Print this Article


බිය උපදවන කර්ම විපාක

බිය උපදවන කර්ම විපාක

" මව්පියන්ට නොසලකන, බොරුව, වංචාව මත දිවි ගෙවන බොහෝ දෙනාට මෙවැනි සිදුවීම් ඉතා වැදගත් වන අතර ඒවායින් පෙන්වා දෙනු ලබන්නේ අන් කවරක් හෝ නොව කර්මයෙහි ස්වභාවයයි."

පුද්ගලයාගේ සසර කෙබඳු වේද යන්න තීරණය වන්නේ ඔහු විසින් සිදු කරන හොඳ, නරක අනුව ය. යහපත් කර්ම රැස් කිරීම සැප සඳහා ද, අයහපත් කර්ම රැස් කිරීම දුක සඳහා ද බෙහෙවින් හේතු වන බව ධර්මය තුළින් තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ විසින් මනාව වදාළ හ. පේත වත්ථුපාලිය පුරාවටම අපහට පෙන්වා දෙනු ලබන්නේ එකී කාරණා ය. “කුස” පේත වත්ථුව ද චූල වග්ගයට අයත් ඉතා අගනා ආදර්ශමත් කතා පුවතක් බව මතකයට ගැනීම අතිශය වැදගත් වනු ඇත.

ඉතා දැඩි දුක් ගැහැට විඳින පේ‍්‍රත ලොව සත්වයින් අතුරින් දිනක් ස්වාමීන් වහන්සේ නමක් මෙබඳු දසුනක් දුටුවහ. එකෙක් (ගිනිගත්) හැල් වී බොල් හිස මත විසුරුවා ගනී. අනෙකෙක් මුගුරකින් සිය හිස බිඳ ගනී. ස්ත්‍රියක් සිය මස් ලේ අනුභව කරන අතරම අපිරිසිදුවු පිළිකුල් වූ, අසූචි අනුභව කරන්නී ය. මොවුන්ගේ ක්‍රියා කලාපයන් දුටු ස්වාමීන් වහන්සේ ඔවුන් පෙර කරන ලද කර්ම විපාක පිළිබඳ විමසනු ලබයි.

එහිදී පළමුව සඳහන් කරන පේ‍්‍රතයා පෙර ආත්මභාවයන්හි තම මවට හිංසාකිරීම නිසාත්, දෙවැන්නා හොර වෙළෙන්දෙක් වූ නිසාත් මෙම පේ‍්‍රතිය මස් කා එය මුසාවාදයෙන් වංචා කිරීම නිසාත් මෙලෙස කටුක විපාක විඳින අයුරු මනාව පවසයි.

පේ‍්‍රතිය තව දුරටත් මෙසේ විස්තර කළාය. සියලු කුලයන්ට අධිපති ගෘහණියක් වූ තමාගෙන් යම් දෙයක් කිසිවෙක් ඉල්ලූ විට එය ඇති කල්හිත් කිසිවක් නොදුන්නා ය.

මෙලෙස අධික ලෝභී දිවියක් ගත කළ මෙම කාන්තාව මුසා බස් කීම නිතර සිදුකරන අතර, යමකුට යම් දෙයක් නොදී, එය තමා තුළ තිබේ නම් හෝ සැඟවූයේ නම් මාගේ ආහාර අසූචි වේවා’යි දැන දැනම බොරුකීම තුළින් බොහෝ අයහපත් කර්ම රැස් කළා ය.

මෙම පේ‍්‍රතිය පෙර ආත්ම භාවයෙහි සිදු කළ කර්ම විපාක ඇය විසින්ම පාපොච්ඡාරණය සිදු කරන්නේ මෙසේ ය. “ස්වාමීණි, කර්මයෝ වනාහි විපාක දෙත්මය. සහේතුකව රැස් කළ කර්ම විපාක නොදී නොවැනසේ. දුගඳ වූ පණුවන් හටගත් අසූචි මම අනුභව කරමි. එසේම ඒවා පානය කරමි.”

මෙලෙස මිනිසත් බව ලබා සිදු කළ ක්‍රියාවන්හි අයහපත් ප්‍රතිඵල ප්‍රේතව ඉපිද විඳින අයුරු මැනවින් විග්‍රහ කර පෙන්වා දෙනු ලබයි. තමා සතු දෙයක් නොදීම හා මුසාවාදයෙන් රැවටීම නිසා සසර ලැබෙන විපාක පේ‍්‍රතිය විසින් සිදුකරන පාපොච්ඡාරණය අතිශය බිය උපදවන සුළු වූවකි. මව්පියන්ට නොසලකන, බොරුව, වංචාව මත දිවි ගෙවන බොහෝ දෙනාට මෙවැනි සිදුවීම් ඉතා වැදගත් වන අතර ඒවායින් පෙන්වා දෙනු ලබන්නේ අන් කවරක් නොව කර්මයෙහි ස්වභාවයයි.

කර්මය යනු ක්‍රියාවයි. මනස මුල්වී යහපත් ක්‍රියාවන් සිදු කිරීම තුළින් සසර සැප මෙන්ම අයහපත් ක්‍රියා තුළින් ඉහත පරිදි බොහෝ දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවන බව මෙවැනි කතා පුවත් තුළින් අනාවරණය වන අතරම, එය දිනෙන් දින පරිහානිය කරා ගමන් කරන නූතන සමාජයට බෙහෙවින් ආදර්ශ සම්පන්න වූවක් බව මතකයෙහි තබා ගත යුතු ය.