Print this Article


බුදුසරණට පිටුපාන්නා අවාසනාවන්තයෙකි

බුදුසරණට පිටුපාන්නා අවාසනාවන්තයෙකි

සසර සැරිසරන සත්වයකු මිනිසත් බව ලබන්නේ අතිශයින් විරල වශයෙනි. මිනිසත් බව ලැබූ අයකුට බුද්ධෝත්පාද කාලයක් හමුවන්නේ ද ඊටත් වඩා කලාතුරකිනි.

බුදු උපතක් පවතින යුගයක උපන් මිනිසකුට බුදු බණ පදයක් අසන්නට ලැබෙන්නේ ද ඉතා දුර්ලභ වශයෙනි. ඇසූ බණ පදය ජීවිතයට ගළපා ගනිමින් බුදු සරණේ ශාන්තිය ලබන්නේ පෙර කළ පින් ඇති වාසනාවන්තයන් ස්වල්ප දෙනෙක් පමණි.

සසර ගමන තුළ මිනිසත් බව, බුදු උපත, සද්ධර්ම ශ්‍රවණය අතිශයින් දුර්ලභ වුව ද දේවවාද, මැවුම්වාද ආදී මිථ්‍යා දෘෂ්ටීන්ට හසුවීම අතිශයින් සුලභව සිදුවේ. මෝහයෙන් මුලා වූ මිනිසුන් පමණක් නොව, ඇතැම් දෙව් බඹුන් පවා මිථ්‍යා දෘෂ්ටීන්ට හසුවී මෙලොව පරලොව සැනසීම අහිමි කරගත් අවස්ථා ගණනාවක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාරා ඇත.

යම් පුද්ගලයෙක් රජෙක් සිටු මැතියෙක් වූ පමණින් හෝ ගායකයෙක්, වාදකයෙක්, නර්තකයෙක් වූ පමණින් හෝ ප්‍රඥාවන්තයෙකු නොවේ. පින් පව් හඳුනා ගැනීමේ හැකියාව, මෙලොව, පරලොව, සුගතිය, දුගතිය, කර්මය ඵලය අවබෝධ කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයා පමණක් ප්‍රඥාවන්තයෙක් වේ. ප්‍රඥාවන්තයා රජෙක් වුව ද, යාචකයෙක් වුව ද ජීවිතය හේතුවෙන් හෝ මිථ්‍යා දෘෂ්ටියකට හසු නොවේ.

ප්‍රඥාවන්තයාට මිහිමත ඇති එකම සරණ බුදුරජාණන් වහන්සේ පමණි. එකම සැනසීම ධර්ම රත්නය පමණි. එකම පැතුම සංඝ රත්නය පමණි. ප්‍රඥාවන්තයාට තෙරුවන් සරණින් තොරව මොහොතක් හෝ ජීවත් විය නොහැක. ඔහු මියැදුණ ද ජීවමාන ය. මිථ්‍යා දෘෂ්ටිකයන් ජීවත් වුව ද මළකඳන් බඳු ය.

අප ජීවත් වන මේ කාලය එබඳු මළ කඳන්වලින් ගැවසීගත් යුගයකි. කල්පනාකාරී නොවුණහොත් එකී මළවුන්ගේ ශාපයට ඔබ ද නතුවිය හැකි ය. බුදු සිරිපා සෙවනට මොහොතින් මොහොත ළංවීමෙන් පමණක් එම ශාපයෙන් ඔබ ආරක්ෂා වනු ඇත. ඒ සඳහා ඔබට ඇති එකම ආරක්ෂක කඳවුර තිසරණය පමණි. එම ආරක්ෂක කඳවුරට ඇතුළු වූ ඔබට පවිටු කුදිටු මිසදිටු අඳෙීනා නො ඇසෙනු ඇත. කරුණාවේ, මෛත්‍රියේ, විරාගයේ විමුක්තියේ අමා ගීතය හදමඬල සනසාලමින් ඇසෙනු ඇත. එවිට ඔබේ නෙතු අග ඒ ශාන්ත බුදු රුව මැවී පෙනෙනු ඇත. ඔබ නෙතු අග තුටු කඳුලින් තෙත් වී ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන වදන්වැල ඔබ තොලගින් ඔබට ම නො දැනී මිමිණෙනු ඇත. එවිට නුඹ විසින් ‘මා ලැබූ සම්බුදු සරණ සියලු සත්ත්වයන්ට ම ලැබේවා’ යි නිසඟයෙන් ම ප්‍රාර්ථනා කරනු ඇත.

