Print this Article


සිහි කල්පනාව නොවුණොත්දෙලොව ම පිරිහෙනවා

සිහි කල්පනාව නොවුණොත්දෙලොව ම පිරිහෙනවා

බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනා දවසක වත්ත සූත්‍රය පවත්වන්නට යෙදුණා. එනම් වස්ත්‍රය මාතෘකා කර ගෙන යි. බුදුන් වහන්සේ පහදා දෙනවා, මහණෙනි, නූල් වලින් වියන ලද වස්ත්‍ර තිබෙනවා. ඒ සියලුම වස්ත්‍රවලට වඩා කසී වස්ත්‍රය අග්‍ර වන බව යි.

දඹදිව මහා සිටුවරු වැනි ධනවතුන් භාවිත කරන විශේෂ වස්ත්‍රයක් වන්නේ කසී සළුව යි. රෙදි වලින් ඉහළම වටිනාකමක් ඇති කසී සළු යි. ‘මහණෙනි එලෙසම සියලුම කුසල ධර්මයෝ ප්‍රධාන වන්නේ අප්‍රමාදය මුල් කරගෙන යි. එනම්, ප්‍රමාද නැත අර්ථය යි.

සිහි නුවණින් වැඩ කටයුතු කිරීම අප්‍රමාදය යි. සිහි නුවණ තිබුණොත් සියලුම කාර්යයෝ සාර්ථක යි. අධ්‍යාපනය, රැකියාව, දෛනික වැඩ, දාන ශීල භාවනා පින්කම්, බොහොම සරු සාර වෙනවා. අධ්‍යාපනයෙන් ඉහළට යන්න සිහි කල්පනාව අවශ්‍යමය යි. දාන, ශීල, භාවනා පින්කම් වලට සිහි කල්පනාව අවශ්‍යය යි. ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්න සිහි කල්පනාව අවශ්‍යය යි.

මනු ලොව, දෙව් ලොව, බඹ ලොව උපත ලබන්නෙත් සිහි කල්පනාව තිබෙන ඇත්තෝ පමණ යි. නරක, තිරිසන්, ප්‍රේත , අසුර , නරාකාදීන්ට වැටෙන්නේ සිහි කල්පනාවෙන් තොර අය යි.

බුද්ධ ශාසනයේ වැඩ සිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ, සිහි කල්පනාවෙන් අග්‍ර යි. බුදු සසුන පාදක කරගත් ඔබ, අප සියලුම දෙනා හොඳට ඉගෙන කියාගෙන ගුණ ධර්මයන් හොඳීන් දියුණු තියුණු කළ යුතු යි. නුවණ දියුණු කර ගැනීම සඳහා තමාගේ ඇඳුම් පැළඳුම් පිරිසුදුව තබා ගත යුතු යි. ස්නානය කළ යුතු යි. ගත පිරිසුදුව තබා ගත යුතු යි. ශ්‍රද්ධා දී ඉන්ද්‍රියන් දියුණු කර ගත යුතු යි. ගැඹුරු දේ සාකච්ඡා කළ යුතු යි, සිතිය යුතු යි, මෙනෙහි කළ යුතු යි. ඥානවන්තයෝ ආශ්‍රය කිරීම, නුවණ මදි අය ආශ්‍රය නොකිරීම සිදු කළ යුතු යි. ගැඹුරු දේ සජ්ඣායනාවත්, සාකච්ඡාවත් සිදු කළ යුතු යි. නුවණ වැඩෙන පින්කම් ම කළ යුතු යි. නුවණ දියුණුවන වැඩ කටයුතු වල යෙදිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කර වදාළා.

කසී වස්ත්‍රය සියලු වස්ත්‍රයන්ගෙන් අග්‍ර වන්නා සේ සියලුම කුසල ධර්මයන්ගේ මූලිකය අප්‍රමාද ය බව වත්ත සූත්‍රයෙන් පැහැදිලි කර දෙනවා. එසේම සිහි කල්පනාව ඇත්තෝ පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරනවා. රාග, දෝශ, මෝහ ආදී කෙලෙස් නැති කරනවා, කෙලෙස් නිරුද්ධ කරනවා. නිවනට සිත ප්‍රවිශ්ඨ කරනවා යනුවෙන් බුදුන් වහන්සේ ආනිසංස වාරයත් පහදා දෙමින් සදහම් දේශනා කළා.

ප්‍රඥාව, සිහිය දීර්ඝ කාලයක් දියුණුවෙන් මේ ශාසනයේ ප්‍රඥාවෙන් අග තැන්පත් වන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ යි. සංසාරයේ අනු පිළිවෙළට ආත්ම පන්සියයක් මහණ වී, බණ , භාවනා හොඳීන් දියුණු කළා. පියුමතුරා, අනෝමදස්සී බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයේ දී මහා තාපස කෙනෙක්. එතුමා අති දැවැන්ත මල් පූජාවක් අනෝමදස්සී බුදුන් වහන්සේට සිදු කළා.

