Print this Article


විවිධ හැඩයෙන් එන මිථ්‍යා දෘෂ්ටිය

විවිධ හැඩයෙන් එන මිථ්‍යා දෘෂ්ටිය

අපේ තාත්තා අපට වගකිව්ව ද දෙවියන් එසේ වග කියන්නේ නැත. බුද්ධිය මද ඇතැමුන්ට තවමත් ඒ යතාර්ථය අවබෝධ නොවීම කනගාටුවට කරුණකි. ඒ සඳහා විවිධ හේතු බලපානු ලැබුව ද ප්‍රධාන හේතුව මෝඩකමයි. ඔහු ගායකයෙක්, නළුවෙක්, නිළියක්, මහාචාර්යවරයෙක් විය හැකි මුත් ප්‍රඥාව අවබෝධය ඔහු තුළ අඩු මට්ටමක පැවතීම ඊට හේතුවයි. එසේම වැරදි ආශ්‍රය ඒ සඳහා ප්‍රබලව බලපෑම් කෙරේ.

වැරදි දැකීම, වැරදි කල්පනාව, යතාර්ථයෙන් ඉවත් වූ හැඟීම්, ආකල්ප මිථ්‍යාදෘෂ්ටියයි. ලෝකය ඉදිරියට යාම වළක්වන ප්‍රධාන බාධකය වැරදි අවබෝධයයි.

විශේෂයෙන් වර්තමාන තරුණ පිරිස මේ පිළිබඳ තේරුම් ගැනීම ඉතා අවශ්‍ය ය. එසේ නොමැති වුවහොත් අන්ධයා අලියාගේ ස්වරූපය පැහැදිලි කළා සේ අඳුරේ අතපත ගෑමට සිදුවේ. වර්තමානයේ ඇතැම් දැන උගත් අය පවා වැරදි දෘෂ්ටිවල එල්ලී දෙලොව අපාගත කරගන්නා අවස්ථා දුලබ නොවේ. බුදුරදුන් භාරතයේ පහළ වන කාල සීමාව තුළ හැට දෙකක් මිථ්‍යාදෘෂ්ටි පැවතුණ බව බ්‍රහ්මජාල සූත්‍රයේ දී පැහැදිලි කළහ. වර්තමානයේ ද බොහෝ මිථ්‍යා දෘෂ්ටි ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් පවතී.

මිථ්‍යා දෘෂ්ටියේ ස්වභාවය

මිථ්‍යා දෘෂ්ටියේ ස්වභාවය වන්නේ, තමාගේ දෘෂ්ටිය අනෙකාට රසවත් කොට කියා මෝඩ අය එයට නතුකර ගැනීමයි.

ඉදිරිපත් කිරීමේ ආකර්ශනීය බව මත අවිඤ්ඤාණික ඇතමුන් එහි ගොදුරක් වී ලද මිනිස් දිවියට පවා අගෞරව කරගනී. ලෝකයේ සෑම කාරණාවක් සම්බන්ධයෙන් මිථ්‍යාවක් වෙනම පවති. උදාහරණයක් ලෙස ගතහොත් ලෝකය ඇතිවිම සහ පුද්ගලයා ඇතිවීම ගත හැකි ය. අතීතයේ දී නිර්මාණවාදීන් ප්‍රකාශ කළේ මේ සියල්ල මව්පියන්ගේ නිර්මාණ බවයි. එහෙත් වර්තමානය වෙද්දී එහි යතාර්ථය පසක්වෙමින් පවතී. අප වෙන කෙනෙකුගේ නිර්මාණයක් නම් ඔවුන් අපට වගකිව යුතු ය. එහෙත් එවැන්නක් සිදු නොවේ.

අපට වග කියන්නේ කවුද?

අපේ තාත්තා අපට වගකිව්ව ද දෙවියන් එසේ වගකියන්නේ නැත. බුද්ධිය මද ඇතමුන්ට තවමත් ඒ යතාර්ථය අවබෝධ නොවීම කනගාටුවට කරුණකි. ඒ සඳහා විවිධ හේතු බලපානු ලැබුව ද ප්‍රධාන හේතුව මෝඩකමයි. ඔහු ගායකයෙක්, නළුවෙක්, නිළියක්, මහාචාර්ය වරයෙක් විය හැකි මුත් ප්‍රඥාව අවබෝධය ඔහු තුළ අඩු මට්ටමක පැවතීම ඊට හේතුවයි. එසේම වැරදි ආශ්‍රය ඒ සඳහා ප්‍රබලව බලපෑම් කෙරේ.

