මවු බිසවටවත්, පිය රජුටවත් දැන්ම කියන්න එපා.”

“කුමරුනි, රජතුමාත්, බිසවත් මෙය හිතුවක්කාරකමක් ලෙස සිතාවි. හොඳ අවස්ථාවක් බලා පවසමු. එතෙක් රහසක් ලෙස තබා ගැනීම හොඳයි.”

“වේළුසුමන, මාගම රාජ්‍යයේ අලුත් තොරතුරු කෙසේ ද?”

“ගැමුණු කුමාරයා අද හෙටම එයි කියලා සියලු සේනාංක බලා සිටිනවා.”

හොඳයි වේළුසුමන, දැන් සැඟවී සිටියා ඇති. ගිරිනුවර පුහුණු කඳවුරට තවත් සෙබලුන් පන්දහසක් පමණ එකතු කළ වහාම මම එනවා. එවිට යුද්ධය ආරම්භ කරන්න පුළුවන්.”

“මෑණියන්ටත් ඒ බව පවසන්න.”

“අපි හොඳ අවස්ථාවක් බලලා මහවැලි ගඟෙන් එතෙර වන්නට ඕනෑ. අපි අනුරාධපුරයට ළඟා වෙන විට එහි සිටින සිංහලයන්ගෙන් බහුතරයක් අපට සහයෝගය දක්වන බව විශ්වාසයි.