Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැක ගත් නා හිමියන්ගේ කතාව - 39 කොටස: තිස් වසරක යුද්ධය අවසන් වෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැක ගත් නා හිමියන්ගේ කතාව - 39 කොටස:

තිස් වසරක යුද්ධය අවසන් වෙයි

ආරක්ෂක හමුදාව මානුෂීය මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කිරීම වැඩි කරන ලදී. නාගදීපයේ සිට පදුමකිත්ති හිමියන් කරෙයිනගර් ඇතුළු නාවික කඳවුරු හරහා ගමන් කළ අවස්ථා කිහිපයක දී ම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් විය.

ඒ බව දැනගත් ඇතැම් හිතවතුන් පදුමකිත්ති හිමියන්ට පැවසුවේ මුහුදු මඟින් ආගමික වැඩකටයුතුවලට වැඩම කිරීම අඩු කරන ලෙසයි. එහෙත් රට රැක ගැන්ම පිණිස දිවි පරදුවට තබා සටන් වදින හමුදාව වෙනුවෙන් උතුරේ වැඩ වාසය කරන එකම භික්ෂූන් වහන්සේ ලෙසින් තමන් විසින් ඒ කටයුතු කළ යුතුම බව අවබෝධ කරගත් පදුමකිත්ති හිමියෝ ආගමික කටයුතු නොපිරිහෙලා ම ඉටු කළහ.

ත්‍රස්ත ප්‍රහාර කිසිවකින් පදුමකිත්ති හිමියෝ පසුබට නොවූහ. ඇතැම් විට උගුර බැරැන්ඩි වී යනතුරු ගාථා කියූහ. සෙත් පැතූහ. එක් දිනකට ආගමික පින්කම් 7කට 8කට පවා වැඩම කරන්නට තිබුණි. ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් බේරෙන්නට මුහුදේ එහාට මෙහාට පද්දමින් යන නාවික යාත්‍රාවල නැඟී ගොස් පසු දින යහනින් නැඟිට ගන්නට නොහැකි තරමේ අමාරුවක් උන් වහන්සේට තිබුණි. එහෙත් එම අමාරුකම් නොසලකා පසු දින ද එලෙසින්ම ආගමික කටයුතුවලට සහභාගි වූ අවස්ථා තිබුණි.

මෙවන් දැඩි අපහසුකම් මැද නාගදීපයේ හුදකලා වූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ආගමික කටයුතු කරන්නටත් නාගදීපයේ සියලු ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලන්නටත් විහාරස්ථානයේ සියලු කටයුතු කරන්නටත් පදුමකිත්ති හිමියන්ට සිදු විය.

උදෑසන 5.00ටත් පෙර අවදි වී විහාරස්ථානයේ ඇමදීම් කටයුතු සිදු කර තමන් වහන්සේ පිරිසිදු වී උදෑසන බුද්ධ පූජාව තබා පසුව දානය වළඳා විහාරස්ථානයේ සෙසු කටයුතු සිදු කර ඇතැම් විට නාගදීපයේ වැසියන්ගේ අවශ්‍යතා සොයා බලන්නට ද පදුමකිත්ති හිමියන්ට සිදු විය.

නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසුව තමන් වහන්සේට පැවරී ඇති වගකීම මැනවින් තේරුම් ගත් පදුමකිත්ති හිමියෝ දූපතේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් හැම විටම පෙනී සිටියහ.

ත්‍රස්තවාදී තර්ජන වැඩිවීම නිසා රාත්‍රී කාලයේ සහ උදෑසන මුහුදු යාම තහනම් කිරීමට ආරක්ෂක අංශවලට සිදුවිය. එමනිසා නාගදීපයටත් එළුවතිවු, ඩෙල්ප්ට්, අනලතිවු ඇතුළු දූපත්වල ජනතාවට දැඩි පීඩනයක් එල්ල විය. එයින් වඩාත්ම බලපෑම ඇතිවූයේ නාගදීපයේ ධීවර කර්මාන්තයේ නිරතව සිටි ජනතාවට ය. හිරු පෑයීමෙන් පසුව මසුන් විසිර යන හෙයින් මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීමට ඔවුන්ට අසිරු විය.