වාසනාවන්ත ඔබ ලැබූ ඒ සම්බුදු සරණ අහිමි වන්නට නො දී නිවන් දකිනා ජාති දක්වාම රැක ගැනීම පිණිස හේතුවන කරුණු පහක් බුදුසිරි මුවමඬලින් වදාරා ඇත. ඉන් පළමු කරුණ ශ්‍රද්ධාව යි. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ඤාණයෙන්, දශබල ඤාණයෙන්, චතුවිසාරද ඤාණයෙන් හා සියල්ල දක්නා නුවණින් යුක්ත බවත්, හැම පව්මළ දුරුකළ බවත් සියලු දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන බවත් අදහාගන්නා ස්වභාවය ශ්‍රද්ධාව යි. එය අමිල සම්පතකි. ධනය, නිලය, බලය, රූපය, කටහඬ, ප්‍රසිද්ධිය ආදී කවර සම්පත්තියක් ලැබුවත් ශ්‍රද්ධා සම්පත්තිය අහිමි පුද්ගලයා සර්වාකාරයෙන් ම අසරණයෙකි. ඔහුට පිහිටවන මැවුම්කරුවක් හෝ ඊශ්වරයෙක් නැත. මනෝවිකාර නම් මිසදිටු යදමින් බඳින ලද ඔහුට හිමිවන එකම පාරාදීසය දුගතිය හෙවත් අපාය යි. අපා ගිනිදැල් මැද දැවෙන ඔහුගේ මරලතෝනියට සවන් දී ඔහු මුදවා ගත හැකි කිසිදු සර්වබලධාරියෙක් නැති බව ඔහුට ම වැටහෙනු ඇත. එහෙත් ඔහුගේ මනෝබන්ධනය සිදුකර ඇත්තේ නියත මිසදිටුව නම් වූ යදමින් නම් යළි මිනිස් ලොවක එළිය දැකීමේ වාසනාව ඔහුට හිමි නො වනු ඇත.

අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ලැබූ වාසනාවන්තයාට කිසි ලෙසකින් එබඳු අභාග්‍යයක් හිමි නොවේ. පවට ලජ්ජාවීම නම් දෙවන කරුණින් යුක්ත වන ඔහු ජීවිතය පිනෙන් පුරවාගත් සත්පුරුෂයෙකි. දිවා රෑ බුදුගුණ මෙනෙහි කරමින් පාපයෙන් වෙන්වන ඔහු අකුසල විපාකයට බියවීම නම්, තෙවන කරුණින් යුක්ත වන නිසා සිහිනයෙන් පවා පාපයක් සිදු නොවන තරමින් සීල චිත්ත පාරිශුද්ධිය පවත්වා ගනී. දහවලක හෝ රාත්‍රියක හෝ අපේක්ෂිත හෝ අනපේක්ෂිත මොහොතක තමා වෙත පැමිණෙන මරණය ඉදිරියේ තැති නො ගන්නා ඔහු බුදුගුණ සිහිකරමින් නෙතුයුග වසා ගන්නේ දෙවියන් අතර ඉපදෙන පුණ්‍යවන්තයකු ලෙසිනි.

මෝහනීය වූ පාපය දුරුකිරීම පිණිස අරඹන ලද වීර්යය ඇතිව කටයුතු කිරීම බුදුසරණ ලැබූ ශ්‍රාවකයා සතු සතරවන වාසනාවන්ත කාරණයයි.

වීර්යයක් උනන්දුවක් නොමැති කිසිවෙකුටත් මිසදිටු පාපයේ ශාපයෙන් අතමිදිය නො හැක. සිතට නැඟෙන ලාමක මිසදිටු මනස්ගාතයන්ට මුලා වන්නේ පාපී හැඟීම් පාලනය කිරීම පිණිස වීර්යයක් නැති අසරණයෝ ය.

බුත්සරණ ලැබූ පුද්ගලයනට දම්සරණ හා සඟසරණ නිසඟයෙන් ම හිමිවන බැවින් යම් පාපී සිතිවිල්ලක් හට ගත්තේ නමුදු ධර්මයේ පිහිටෙන් සඟරුවනගේ ආශිර්වාදයෙන් එය ප්‍රහාණය කරගෙන සිත පිරිසුදුව තබා ගැනීමේ භාග්‍ය හිමි වේ. එබැවින් ඔබ උනන්දුවෙන් වුවමනාවෙන් හා ගෞරවයෙන් යුතුව සඟරුවනගේ ඇසුර පවත්වාගත යුතු ය. හැකි සෑම අවස්ථාවකම පන්සලට ආරණ්‍යයට ගොස් ස්වාමීන් වහන්සේලා බැහැදකිමින් දහම් කරුණු විමසා මිසදිටු අදහස් දුරුකරමින් සම්මා දිට්ඨිය දියුණු කළ යුතු ය.

