Print this Article


නුවර යුගයේ බිතු සිතුවමින් අලංකාර බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය

නුවර යුගයේ බිතු සිතුවමින් අලංකාර බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය

මාතර දෙයියන්දර මාර්ගයේ මාකඳුර මංසන්ධියෙන් හැරී අකුරැස්ස මාර්ගයේ කි.මි 1 පමණ පැමිණෙන විට මහනුවර යුගයට අයත් මෙම බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය හමුවේ.

මෙම පුරාණ විහාරය වර්ෂ 1828 පෙර ආරම්භ වූ ලෙස සැලකේ. මාතර මානව වංශයේ සඳහන් වන අන්දමට දප්පුලසේන රජුගේ ප්‍රාදේශීය නායකයෙක් රංසෑගොඩ ප්‍රදේශය මුල් කොට ගෙන පරිපාලනය ගෙන ගියේ ය. එම ප්‍රාදේශීය නායකයා සහ එක්ව දප්පුලසේන රජතුමාට දිනපතා බත් සැපයූ ගම “බත්ගම” පසුව බැරගම නම් විය. එම කාලයේ දී රන්සෑගොඩ පුරාණ රාජමහා විහාරය මෙම විහාරය හා එක්ව කටයුතු සිදුකර ඇති බව පැවසේ. ප්‍රාදේශීය පාලකයාගේ අනුග්‍රහයෙන් දප්පුලසේන රජතුමාගේ යුද හේවායන් පුරුදු කළ ස්ථානය රණපිටිය හෙවත් වර්තමානයේ රණගල නමින් හැඳින්වෙන යාබද ගමත්, පුරාණයේ සිටම රජුට බත් දුන් ගම පසුකාලීනව බැරගම නම් වූ බවත් සඳහන් වේ.

බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාර ඉතිහාසය නුවර යුගය දක්වා විහිදී යයි. ඒ බවට විහාරයේ ඇති පැරණි බිතු සිතුවම් සාක්ෂි දරයි. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායට අයත් මෙම පුරාණ විහාරය වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න සඟ පරපුරට අයත් ය.

කෘෂි කර්මාන්තය මූලික කොටගත් මෙම ග්‍රාමයට 1828 දී පමණ මාලිම්බඩ දේවානන්ද මාහිමියන් පැමිණ ඇත.නමුත් ඊට පෙර මෙම ස්ථානයේ වරින් වර සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලා වැඩසිට ඇත. මාලිම්බඩ දේවානන්ද මාහිමියන්ගෙන් පසු, හොරපාවිට පියදස්සි මාහිමි, ඇල්ලේවෙල ගුණරතන මාහිමි,


විහාරාධිපති හිමි

රන්සෑගොඩ චන්ද්‍රජෝති මාහිමි, බැරගම ධම්මානන්ද මාහිමි, හොරපාවිට ධම්මරතන මාහිමි, මාකඳුරේ ධම්මපාල මාහිමි, හොරපාවිට ධම්මරක්ඛිත මාහිමි, බැරගම පඤ්ඤානන්ද මාහිමි, රන්සෑගොඩ නන්දසාර මාහිමි, රන්සෑගොඩ පාලිත මාහිමි, වැලිහේනේ සෝරත මාහිමි යන මාහිමිවරු වැඩවාසය කොට ඇත. මේ හිමිවරුන් අතුරින් කිහිප දෙනෙක් ම තදාසන්නයේ වෙහෙර විහාර පසුව ඉදිකොට ඇත. ඒ අතුරින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ මූලිකත්වයෙන් ඉදි වූ මාවරල ශ්‍රී මල්ලිකාරාම විහාරය සම්බන්ධයෙන් ඓතිහාසික සිදුවීමක් ද ඇත.