දූපත්වල ජනතාවට වෙන කළ හැක්කක්ද නොවී ය. ආරක්ෂක අංශ විසින් එම නියෝගය කළේ ත්‍රස්තවාදීන් සිදු කරන ලද මුහුදු ප්‍රහාර හේතුවෙන් නිසා බව ඔවුහු දැන සිටියහ.

එහෙත් කුරිකට්ටුවාන් ජැටියට වඩාත් ආසන්නව සිටි නාගදීපයේ ධීවර ජනතාවට මත්ස්‍ය අස්වැන්න නොලැබෙන තත්ත්වයක් තිබුණි. ඔවුහු පැමිණ පදුමකිත්ති හිමියන්ගේ දෙපා නැමඳ තමන්ගේ රැකියාව කර ගැන්මට නොහැකිව ඇති බව දන්වා සිටියහ. දරු පවුල් නඩත්තු කළ නොහැකි බව ද ඔවුහු දැනුම් දුන්හ.

‘‘උඹලා කියන්නෙ හාමුදුරු කෙනෙකුට අවසර දෙන්න කියල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, බුද්ධාගමේ සතුන් මරණ එකට අනුබල දෙන්න බැහැ, ඒත් උඹලගේ ප්‍රශ්නෙ මට තේරෙනවා..මම ඒ ගැන කතා කරන්නම්‘‘ පදුමකිත්ති හිමියෝ ඒ වෙනුවෙන් පෙරමුණ ගත්හ.

පදුමකිත්ති හිමියෝ නාගදීපයේ නාවික හමුදාවේ අණ දෙන නිලධාරියා හමුවූහ. ජනතාවගේ තත්ත්වය පැහැදිලි කළහ. අණදෙන නිලධාරියා විසින් කරෙයිනගර් ප්‍රධානියා අමතා සිදුවීම පැහැදිලි කරන ලදී.


පදුමකිත්ති හිමියන් නාවික කඳවුරක ආගමික කටයුත්තකට වැඩම කළ අවස්ථාවක්

‘‘මේ මිනිස්සු කොටි නෙමෙයි, මම වග කියන්නම් ඒ ගැන, අඩුම ගානෙ එළිය වැටෙන්න පැය දෙකකට කලින්වත් අවසර දෙන්නකො, නැත්නම් උන්ගෙ දරු පවුල් බඩගින්නෙ, කරන්න දෙයක් නැතිම තැනයි ඔය ඇවිත් ඉන්නෙ, අන්තිමට ඒ මිනිස්සු නිකම්ම ත්‍රස්තවාදි වෙයි‘‘ පදුමකිත්ති හිමියෝ සියලු විස්තර පැහැදිලි කළහ.

අවසානයේ උදෑසන 4.00 සිට නාගදීපයේ ජනතාවට අවට මුහුදේ ධීවර කටයුතු සිදු කරන්නට නාවික හමුදාවේ අවසරය ලැබුණි.

එම අවසරය ලැබුණු බව දැනගත් ජනතාව පන්සලට එක් රොක් වී පදුමකිත්ති හිමියන්ගේ දෙපා නැමඳ වන්දනා කළහ. ඇතැම් අය මල්මාලා ගෙනවිත් පදුමකිත්ති හිමියන්ට දැමූහ. පදුමකිත්ති හිමියන් විසින් නාගදීපයේ ජනතාවට එසේ අලුයම මුහුදු යාමට අවසර ලබා දීම ගැන සෙසු දූපත්වල ජනතාව ඇනුම් පද කීහ. ‘‘උඹලට නම් මොකද ඕන දේකට හාමුදුරුවො ඉන්නවනෙ, අපි ගැන බලන්න අපේ එකෙක්වත් නැහැ‘‘

ත්‍රස්ත ප්‍රහාර වැඩිවත්ම දූපතේ වැසියන් විහාරයට පැමිණීම අඩු කර තිබුණි. එයට හේතුව නාවික කඳවුර ඒ අසලම පිහිටා තිබීමයි. පදුමකිත්ති හිමියන්ද ඒ ගැන සිතින් සතුටු වූයේ යම් අයකුට කරදරයක් වුවහොත් එය නුසුදුසු හෙයිනි.