දින හතක් පුරාවට කළ ඒ බුද්ධ පූජාවේ අනුහසින් සංසාරා ගමන සුවපත් වුණා. ලෞකික වශයෙන් ලබන්න ඇති සියලු සම්පත් ලැබුවා. පාරමී ගුණ හොඳීන් දියුණු කළා. ඒ බුද්ධ ශාසනවල මහණ වුණා. විශාරද බවට පත් වුණා. දැන උගත් අය අතර සුවිශේෂී වූවා.

සූත්‍ර‍, විනය, අභිධර්ම ආදී ත්‍රිපිටකයම සිහි කල්පනාවෙන් තබා ගන්නට පුළුවන්කම ලැබුණා. මෙලෙස පාරමී ගුණ දියුණුවෙන් ඉර හඳ මෙන් බැබළෙමින් වැඩම කළ ඒ උතුමා මේ ශාසනයේ පැවිදි වී දින පහළොවකින් රහත් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග තැන්පත් වුණා. ඒ වගේම අග්‍රශ්‍රාවක තනතුරට පත් වුණා. රහත් බවින් සංසාර ගමනත් නතර වුණා. සසර දුකෙන් නිදහස් ව නිවනට පත් වුණා.

මේ ගැන කල්පනා කරන විට, තමනුත් සිතිය යුත්තේ අනේ! සාධු මමත්, අති විශාල පින්කම් කරන කෙනෙක්. අති විශාල බලවත් පින්කම් කරනවා. එලෙස විපාක ලැබෙන්නේ තමන්ට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, භෝග සම්පත්, සුගති සම්පත්, රාජ සම්පත්, සක්විති සම්පත්, පරිවාර සම්පත් වශයෙනි. මේ සියලුම සැප සම්පත් ලබන්නේ කරගනු ලැබූ පින්කම්වල විපාක වශයෙනි. ඒවා තව කෙනෙකුට ගන්නට බැහැ. තමා සතුයි. තමාගේ පිනට යි යමක් ලැබෙන්නේ.

ලෞකික සම්පත්වලට වඩා ධ්‍යාන, අභිඤ්ඥා, විපස්සනා, මාර්ග ඵල, නිවන යන උත්තරීතර මනුෂ්‍ය ධර්ම බලවත් වෙනවා. කුමන දේ තිබුණත් සිත හදාගන්න බැරි වුණොත්, කරන කියන දේ වලින් සාර්ථක ප්‍රතිඵල නැහැ. මෛතී‍්‍ර භාවනාව, බුදු ගුණ භාවනාව, වැනි දේ දියුණු කළ යුතු යි. ආනාපාන සති භාවනාව, හුස්ම ඇතුළුවීම, හුස්ම පිටවීම උඩ තොලෙහි සිත පිහිටුවාගෙන හොඳීන් බලාගෙන සිටීම ආදියෙන් සිත තැන්පත් වීම හොඳීන් සිදු වෙයි. එයින් සිතට ගතට සැනසුම ලැබෙයි.

ලොවුතුරා බුදු උතුමන් වහන්සේ නමක් වැඩ සිටින කාලයෙත් පිනට දහමට යොමු නොවුණොත් සංසාරෙම දුක් විඳීන්න සිදු වෙනවා. නැවත බුදු කෙනෙක් කවදා පහළ වෙයිද යනුවෙන් කාටවත් කියන්න බැහැ. අද මේ ලැබුණා වූ බුදු සසුන පාදක කරගෙන හැකිතාක් දන් , පින්කම් කළොත් තමන්ගේ සංසාර ගමන වරදින්නේ නැහැ.

හොඳ තැනක උපත ලබා සුවිශේෂී පුද්ගලයකු වන්න පුළුවන්, ආර්ය මාර්ගඵල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එවිට තමාගේ ජීවිතයෙන් උසස් ඵල ප්‍රයෝජන නෙළා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. රහත් බවෙන් එහා දුකක් නැහැ.

ඉපදීම, ජරාවට පත්වීම, රෝගීවීම, මරණය, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ශරීර කූඩුවේ ඇති පංචස්ඛන්ධ දුක ආදී කුමන දුකක්වත් රහතන් වහන්සේට නැවත ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ සුපිපුණු නෙළුම් පුෂ්පයක් සේ අසිරිමත්ව වැඩ සිට අවසන් හුස්ම හෙළීමෙන් සිත නිවනට ප්‍රවිෂ්ට වෙනවා. නැවත ජාති, ජරා, මරණ කිසිවක් නැහැ. කෙතරම් වාසනාවන්ත තැනකට සිත යොමු කළා ද? මොන තරම් සැනසුම් මගක ගමන් කළාද යනුවෙන් පැහැදිලි යි.

සියලුම කුසල ධර්මයන්ගේ මූලිකයා වන්නේ අප්‍රමාදය යි යනුවෙන් පැහැදිලි කළා. අප්‍රමාදය තිබුණොත් සියලුම ගුණ ධර්මයන් දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවෙන් නිවනට පත් වෙන්න පුළුවන්කම තියෙනවා.