ඔබ ලද තිසරණය දායාදය රැකගැනීමට හේතුවන පස්වන කාරණය ප්‍රඥාව යි. ප්‍රඥාය යනු චතුරාර්ය සත්‍යය අසමින් මෙනෙහි කරමින් පහළ කරගනු ලබන ඤාණාලෝකය යි. උගත්කම් හේතුවෙන් හෝ ප්‍රසිද්ධිය නිසා ධනය බලය නිසා හෝ ප්‍රඥාව හිමි නොවේ. ප්‍රඥාව අහිමි පුද්ගලයා රුවල් බිඳී ගිය නෞකාවක් සේ සුළි කුණාටු සදිසි මිසදිටුවෙන් වැනසී යයි.

ශ්‍රද්ධාව, පවට ලජ්ජාව, පවට බිය, කුසල වීර්යය හා ප්‍රඥාව යන මේ කරුණු පස ඔබේ පින් සිත රක්නා යෝධයන් වැනි ය. එබඳු යෝධයන් ඇති තිසරණය නම් වූ ආරක්ෂක කඳවුර තුළ රැඳී සිටිනතාක් ඔබ සුරක්ෂිත ය. යම් මොහොතක එකී කඳවුරෙන් එක් පියවරක් හෝ බැහැරට තබයි නම් කැනහිල් රැලකට හසු වූ හා පැටවෙකු සේ ඔබ අනාරක්ෂිත වේ. ගුණවෘද්ධ භාවයත් තපෝවෘද්ධ භාවයත්, නොමැති ව කෙස්, ලොම් ඉදී සම රැළි වැටී වයෝවෘද්ධ වූවන්ගෙන් ද ඔබ ප්‍රවේශම් විය යුතු ය. ඔවුන්ට ශරීර ගායක් නොමැති වුවද මනස්ගායෙහි අඩුවක් නොවේ.

එබැවින් ඔවුහු ආදර්ශයට ගතයුත්තෝ නොවෙති. පඬරලාවක් සේ බැහැර කළයුත්තෝ වෙති. ඔබ ආදර්ශ, අවවාද, අනුශාසනා ලබාගත යුත්තේ ඔබට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ගුණධර්මයන්ගෙන් උසස් වූවන්ගෙන් පමණි. ඔවුහු වයසින් බාලයෝ වුව ද ජීවිතය කල්‍යාණ ධර්මයන්ගෙන් අලංකාර කරගත් වන්දනීයයෝ ය. පූජනීයයෝ ය.

ශ්‍රද්ධා සීලාදී ගුණයන්ගෙන් පිරීගිය හදවත් ඇති ඔවුහු බුදුසරණේ අනුහසින් සුවපත් වූවෝ ය. කාසියකට, නෝට්ටුවකට, බත්පතකට හෝ ජරා මරණ ධර්මයන්ට ස්වකීය ප්‍රාණය වූ තිසරණය පාවා නො දෙන්නෝ ය. ආලෝකයට පි‍්‍රයකරන ඔවුහු කිසිදා අඳුරට පි‍්‍රය නො කරන්නෝ ය.

පින්වත් ඔබගේ එකම බලාපොරොත්තුව අඳුරෙන් එළියට පා තැබීම නම් එවන් සත්ජනයන් භජනය කරන්න. තිසරණයට පිටු නොපා තව තවත් තෙරුවන් ගුණ උණුහුමෙන් පහස ලද හදවතක් ඇති කරගන්න. ඇස්බැන්දුම්වලට හසු වී තිසරණය පාවා දෙන්නන්ට හසු නො වන්න.

කුඩා කල පටන් ජීවිතය වරදවා ගත්තවුන් හා පාපමිත්‍ර ඇසුරින් නොමඟ ගිය උදවිය තම සිතට නැගෙන පශ්චාත්තාපයෙන් බේරීම පිණිස කළ යුත්තේ බුදුසරණට පිටුපෑම නොව වරද හා පාපය තේරුම්ගෙන ඒ මොහොතේ පටන් ඉන් අතමිදීම යි. බුද්ධශාසනය යනු අශුද්ධයින් ශුද්ධවන්තයින් බවට පත්කරන සිසිල් අමා ජලධාරාවක් වන බැවින් ඕනෑම පාපියකුට තමා කැමති නම් සම්බුදු අමා සදහම් නදියෙන් ස්නානය කර ශුද්ධාවන්තයකු විය හැකි ය.

ඉමක් නැති සසර කතරේ අනේක දුක් සෝ සුසුම් බර හිස පටවා ඇවිද ආ ඔබට සීතල දිය පිරි සුනීල විලක් සදිසි බුදුරජාණන් වහන්සේ මුණගැසී ඇති මේ මොහොතේ අප්‍රමාදීව පවස් නිවා විඩා සංසිඳුවා ගැනීමේ වාසනාව හිමි කර ගන්න. බලන බලන අත පෙනෙන මිරිඟු දියට රැවටී තථාගතයන් වහන්සේ නමැති ඒ සිසිල් පොකුණ හැර දමන්නට තරම් ඔබ අභාග්‍යවන්තයෙක් නො වන්න.

සියලු සත්වයෝ බුදුසරණ ලබා සුවපත් වෙත්වා.