මිල මුදල් ලැබීමේ වුවමනාව මත ඇතමුන් දැන දැනම අනෙකා එවැනි තැනකට තල්ලු කිරීමට පෙළඹේ.මෙයින් පරිස්සම්වීම ඉතාම අවශ්‍ය ය.

බුදු දහම තුළ මිත්‍යා දෘෂ්ටි දහයක් දසවස්තුක මිථ්‍යා දෘෂ්ටිය ලෙස දැක්වේ. මේ ඉගැන්වීම් අඩුවැඩි වශයෙන් සමාජයේ එකිනෙකා තුළ පවතී. එවන් එක් දෘෂ්ටියක් හෝ පැවතීම තුළ ප්‍රඥාව ලද නොහැකි ය. දන් දීමෙහි විපාක, පෙර පසු ජීවිත පිළිබඳ, ඕපපාතික සත්වයන් හෝ සිත දියුණු කළ පිරිස් ඇතැයි විශ්වාස නොකිරීම, දෙලොව යහපත සලසා ගැනීම උදෙසා බාධාවක් ය.

එවන් සිතුවිලි තුළ ජීවත් වන මිනිසුන් කෙසේ හෝ ජීවත්වීමට වෙර දරයි. එවන් පිරිස් නිසා සමාජයට මහත් අලාභ සිදුවේ. මෙසේ විභව තෘෂ්ණාව සකසා ගැනීම දෙලොව අපාගතවන ක්‍රියාවන් සිදුකිරීමට ප්‍රබලව බලපෑම් සිදුකරයි.

සුබ, අසුබ, හොඳ නරක තමන්ගේ ක්‍රියාකාරකම් මත තීන්දු වේ. එය තමාට වඩා ගව් ගණනක් ඈතින් සිටින නැකත් තරුවලට බාරදිය යුතු නොවේ. ග්‍රහ වස්තුවල යම් බලපෑමක් ඇතිමුත් එය විද්‍යාවක් කොට බඩවියත රැක ගන්න උත්සාහ කරන ඇතමුන් කියන ආකාරයේ තදබල විපාක ලබා නොදේ. දහම නිරන්තරව දේශනා කළේ ‘අත්තෝ අත්ථස්ස නක්ඛත්ථං කිං කරස්සන්ති’ යමක් කරන හොඳම වෙලාව නැකතයි. එවන් අවස්ථාවක තාරකාවන් මොනව කරන්නද? යනුවෙනි.

ඇස් ඇති අන්ධයෝ

ඇතැම් නැකත්කරුවන් මිනිසාගේ ශක්තිය හෑල්ලුවට ලක්කිරීම කනගාටුදායක ය. එසේ වුව ද නුවණ මද මිනිසුත් තවම ඔවුන් පසු පස ගමන් කරයි. ගිහි හෝ පැවිදි දෙපක්ෂයම බුදුන් සරණ යන්නේ නම්, ඇස් නොපෙනෙන ඇතැම් නැකත්කරුවන්ට දෙඇස පෙනෙන අප අන්ධ කළ නොහැක.

වීදාගම හිමියන්ගේ බුදුගුණාලංකාරය නැමති කෘතිය නිවැරදිව කියවන්නේ නම්, මේ යතාර්ථය අපට තේරුම්ගත හැකි ය. විද්‍යාවෙන් විසඳිය යුතු දේ මිථ්‍යාවට බාරදීම යෝග්‍ය නොවේ. පාරම්පරික ඥානය, අත් බෙහෙත්, විවිධ කෙම් ක්‍රම, සංස්කෘතික ක්‍රියාකාරකම් බැහැර කළ නොහැක. එහි ප්‍රශ්නවලට විසඳුම් තිබිය හැකි ය. එහෙත් මිථ්‍යාව තුළ පැවැත්මක් ඇත්තේ නැත. විද්‍යාවෙන් උත්තර නැති හැම දෙයක් තුළම මිනිසා මිථ්‍යා දෘෂ්ටියට තල්ලු වේ.