ත්‍රස්ත ප්‍රහාර මැද වුවද ආගමික වතාවත් කරන්නට පදුමකිත්ති හිමියන්ට සිදු විය. නාවික හමුදා යාත්‍රාවන්ට එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරවලින් ගැලවෙන්නට ගොස් දිනක් යාත්‍රාව අඩ වශයෙන් ඇල වී යන්නට විය. එසේ ඇල වූ යාත්‍රාව විනාඩි 30ක් පමණ වෙහෙස වී නිසි පරිදි සකස් කර ගන්නට හැකි වූයේ ආරක්ෂාවට සිටි අනෙක් යාත්‍රාවේ පිහිටෙනි. ඒ ත්‍රස්තයන්ගේ ප්‍රහාර මධ්‍යයේ ය. මරණය අතින් ගෙන පාංශුකූලය ලබා දෙන්නට වඩිනා එකම භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ බව උන් වහන්සේට දැනුණි. පදුමකිත්ති හිමියන්ගේ කන අසලින් වෙඩි උණ්ඩ ගමන් කෙළේ වරක් දෙවරක් නොවේ.

එහෙත් ඒ කිසිවකින් පදුමකිත්ති හිමියන්ගේ කැපවීම අධිෂ්ඨානය වෙනස් කළ නොහැකි විය. උන් වහන්සේගේ එකම අධිෂ්ඨානය වූයේ දිවි දෙවෙනි කොට නාගදීපය රැක ගැන්ම පමණි.

කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඇතැම් විට සිවුරු අඳන පවා පිළිස්සී ගිය අතර, උන් වහන්සේ දැඩි අපහසුවෙන් ඒවා යළි සකස් කර ගත්හ. යුද්ධය දරුණු අතට හැරී තිබුණු අතර කිළිනොච්චිය හා මුලතිව් දෙසට වන්නට ආරක්ෂක හමුදා හා ත්‍රස්තවාදීන් සටන් කරන අවස්ථාව වන විට කුරිකට්ටුවාන් ජැටියේ සිට කළ කොටි ප්‍රහාර නැවතී තිබුණි.

කොටි ත්‍රස්තවාදීන් කිළිනොච්චියෙන් පසුබැස මුලතිව් දෙසට පලාගොස් ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කිරීමට පෙර පදුමකිත්ති හිමියන්ට ආරංචි විය. සති කිහිපයක්ම වෙඩි හඬ නෑසී ගියේ ය. රාත්‍රිය මීයට පිම්බාක් මෙන් විය.

එහෙත් කිළිනොච්චියෙන් නැඟෙනහිරට වන්නට ඇති ධර්මපුරම්, පුදුකුඩිඉරිප්පු, මුලතිව්, ආලම්පිල් වැනි ප්‍රදේශවල දරුණු සටන් පවතින බවත් කොටි ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුව ඇති බවත් උන්වහන්සේට ආරංචි විය.

නිරතුරුවම කෆීර් යානා මෙන්ම උතුරු මුහුදේ නාවික මුර යාත්‍රා ගමන් කිරීමත් ත්‍රස්තවාදීන් මුලතිව් වඩ්ඩුවාකල් පාලමෙන් ඔබ්බෙන් වෙල්ලමුල්ලි වයික්කාල්හි කොටු වී ඇති බව ද වාර්තා විය. සෙසු ප්‍රදේශවල ආරක්ෂක හමුදා බලය තහවුරු කරගෙන ඇති බව උන් වහන්සේට දැනගන්නට ලැබුණේ රූපවාහිනියෙනි. නිරතුරුවම රූපවාහිනිය දෙස නෙත් යොමු කර සිටි පදුමකිත්ති හිමියන්ට වැටහුණේ මෙවර කොටි ත්‍රස්තවාදීන්ගේ අවසානය සිදුවන බවයි.

එය සැබෑවක් කරමින් 2009 වසරේ මැයි 19 වැනිදා වසර 30ක් පැවැති කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා සහිත යුද්ධය අවසන් විය.

තමන් වහන්සේ වසර 30ක් නාගදීපය දිවි දෙවැනි කොට රැකගත් බවත් යළිත් නාගදීපයට හිරු උදාවන බවත්, තමන් වහන්සේට එය රැක දීමට හැකිවීම ගැනත් උන් වහන්සේ උදම් ඇනූහ. උන් වහන්සේ දිව ගොස් ධම්මකිත්ති නා හිමියන්ගේ පින්තූරයට පහනක් තැබුවේ නාගදීපය මේ දක්වා රැක ගෙන ඉන්නට තමන්ට සවි ශක්තියක් වූයේ නා හිමියන් නිසා ය.