Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

අනඳමෙත් මාහිමියන් කර වූ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන

මෙම ලිපියේ මුල් කොටස පසළොස්වක පෝදා (26) පත්‍රයේ පළවිය.

එතුමාගේ නැණ ගුණ දෙක්හි පිරිපුන් බව සංකේතවත් වෙමින් කොළොම්පුර ආනන්ද මහා විද්‍යාලයේ සුවිශේෂ ආචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළේය. කලින් සරණගවේසි යනුවෙන් හැඳීන්වූ එතුමා මේ වන විට ආනන්ද මෛත්‍රෙය නමින් ප්‍රකට වූහ.

දාමහණ ශ්‍රී ධම්මානන්ද, දෙණිහේනේ ශ්‍රී සීලානන්ද, යටිපස්ගමුවේ ශ්‍රී සුවිනීත ආදී යතිවරුන්ගේ ආශිර්වාදය ලබමින් එතෙක් පැමිණි ගමන් මඟ වඩාත් සාරවත් අයුරින් හෙළි පෙහෙළි කළහ.

එම අවධියෙහි අප නා හිමියෝ ද ජාතික අනන්‍යතාවයට, නිදහස් සටනට සහ බොදු සබැඳියාවට ද පණ පොවමින් උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාම හා තදාසන්න විහාරයන්හි ආගමික, ශාසනික හා සංස්කෘතික සබඳතා පවත්වා ගනිමින් සිටියහ.

1930 හි වෙසක් මස දිනෙක බලන්ගොඩ තුඹගොඩ සංඝික මහා සුධර්මාරාමයෙහි පැවැති සාකච්ඡාවෙකි. යළි එම මස 21 වන දින විහාරස්ථානයට පැමිණි බාන්ස් රත්වත්තේ මහදිසාව හා සුධර්මාධාශ්වර කොටාමුල්ලේ ශ්‍රී මේධංකර මහානායක ස්වාමින්ද්‍ර ප්‍රමුඛ ගිහි පැවිදි දෙ පිරිසක් අතර තවත් හමුවකි. කාලීන අවශ්‍යතාවයක් වූ ගිහි පැවිදි අධ්‍යාපනය ප්‍රතිෂ්ඨාපනය සඳහා නො පමාව බලන්ගොඩ පුරවරයෙහි පිරුවනක් බිහි කිරීමේ අගය ආනන්ද මෛත්‍රෙය යතිඳුන් වෙත යොමු කොට සිටියහ. එය අත්‍යවශ්‍ය ම දෙයක් වූ බැවින් අප නා හිමිපාණෝ ද එම අදහසට කුළුණු සිතින් අනුමැතිය පළ කළහ. ආරම්භයක් වශයෙන් සාංඝික සුධර්මාරාම විහාරස්ථානයෙහි පිරිවෙණ ආරම්භ කිරීමට තීරණය කෙරිණි. එක්දහස් නවසිය තිහේ ජූලි මස තුන්වන දින පෙරවරුවේ උදා වූ සුභ මොහොතින් ගිහි පැවිදි සිසුන් කිහිප දෙනෙකුට අත්පොත් තැබිණි. සම්භාවනීය ගිහි පැවිදි දෙපිරිසකගේ සහභාගිත්වයෙන් එම මස පස්වැනි දින පිරිවෙන විධිමත් අයුරින් ආරම්භ කෙරිණි. අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක පදවියක් දැරූ රාස්සගල ශ්‍රී සුදර්ශන රන්කොත් විහාරාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය බෝධිමළුවේ ශ්‍රී විමලජෝති මහා නා හිමිපාණෝ ද, මහවලතැන්නේ ශ්‍රී චන්ද්‍රශේඛර මුදලින්දාරාමාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය දාමහණ ශ්‍රී ධම්මානන්ද මහා නා හිමිපාණෝ ද මෙම සත්කාර්යය සඳහා මහත් බලාපොරොත්තු තබා සිටි දෙපළකි. ශ්‍රී ධර්මානන්ද මා හිමිපාණන් වහන්සේ ගේ නාමය සංකේතවත් කරමින් සංඝික මහා සුධර්මාරාමයේ පැවති ශ්‍රී ධර්මානන්ද පිරිවෙන පුළුල් මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව මේ වන විට තත්කාර්යයෙහි නියැළි සියල්ලෝ ම අවබෝධ කොට ගත්හ.

මෙම ලිපියේ ඉතිරි කොටස ඉදිරි බුදුසරණ කලාපයේ පළවේ.