විද්‍යාත්මක සොයා ගැනීම්, සිදුවීම්වලට වඩා කේන්දරයට, දකින නිමිතිවලට ප්‍රමුඛස්ථානය දීම මිථ්‍යාවේ ස්වභාවයයි. හූනාගේ හැඬීම, බල්ලා කම්පට සැලීම උදෑසන හමුවන අය මේ අතර ඉතා වැදගත් කොට සලකයි. ඒ මත තමාගේ සාර්ථකත්වය, අසාර්ථකත්වය මැනීම සිදුවේ. එය අගය කළ යුත්තක් නොවේ.

ඇතැම්විට මුළු ජීවිතයම රාහු කාලයට වෙන් කළහොත් සැලකිය යුතු කාලයක් අපතේ හෙළිය යුතු ය. අරමුණ පැහැදිලි නම්, ආත්ම විශ්වාසය ඇත්නම්, දෙලොව වැඩ දායක ක්‍රියාවක් නම් ගව් ගණනක් ඈතින් සිටින ග්‍රහයකුට තමාගේ ඉරණම බාරදීම අඥාන තත්ත්වයකි. ඇතැම් විට විවිධ අනාවැකි නිසා නිවෙස්වල සාමකාමී පරිසරයට පවා හානි සිදුවේ.

ඇතැමුන්ට මංගල යෝජනා සාර්ථක නොවන්නේ අපල නිසා බැව් පවසන ඇතැම් නැකත් කරුවන් කාලයක් වතුර බිව් ළිඳ මෙයට හේතුව යැයි පවසා ළිඳ වසා තබන්න යෝජනා කරන අවසස්ථා ඇත. එසේම නිවසේ දෝෂයක් මේ සඳහා හේතුවෙතැයි පවසමින් උළුවහු දොරවල් පවා වෙනස් කිරීමට ක්‍රියා කරනු ලබයි. එය ඉතාම අමනෝඥ ක්‍රියාවකි. ඇතමුන් ශරීරයට මහත් දුක ලබා දෙමින් මිනිසකුට ඉසිලිය නොහැකි දුක් කන්දරාවක් උසුලනු දැකිය හැකි ය.

නොමඟ යන හැටි

ඇතමුන් දේව හාස්කම් මත ලෙඩ්ඩු සුව කිරීම, දුරකතන චාජ් කිරීම වැනි දේ කරදෙනු ලබන බවට නොමඟට යවන අවස්ථා බොහෝ සෙයින් අප රටවල දක්නට ලැබේ. දියුණු රටවල පවා ජීවිත දස දහස් ගණන් අහිමි වෙද්දී කළ නොහැකි වූ දෙයක් සිදුකර දිය හැකියැයි මුලාවට පත් කරයි.

ඇතමුන් ස්වභාවික ක්‍රියාකාරකම් අදෘශ්‍යමාන ශක්තියකින් සිදුවන්නක් බව තරයේ විශ්වාස කරනු ලබයි. ඊට කදිම නිදසුනක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවේ. උතුරු ඉන්දියාවට වැස්ස ලැබෙන විට දකුණු ඉන්දියාව තුළ ජල ගැලීම් ඇතිවේ. මෙය නිවැරැදිව හඳුනා නොගන්නා ඇතැම් ඉන්දියානුවන් සිතනුයේ වැස්ස නැති කාලයක මෙසේ ජල ගැලීම් ඇතිවන්නේ හාස්කමකට බවයි. ඉන්දියාවේම ඇතැම් ආගමික නායකයන් කටින් රන් බිත්තර ගැනීම වැනි දෑ මිථ්‍යාව මත දැඩිව විශ්වාස කිරීමට පෙළඹේ.

ලංකාව තුළද ඇතැම්විට මෙවැනි ආකාරයේ මිථ්‍යාවන් වරින් වර පැමිණේ. සුනාමිය පැමිණි කාලයේ එක් මහාචාර්යවරයකු පැවසුවේ රාවණා නිදා සිටියේ වම් ඇලේට එයා දකුණු ඇලේට හැරුණු නිසා මෙසේ මුහුද ගොඩගැලූ බවයි.

මිථ්‍යාව විවිධ ස්වරූපයෙන් පැමිණිය හැකි ය. එයින් ගැලවී සිටීමට නම් අප ප්‍රබුද්ධ විය යුතු ය.