Print this Article


යොවුන් සීල සමාධි වැඩ සටහන දීප ව්‍යාප්තව දියත් කෙරේ

යොවුන් සීල සමාධි වැඩ සටහන දීප ව්‍යාප්තව දියත් කෙරේ

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පයක් අනුව රටේ ජීවනාලිය, අපේ තරුණ පරපුර යහපත් කරවීමේ අරමුණ පෙරදැරි කොට ගනිමින් ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයක දී ම සෑම පසළොස්වක පොහොය දිනයන්හිදී තරුණ තරුණියන් සීල සමාධියෙහි පිහිටුවීම හා දාන සීල, භාවනා වැඩ සටහන් වලට යොමු කරවීම උදෙසා යොවුන් සීල සමාධි වැඩ සටහන දීප ව්‍යාප්ත ව දියත් කෙරෙයි.

බුද්ධශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික තරුණ සේවා සභාවේ සහයෝගීත්වයෙන්, ජාතික වෙළෙඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරී දායකත්වයෙන්, පහන් සිත් පදනමේ සංවිධායකත්වයෙන්, සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රාහක දායකත්වයෙන් 2021 ජනවාරි මස 28 වන දුරුතු පුර පසළොස්වක පොහොය දින ඓතිහාසික කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් ඓතිහාසික කැලණි රාජමහා විහාරස්ථානයේ දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සහ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම වැඩ සටහන සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් 2021.01.07 වන දින කැලණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණි.

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංකල්පය යුගයේ අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, එය අගය කළයුතු බවත්, සාකච්ඡාව මෙහෙයවූ නාහිමිපාණන් විසින් ප්‍රකාශ කරමින් තවදුරටත් පැහැදිලි කරන ලද්දේ බුදුන් වැඩිය කැලණි පුදබිමෙන් මෙම උතුම් කර්තව්‍යයේ සමාරම්භක වැඩසටහන පැවැත්වීමට කටයුතු කිරීම වැදගත් බවය.

යොවුන් ශීල සමාධී වැඩ සටහන කැලණි රාජමහා විහාරයේ දී දුරුතු පොහෝදින ආරම්භ කරමින් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ජනතා නායකත්වය සහ අප රටේ තරුණ පරපුරට ආදර්ශයක් වෙමින් සිල් සමාදන් වීම අගය කළයුතු කාර්යයක් බවත්, මෙම වැඩසටහනේ උපදේශක බෙංගමුවේ නාලක හිමිපාණන් පෙන්වා දෙන ලද අතර, මෙම වැඩසටහන දේශපාලන භේදයකින් තොරව සිදු කරනු ලබන බව ද, ප්‍රකාශ කරන ලදි.

දිවයිනේ සියලුම විහාරස්ථාන සම්බන්ධ කරගනිමින්, යොවුන් සීල සමාධි වැඩසටහන ට පෙරමුණේ යෞවන යෞවනියන්, ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ හරහා සම්බන්ධීකරණය වන අතර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ශාසනාරක්ෂක බල මණ්ඩල දැනුවත් කෙරෙනු ඇත.