Print this Article


දීඝවාපිය යළි දකින්න

දීඝවාපිය යළි දකින්න

බුදුරජාණන් වහන්සේ මෙරටදී සමවත් සුවයෙන් මඳ වේලාවක් ගත කළ සොළොස්මස්ථාන අතරට අයත්වන දීඝවාපි විහාරස්ථානය වසර 30කට ආසන්න කාලයක් බෞද්ධයන්ගේ වන්දනාමානවලින් ඈත්ව පැවතිණි.


දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කළ අවස්ථාව (සේයාරුව - සාලිය රූපසිංහ)

මේ තත්වය මැනවින් තේරුම්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නැඟෙනහිර පළාතේ සංස්කෘතික උරුමයන් සහ පුරා වස්තු ආරක්ෂා කර ගැනීම පිණිස ජනාධිපති කාර්ය සාධක බළකායක් ආරම්භ කරන ලදී. එහි සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ය.

ඔහුගේ මූලිකත්වයෙන් ඓතිහාසික දීඝවාපි පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.

‘යළි දකිමු දීඝවාපිය‘ නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතියට අනුව දීඝවාපි චෛත්‍යය වසර 3ක් ඇතුළත සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර ජනතාවගේ වන්දනාවට පාත්‍ර කරනු ඇත.

මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ විශේෂත්වයක් වන්නේ කිසිදු ආකාරයක රජයේ මුදල් වැය නොකර සියලු කටයුතු සිදුකිරීම ය. චෛත්‍යය ප්‍රතිසංස්කරණයට පමණක් වැය වන මුදල රුපියල් මිලියන 800ක් හෙවත් කෝටි 80කි. එහෙත් චෛත්‍යයට අමතරව, වන්දනාකරුවන්ට පහසුවෙන් වන්දනා මාන කළ හැකි නවීන පහසුකම් ඇති ඉහළ ශ්‍රේණියේ විශ්‍රාම ශාලාවක් ද මෙහි ඉදි කරනු ඇත. එය නවීන පහසුකම් සහිත කාමර 20කින් සමන්විත වන අතර, වන්දනා නඩවලට නවාතැන් ගත හැකි වායු සමනය කළ විශාල ශාලා 4කින් හා විශාල මුළුතැන්ගෙයක්, දානය හා ආහාර සකස්කර පිළිගැන්විය හැකි භෝජනාගාරයක් ඇතුළු පහසුකම්වලින් සමන්විත වනු ඇත. ඊට අමතරව දාගැබ, සලපතල මලුව ද රජ දවස පැවැති ආකාරයටම පාෂාණ ඇසුරින් යළි සකස් කෙරෙන්නේ වසර 1000කට අධික කාලයක් පැවතිය හැකි වන පරිදි ය.

චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගඩොල් මිලියන 23ක් වැය වන අතර වැලි කියුබ් 3977ක් හා සිමෙන්ති කොට්ට 30167ක් මූලික වශයෙන් වැය වන බව මේ වන විට ඇස්තමේන්තු කර තිබේ.

ඒ අනුව වසර 3කදී චෛත්‍යයේ වැඩකටයුතු අවසන් කරන්නට නම් දිනකට ගඩොල් 28000ක් බැඳීම කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ එය බැරූරුම් අභියෝගයක් වුවත් කෙසේ හෝ එම අභියෝගය ජය ගැන්මට මේ වන විට ශ්‍රම දායකත්වය සපයා දෙන්නට යුද, ගුවන් හා නාවික හමුදා මෙන්ම සිවිල්ආරක්ෂක දෙපාර්මේන්තුව ද බලා සිටින බවයි.

සියලු ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 100ක් බලාපොරොත්තුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මේ වන විට ලංකා බැංකුවේ ගිණුමක් ‘යළි දකිමු දීඝවාපිය‘ වෙනුවෙන් ආරම්භ කර ඇති බවත් ඔහු පැවසුවේ ය.

එම ගිණුම නිල වශයෙන් විවෘත කිරීම පසුගිය 22 වැනි දා සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කොළඹ 7 සම්බෝධි විහාරස්ථානයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදු කෙරිණි.

රටේ සමස්ත ජනතාවටම මේ කර්තව්‍ය සඳහා දායකවිය හැකි අතර ඒ සඳහා ලංකා බැංකුවේ යළි දකිමු දිඝවාපිය ගිණුමට මුදල් බැර කළ හැකිය.

ප්‍රමිතියෙන් යුත් ගඩොල් අවශ්‍ය කරන බැවින් යම් අයකු ගඩොල් පරිත්‍යාග කිරීමට අදහස් කරන්නේ නම් පළමුව එහි ප්‍රමිතිය පිළිබඳව තහවුරු කර ගත යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි. ඒ සම්බන්ධයෙක් දුරකතන අංක 0760924156 ඔස්සේ කොමාන්ඩර් කාංචන හේරත් අමතා විස්තර ලබා ගත හැකි ය.