අනගාරික ධර්මපාල තුමන්ගේ මඟ පෙන්වීම යටතේ ඉදි වූ මල්ලිකාරාම විහාරයේ වැඩසිටීමට භික්ෂූන් වහන්සේලා නොමැති හෙයින් එතුමා එදා බොහෝ සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලා වැඩසිටි බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයට පැමිණ එහි වැඩසිටීමට භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලා ඇත. එහි දී ඉහත නම් සඳහන් භික්ෂූන් අතුරින් සුවච කීකරු භික්ෂූන් වහන්සේ නමක් වූ බැරගම පඤ්ඤානන්ද මාහිමියන් ධර්මපාලතුමා විසින් කැමති කරවාගෙන මල්ලිකාරාමයට වැඩමවාගෙන ගොස් ඇත.

තව ද මෙම ස්ථානයේ රෝපණය කර ඇති ඉපැරණි ඓතිහාසික බෝධින් වහන්සේ පිළිබඳව ද විහාර ඉතිහාසයේ සඳහන්ව තිබෙන්නේ ධර්මපාලතුමා අතින් රෝපණය වූ බෝධින් වහන්සේ නමක් ලෙස ය.

ධර්මපාලතුමා ඉදිකළ මල්ලිකාරාම විහාරයට භික්ෂූන් වහන්සේ වැඩමවාගෙන යෑමෙන් අනතුරුව එහිදී රෝපණය කිරීම සඳහා එතුමාට ජය ශ්‍රී මහාබෝධි ශාඛාවක් ලැබී ඇත. එතුමා එය මල්ලිකාරාමයෙහි රෝපණය කිරීමට මත්තෙන් මෙම පුරාණ විහාරයේ, පසුව රැගෙන යාමේ අදහසින් තැන්පත් කොට ඇත. පසුව එය රැගෙන යාමට උත්සාහ කළ ද නොහැකි වූ බැවින් මෙම ස්ථානයේ ම එතුමාගේ සුරතින් රෝපණය කර ඇත. අදටත් එම බෝධින් වහන්සේ මෙම පින් බිමෙහි විරාජමාන ව සිටිති.

විහාර ඓතිහාසිකත්වය සනාත කරලීමට තවත් හොඳම නිර්දේශයක් නම්, ප්‍රධාන මාර්ගයෙන් එපිට පාරට මුහුණලා ඇති ධර්මශාලා මන්දිරයයි. උස් බිමක කැටයම් ආකාරයෙන් ඉදිකර ඇති මෙය විහාර ඉතිහාසය තවත් කියාපායි. ඈත අතීතයේ සිටම මෙම ධර්ම මන්දිරය දහම් අධ්‍යාපනය සඳහා ම වෙන් කර ඇත.

නුවර යුගයට අයත් බිතුසිතුවම් ආරක්ෂා කරමින් වෙහෙර විහාරාංගයන් වර්තමානය වන විට නවීකරණය කරමින් කටයුතු සිදුකරගෙන යනු ලබන්නේ විහාරාධිපති මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා කාරක සංඝ සභික කන්දබඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමික පිරිවෙන්පති ගොමිල විනය කීර්ති ශ්‍රී නන්දසාර කෝලිතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ය.

මෑත භාගයේ අපවත්වී වදාළ රන්සෑගොඩ පාලිත මාහිමිපාණන් වහන්සේ (2001) ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ආරම්භක තිංශද් විධායක කාරක සභික නායක හිමිපාණන් වහන්සේ නමකි. මෑතම යුගයේ අපවත්වී වදාළ වැලිහේනේ සෝරත මාහිමිපාණන් වහන්සේ ද (2011) විශ්‍රාමික පරිවේණාධිපතින් වහන්සේ නමකි.

ශ්‍රී දේවානන්ද දහම්පාසල, සුධර්මා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආදිය ක්‍රමානුකූලව කරගෙන යෑම සඳහා අවවාද අනුශාසනා ලබාදෙමින් කටයුතු කරන විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රවේදී කෙහෙල්වල විපස්සි, සරසවි වරම් ලබා සිටින බැරගම ශ්‍රී රාහුල, කැටපොලකන්දේ සිරිධම්ම, මුරුංගාගස්යායේ තපස්සි යන ශිෂ්‍යහිමිවරු කටයුතු කරති.