Print this Article


දශක ගණනකට පසු ආසියානු බෞද්ධ සාම සම්මේලනය මෙරටදී පැවැත්වෙයි

දශක ගණනකට පසු ආසියානු බෞද්ධ සාම සම්මේලනය මෙරටදී පැවැත්වෙයි

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු සාමයත්, එකූමුතුකමත් ලෝකයේ රටවල් අතර ඇතිවිය යුතු බව තේරුම් ගත් රුසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයන් විසින් ලෝකයේ සියලු බෞද්ධ රටවල් සාමාජිකත්වය දරන අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජූනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ ආසියානු බෞද්ධ සාම සම්මේලනය පිහිටුවා එහි ප්‍රථම සමුළුව ද එහිම පැවැත්වූහ. එහිදී ඇති කරගත් එකඟතාවකට අනුව දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පූර්ණ සත්කාරය සහිතව ය.

අඩ සියවසකට ආසන්න කාලයකට පසුව එහි 13 වැනි විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ අනුව එම සමුළුව පසුගිය 14 වැනිදා කොළඹ 7 සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වුණේ සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ය.

එහිදී විධායක කවුන්සිල සභා රැස්වීම සඳහා (Zoom) සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටූවල් 25ක නියෝජිතයෝ එක්ව සිටියහ.

මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ය.

සම්බෝධි විහාරයේ පැවැති ආගමික වතාවත්වලින් පසුව ජනාධිපතිතුමා සමුළුවට සහභාගි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සමුළුවේ අරමුණ පැහැදිලි කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ ‘කොවිඩ් - 19 හමුවේ බෞද්ධයන්ගේ කාර්යභාරය‘ යන මැයෙන් මුලසුනේ දේශනය කළහ. ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි. එසේම ප්‍රථම භාගයේ අවසාන දේශනය පවත්වන ලද්දේ ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන් විසිනි.

මෙම සමුළුවට Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සහභාගි වූ මොන්ගෝලියානු අගමැති උක්හාන් ජින් කුරේල්සුක් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතී ය.

සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් පසු ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ නා හිමියන් බැහැ දුටු ජනාධිපතිතුමා විහාරස්ථ සුගන්ධ කුටියට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.

මහා සංඝ රත්නය ඇතුළු දේශීය හා විදේශීය බෞද්ධ නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සාමය සඳහා වූ බෞද්ධ සම්මේලනය යනුවෙන් මේ වනවිට ලෝකය පුරා විහිදී ඇති මේ සම්මේලනයේ ලෝකයේ සියලු බෞද්ධ රටවල් සාමාජිකත්වය දරනු ලැබේ. සමුළුවට සහභාගි වූ එතෙර නියෝජිතයන් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව බුදු දහම වෙනුවෙන් මෙවන් සමුළු පැවැත්වීම තුළින් ලෝකයටම ආදර්ශයක් ලබා දුන් බවයි.